විදේශ මුදල් ව්‍යාපෘති ඉබිගමනේ – ව්‍යාපෘති 179 කින් පණ ගසා ඇත්තේ 31ක් පමණලු

57

ප්‍රමාදයෙන් ‘ණය’ පැටව් ගහයි

ශ්‍රී ලංකාවට ලැබී ඇති විදේශ මුදල්වලින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවලින් අපේක්‍ෂිත අරමුණ ඉටුකර ගැනීමට විවිධ රාජ්‍ය ආයතන දුර්වල ලෙස ක්‍රියා කිරීම නිසා විදේශ ණය සීඝ්‍ර ඉහළ යෑමකට බලපා ඇති බව අනාවරණය වී තිබේ.

විදේශ මුදල් ව්‍යාපෘති 179කින් දැනට සාධනීය මට්ටමක පවතින්නේ ව්‍යාපෘති 31ක් පමණ කැයි ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී අනාවරණය විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව ඉකුත්දා රැස්වී තිබේ. වන්දි ව්‍යාපෘති කමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සලකා බලා තිබේ.

විදේශ අරමුදල් සපයනු ලබන ආයතනවලින් විදේශ මුදල් ව්‍යාපෘති සඳහා ආසන්න වශයෙන් රු.ටි්‍රලියන 2.6ක මුදලක් ලැබී ඇති බවට මෙහිදී අනාවරණය වූ අතර මෙම ව්‍යාපෘති මගින් රටේ ප්‍රාග්ධන වියදම් සඳහා ලබාගන්නා විදේශ ණය සහ ප්‍රධාන අදාළ ව්‍යාපෘති තුළින් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නිසි ලෙස සැලසුම් ක්‍රියාත්මක නොකිරීම ඉතා කනගාටුදායක බව කාරක සභාව සඳහන් කර තිබේ. මෙම ව්‍යාපෘති තුළින් අපේක්‍ෂිත අරමුණු ඉටුකර නොගන්නා බවත්, රටේ විදේශ ණය සීඝ්‍රයෙන් ඉහළ යන බවත් කාරක සභාව පෙන්වා දුන්නේය. අදාළ අමාත්‍යාංශවල, එහි ක්‍රියාත්මක ආයතන මෙන්ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ඇති ව්‍යාපෘති අධීක්‍ෂණ ඒකකවල දුර්වතාවයන් මේ සඳහා හේතුවී ඇති බව කාරක සභාව මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී මේ සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාව වෙත ලබාදෙන ලෙස නිලධාරීන්ට කාරක සභාව විසින් උපදෙස් ලබාදෙමින් ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සඳහා අනුමැතිය දී තිබේ.

මෙම ආංශික අධීක්‍ෂණ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, සුදත් මංජුල, නිපුණ රණවක, ගුණතිලක රාජපක්‍ෂ යන කාරක සභා මන්ත්‍රීවරුන් ද කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත ගාමිණී වලේබොඩ, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරිහු පිරිසක් සහභාගිවී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment