විදේශිකයෝ දෙදෙනෙක් රාජ්‍ය බැංකුවක ඒටීඑම්වලින් කෝටියකට වැඩේ දීලා!

234

විදේශිකයන් දෙදෙනකු විසින් රාජ්‍ය බැංකුවකට අයත් හික්කඩුව, කරාපිටිය, බද්දේගම යන නගරවල පිහිටි ඒටීඑම් යන්ත්‍රවලින් රුපියල් එක්කෝටි හයලක්‍ෂ පනස්පන් දහසක මුදලක් පැය තුනක් ඇතුළත වංචනිකව ලබාගෙන ඇති බව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

එම විදේශිකයන් දෙදෙනා විසින් තාක්‍ෂණය භාවිත කොට ඒටීඑම් යන්ත්‍ර හා සම්බන්ධ පරිගණක දත්ත පද්ධතියට ඇතුළු වී මෙකී මුදල් වංචනිකව ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කළු පැහැති මෝටර් රථයකින් මොවුන් දෙදෙනා පැමිණ ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. මුලින් හික්කඩුව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් ඒටීඑම් යන්ත්‍රයක් වෙත මෙම විදේශීය ජාතිකයන් දෙදෙනා ඉකුත් (30 දා) අලුයම 1.30 ට පමණ පැමිණ ඇත. එහි තිබූ සීසීටීවී කැමරාව වසා වංචනික ලෙස රුපියල් හතළිස් හයලක්‍ෂ අසූදහසක මුදලක් ඉන් ලබාගෙන ඇත. පසුව මෙම විදේශිකයන් දෙදෙනා ගාල්ල කරාපිටිය නගරයේ පිහිටි ඒටීඑම් යන්ත්‍රයක් වෙත පැමිණ ඇත.

30 වැනිදා අලුයම 3.22 ට පමණ මෙකී විදේශීය ජාතිකයන් දෙදෙනා ඒටීඑම් කුටිය වෙත පැමිණ ව්‍යාජ ලෙස රුපියල් දෙලක්‍ෂ හැත්තෑපන්දහසක මුදලක් ලබාගෙන ඇත. ඔවුන් පැමිණි මෝටර් රථය ඒටීඑම් යන්ත්‍රය ඉදිරිපිට නතරකොට ඇති අතර රියැදුරු හා තවත් අයකු මෝටර් රථයේ සිට ඇත. විදේශිකයන් දෙදෙනා මුදල් ලබාගෙන, ඉංග්‍රීසි බසින් කතාකර පිටවගොස් පසුව නැවත ඒටීඑම් කුටිය වෙත පැමිණ අමතක වූ දෙයක් ලබාගෙන යන අයුරින් පිටව ගොස් තිබේ. එහි සිටි ආරක්‍ෂක නිලධාරියාට මේ පිළිබඳ ඇතිවූ සැකය මත ඒටීඑම් කුටිය පරීක්‍ෂාකර බැලීමේදී ආරක්‍ෂක කුටියේ තිබූ සීසීටීවී කැමරා පද්ධතිය කළු පැහැති කවර යොදා ආවරණය කර ඇති බව දැක ඇත.

පසුව මෙම විදේශිකයන් දෙදෙනා බද්දේගම නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවට අයත් ඒටීඑම් යන්ත්‍රය ඇති කුටිය වෙත එදින අලුයම 4.00 ට පමණ ගොස් ඇත. ඔවුන් ඒටීඑම් කාඩ් පතක් භාවිත කරමින් රුපියල් ලක්‍ෂ 57 ක මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

මේ පිළිබඳ පරිගණක අපරාධ විමර්ශන අංශය හා අපරාධ විමර්ශන අංශය එක්ව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කොට ඇත.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment