විදේශිකයන් සමග ගණුදෙනු විදෙස් මුදල්වලින්ම පමණයි: මහ බැංකුව සංචාරක ආයතනවලට අනිවාර්ය කරයි

418

විදේශිකයන්ට සේවා සැපයීම වෙනුවෙන් සිදුකරන සියලූම අයකිරීම් විදේශ මුදලින් පමණක් භාරගන්නා ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (19 දා) සියලූම ලියාපදිංචි සංචාරක ආයතනවලට අනිවාර්ය කළේය.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මේ තීරණය ගෙන තිබේ. මෙසේ විදේශිකයන්ගෙන් විදේශ මුදලින් කරන ඉපයීම් එම සංචාරක ආයතන විසින් අනිවාර්යයෙන්ම අනාවරණය කළ යුතු බව ද, ඒ අනුව එම විදේශ මුදල් දින දෙකකින් හෝ තුනකින් බැංකුවල තැන්පත් කිරීමට අවශ්‍ය බව ද ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ මහ බැංකු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළේය.

ඒ තුළින් එම විදේශ මුදල් ප‍්‍රමාණය රටේ විධිමත් පද්ධතියට එකතු වන බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

එසේම මෙරටට ඉන්ධන මිලදී ගැනීම සඳහා ආනයන බිල්පත් පියවීම බැංකු අතර ඔවුන්ගේ විදේශ මුදල් ලැබීම්වලට සමානුපාතිකව බෙදාහැරීමට ද මහ බැංකුව තීරණය කළ බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

මේ වන විට විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ සඳහා රු. එක් ඇමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් ලබාදෙන රු. 10ක අතිරේක දිරි දීමනාව අපේ‍්‍රල් 30 වනදා දක්වා දීර්ඝ කළ බවත් එසේම 2022 පෙබරවාරි 01 දින සිට කි‍්‍රයාත්මක වන පරිදි බලපත‍්‍රලාභී බැංකු සහ අනෙකුත් විධිමත් ක‍්‍රම ඔස්සේ රුපියල් ගිණුම් වෙත මුදල් පේ‍්‍රෂණය කිරීමේදී ශ‍්‍රී ලාංකික විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් අයකරන ගනුදෙනු පිරිවැය එක් ගනුදෙනුවක් සඳහා රු. 1000 බැගින් ප‍්‍රතිපූරණය කිරීමටත් මහ බැංකුව තීරණය කළ බව ද කබ්රාල් මහතා කීවේය.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ පෙරේදා (19 දා) පැවැති මුදල් මණ්ඩල රැුස්වීමේදී මෙම ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

විදේශ ශ‍්‍රමිකයන්ගේ විදේශ ව්‍යවහාර මුදල් සහ රුපියල් තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාතයක් හඳුන්වාදීමට ද මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

එසේම මහ බැංකුවේ ප‍්‍රධාන පොලී අනුපාතික පදනම් අංක 50කින් වැඩි කිරීමට ද තීරණය කර ඇති අතර මේ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සියයට 5.5 දක්වා සහ මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6.5 දක්වා වැඩි කර තිබේ.

සමස්ත ආර්ථිකයේ ස්ථායිතාව ශක්තිමත් කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග කිහිපය ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment