විදේශ මුදල් ඉතිරියට SPC කප් ගහයි

599

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග එකසීය පනහකට ආසන්න සංඛ්‍යාවක් නිෂ්පාදනය කරමින් විදේශවලට ඇදී යන මුදලින් සියයට පනහකට ආසන්න මුදලක් රටේ ඉතිරි කිරීමට සමත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම ධුරයට පත්වූ පසු දේශීයව ඖෂධ නිෂ්පාදනයට ප්‍රමුඛත්වය ලබා දී ඇත. ඒ අනුව නව ඖෂධ රැසක් මෙරට දීම නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වැඩ ආරම්භ කර තිබේ.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් දියවැඩියාවට ලබාදෙන ඖෂධ, පෙෂර් පෙති, පැරසිටමෝල්, තයිරොක්සින්, සේලයින් ආදිය මෙන්ම රෝහල්වලට අවශ්‍ය ඖෂධ ගණනාවක් නිපදවන බවත් මින් ඖෂධ සියයකට ආසන්න ප්‍රමාණයක් බද්ධ ව්‍යාපාර ක්‍රමය යටතේ නිපදවන බව ද හෙතෙම කීය.

ඖෂධ ගෙන්වීමේ දී මතු වන ඩොලර් ප්‍රශ්නයට විසඳුම් ලෙස දැනට මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ සියයක් මෙරට දී නිෂ්පාදනය කර වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීමට මේ වනවිට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව කටයුතු කරගෙන යන බව ද අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය. ඒ අනුව නව ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය යටතේ නව ඖෂධ පනහක් නිෂ්පාදනය කිරීමේ කටයුතුවල සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

දේශීය නිපදවන මෙම ඖෂධ සියල්ල ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව නිපදවන බවත් බද්ධ ව්‍යාපාර යටතේ නිපදවෙන ඖෂධ SPMC ලෝගුව යටතේ වෛද්‍ය සැපයුම් අංශයට ලබාදෙන්නේ රජයේ ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සහතිකය මත බවත් එම නිලධාරියා කීය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වර්තමාන සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඉකුත් වසර දෙක හමාරක කාලයේ දේශීය ඖෂධ නිෂ්පාදනයට විශාල මෙහෙයක් ඉටු කළ බවත් විවිධ බහුජාතික සමාගම්වලින් එල්ල වන බලපෑම් නොතකා කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය උපදෙස් දී ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment