විදේශ මුදල් සංචිත හිඟය දේශගුණික විපර්යාසය මහ සමුළුවෙන් පුරවා ගනිමු

249

ශ‍්‍රී ලංකාවට විශාල වටිනාකම් ලබා ගැනීමට හැකි වනවා පමණක් නොව, රටේ පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනයට අවශ්‍ය කරන මුදල් ප‍්‍රතිපාදන ද සම්පූර්ණයෙන්ම පාහේ ජාත්‍යන්තරයෙන් ලබාගැනීමට හැකිවේ. එම මුදල ඇමරිකානු ඩොලර් බිලියන 10කට වඩා වැඩි වන හෙයින් එමඟින් දැනට තාවකාලිකව  ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇති විදේශ මුදල් සංචිත පිළිබඳ ප‍්‍රශ්නයට ද පහසු  විසඳුමක් ලබාගැනීමට හැකිවේ.

පසුගිය අගෝස්තු 7 වන දා දේශගුණික විද්‍යාඥයින්ගේ හයවන වාර්තාවේ පළමු වෙළුම එළි දැක්විණි. මින් තහවුරු වූ ප‍්‍රධානම කාරණය නම් පසුගිය වසර වසර 30 තිස්සේ ලෝක නායකයින් දේශගුණික විපර්යාසයට මුහුණදීම දැරූ උත්සාහයන් සියල්ල, ව්‍යාජ උත්සාහයන් බවයි.

දැනටමත් ප‍්‍රමාදයි!

දේශගුණික විද්‍යාඥයින්ගේ නවතම වාර්තාවට අනුව 1850ට සාපේක්ෂව වායුගෝලයේ කාබන්සයිඞ් ප‍්‍රතිශතය 50% කින් පමණ ඉහළ ගොස් ඇති අතර මිහිතලයේ උෂ්ණත්වය මේ වනවිටත් සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1.2 කින් ඉහළ ගොස් ඇත. විද්‍යාඥයින්ගේ කොම්පියුටර් මොඩල් වල අනාවැකි වලට අනුව 2030-35 වනවිට මිහිතලයේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1.5 කින් ඉහළ යනු ඇති අතර 2045-50 වනවිට සෙන්ටිගේ‍්‍රඞ් අංශක 2 කින් ඉහළ යනු ඇත.

මිනිසා දැනට කරන අයුරින් ඉදිරියටත් පොසිල ඉන්ධන දහනය කරමින් ගිය හොත් මේ සියවස අවසන් වනවිට පෘථිවියේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 3-5 අතර ප‍්‍රමාණයකින් ඉහළ යනු ඇත. දැනටමත් මුහුදේ ජල මට්ටම සෙන්ටිමීටර් 20 කින් ඉහළ ගොස් ඇති අතර 2050-60 වනවිට ඒ මට්ටම සෙන්ටි මීටර් 50කින් ඉහළ යනු ඇත. මේ සියවස අවසන් වන විට මුහුදේ ජල මට්ටම මීටර් 1 කින් හා 2300 පමණ වනවිට මීටර් 3-5 අතර ප‍්‍රමාණයකින් ඉහළ යනු ඇත. එම අනාවැකි වලට අනුව ග‍්‍රීන්ලන්තයේ සම්පූර්ණ අයිස් තට්ටුව දියවූවොත් මුහුදේ ජලමට්ටම මීටර් 7.2 කින් ඉහළ යා හැකිය. එමෙන්ම බටහිර ඇන්ටාක්ටිකාවේ රැුඳී ඇති අයිස් වල අඩංගු ජල ප‍්‍රමාණය මුහුදේ ජලමට්ටම මීටර් 3.3 කින් ඉහළ නැංවීමට ප‍්‍රමාණවත් වේ. මෙලෙස අයිස් තට්ටු දියවීමෙන් මුළු ලෝකයේම වෙරළ සීමාවන් වෙනස් වනු ඇත. මුහුදේ ජලමට්ටම ඉහළ යාම වැනි වෙනස්කම් කාබන්ඩයොක්සයිඞ් වායුගෝලයට මුදා හැර අවසන් වීමෙන් පසුව ද සියවස් ගණනාවක් යනතෙක් පවතිනු ඇත.

සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1.2 කින් මිහිතලයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇති දැනටමත් ලෝකයේ විශාල විනාශයක් සිදු වෙමින් තිබේ. දියුණු රටවලට පවා දේශගුණික විපර්යාසයට මුහුණ දීමට අපහසු වී ඇත. ලැව් ගිනි පාලනය කරගැනීමට ඇමරිකාවට නොහැකි වී ඇත. මේ වසරේ ජුලි මස ජර්මනියේ හා බෙල්ජියමේ ඇති වූ මාරාන්තික ගංවතුරින් ගොඩනැඟිලි හා වාහන ගසාගෙන ගොස් මිනිසුන් 1000ක් පමණ අතුරු දහන් විය. සාමාන්‍යයෙන් ශිත ප‍්‍රදේශයක් වන ඇමරිකාවේ වයඹ දිග පැසිපික් කලාපයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඞ් 38 දක්වා ඉහළ ගියේය. ආක්ටික් සාගර කලාපයේ ෆොරිඩාව තරම්වූ විශාල අයිස් ප‍්‍රමාණයක් පසුගිය ජුනි හා ජුලි මාස වලදී දිය වී ගියේය. චීනයේ ඇති වූ ගංවතුර නිසා මෑතකදී විශාල ව්‍යසනයක් සිදුවූ අතර ඉන් ජීවිත 100 ක් පමණ නැති විණි. ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ගැන අපි හැමෝම හොඳින් දනිමු. අකලට වැසි, මහ දරුණු වැසි, හදිසි වැසි, ගංවතුර, නායයෑම්, දරුණු නියඟය, උෂ්ණත්වය වැඩිවීම, සුළි සුළං, කුණාටු, වෙරළ ඛාදනය, කරදිය රට තුළට ගලා ඒම, ඩෙංගු වැනි වසංගත තත්ත්වයන්, එකී මෙකී නොකී හැම ස්වාභාවික විපතක්ම දැන් අස්වාභාවික ලෙස සිදුවෙමින් තිබේ.

අංශක 2 පැන්නොත් මිනිසා අසරණයි!

මෙම වාර්තාවේ තවත් වැදගත් අනාවරණයක් වන්නේ දැනට මිනිසා විසින් පොසිල ඉන්ධන එනම් ගල් අඟු?රු, ඛනිජ තෙල් හා ස්වාභාවික වායු දහනය කර වායුගෝලයට මුදා හරින කාබන්ඩයොක්සයිඞ් වලින් භාගයකට වඩා යලිත් උරාගන්නා මහපොලව හා මහ සාගරය ද විශාල අනතුරකට මුහුණ දී ඇති බවයි. එනම් වායුගෝලයේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1.5 – 2 කට වඩා ඉහළ ගිය පසු මහපොලවට හා සාගරයට කාබන්ඩයෙක්සයිඞ් යලි උරා ගැනීමට ඇති හැකියාව නැතිවී යයි. එපමණක් නොව විද්‍යාඥයින්ගේ සමහර අනාවැකි වලට අනුව ඒවා පොසිල ඉන්ධන මෙන් කාබන්ඩයොක්සයිඞ් වායුගෝලයට

මුදා හරින ප‍්‍රභව බවට පරිවර්තනය වේ. එසේ වූ පසු පොසිල ඉන්ධන දහනය නැවැත්වූවාට පලක් නැත. මහපොලවෙන් හා මහ සාගරයෙන් ඉබේම කාබන්ඩයොක්සයිඞ් වායුගෝලයට නිකුත් වන විට දේශගුණික විපර්යාසය මිනිසාට පාලනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්වේ. සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1.5 – 2 ක උෂ්ණත්වය ඉහළයාම දේශගුණික විද්‍යාඥයින් විසින් තීරණාත්මක කඩඉමක් ලෙස සලකන්නේ එබැවිණි. ඉන් ඔබ්බට ගියහොත් තත්ත්වය මිනිසාගේ පාලනයෙන් ගිලිහේ.

දැන්වත් ඇස් හැර බලන්න

ළඟ ළඟ එන මහ ව්‍යසනයෙන් බේරීම සඳහා දැන්වත් ඇස් හැර බලන්න එයයි දේශගුණික විද්‍යාඥයින් ලෝක නායකයින්ට සිය නවතම වාර්තාවෙන් දෙන පණිවිඩය. දේශගුණික විද්‍යඥයින්ගේ හයවන තක්සේරු වාර්තාවේ පිටු 3949 කින් සමන්විත පළමු වෙළුම, භෞතික විද්‍යාවේ පදනම හා දේශගුණික විපර්යාසය පිළිබඳවයි. එහි දෙවන හා තුන්වන වෙළුම හා සංස්ලේශිත වාර්තාව ලබන වර්ෂයේ එළි දැක්වීමට නියමිතය. එම වාර්තා මඟින් දේශගුණික විපර්සායයෙන් සිදුවන බලපෑම, හැඩගැසීම, හා අවදානම පිළිබඳවත් දේශගුණික විපර්යාසය නවත්වාගැනීමට පොසිල ඉන්ධන දහනය වැලැක්විය යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් සවිස්තරාත්මකව කරුණු දැක්වීමට නියමිතය.

ලෝක දේශගුණික විද්‍යාඥයින්ගේ එකමුතුව 1988 දී ස්ථාපිත කිරීමෙන් පසුව මේ දක්වා වාර්තා 5ක් එළි දක්වා ඇත. 1990 දී එළි දැක්වූ පළමු වාර්තාව ඉදිරිපත් කළ අනාවැකිය ගැන අවධානය යොමු කිරීම සඳහා 1992 දී පැවති මිහිතල සමුළුවේ දී,ිඑක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාසය පිළිබඳ සම්මුති රාමුව’ (UNFCCC) ස්ථාපිත කරනු ලැබීය. එදා මෙදා තුර ලෝකවාසීන් එම අනාවැකියට ප‍්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම නිසා එදා අනාවැකි කී පරිදි මේ වනවිට මිහිතලයේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1.2 කින් ඉහළ ගොස් ඇත. ඉන්පසු 1995, 2001, 2007, හා 2014 අවුරුදු වල ද වාර්තා එළි දැක්වූ නමුත් ඒ මත පදනම් වී එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කළ කියොටෝ සම්මුතිය, බාලි මාර්ග සිතියම හා පැරිස් සම්මුතිය මේ දක්වා දේශගුණික විපර්යාසය වලක්වා ගැනීමට අසමත් වී ඇත.

ගල් අඟුරු, ඛනිජතෙල් හා ස්වාභාවික වායු අළුතින් එපා!

මෙතැන් පටන් දිගටම වායුගෝලයට කාබන්ඩයොක්සයිඞ් පිට කරන මුළු ප‍්‍රමාණය අඩු කරන්නට පටන්ගත හොත් උෂ්ණත්වය ඉහළයාම, මේ සියවස අවසන් වන විට, සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1.5 කට සීමා කිරීමේ ඉතා සුළු ඉඩක් තවමත් ඇත. ඒ වුනත් ඊට පෙර 2041 වනවිට උෂ්ණත්වය 1.6 දක්වා ඉහළ නැඟ ඉන්පසු යලිත් සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1.5 දක්වා පහළ බැසිය හැකි බව එම විද්‍යාඥයින්ගේ අනාවැකි වලින් පෙනී ගොස් ඇත. එසේ වීමට නම් මිනිසාට තවදුරටත් වායුගෝලයට පිටකළ හැකි මුළු කාබන් ප‍්‍රමාණය ගිගා ටොන් 400 ක් පමණි. එලෙස පිටකරන ප‍්‍රමාණය සීමා කළහොත් උෂ්ණත්වය ඉහළ යාම සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1.5 කට සීමා වීමට, 67% ක ඉඩකඩ ඇත. උෂ්ණත්වය ඉහළ යාම සෙන්ටිගේ‍්‍රඞ් අංශක 2 කට සීමා වීමට නම් මුදා හැරිය හැකි මුළු කාබන් ප‍්‍රමාණය ගිගා ටොන් 1150 කි. කාබන් අයවැය (කාබන් බජට්* යනුවෙන් හඳුන්වන්නේ එයයි. මිනිස්සු දැනට වසරකට කාබන් ගිගාටොන් 36-40 අතර ප‍්‍රමාණයක් පිට කරන බැවින් මේ ඉලක්කය ජයගන්නට නම් මින් ඉදිරියට ගල් අඟුරු, ඛනිජතෙල් හා ස්වාභාවික වායු බලාගාර අළුතින් පටන් නොගත යුතුය. ඛනිතෙල් වලින් දුවන වාහන හා එන්ජින් නිෂ්පාදනය නැවැත්විය යුතුය. එපමණක් නොව දැනට තිබෙන පොසිල ඉන්ධන බලාගාර, වාහන හා එන්ජින් භාවිතය ද ක‍්‍රමානුකූලව ඉදිරි වසර 20 තුළ අවසන් කළ යුතුය. එනම් කාබන් පිටකිරීම 2040 වනවිට බිංදුව විය යුතුය. ඒ වෙනුවට ලෝකය වේගයෙන් පුනර්ජනනීය බලශක්තියට මාරු වියයුතුය. ප‍්‍රවාහනය ද විදුලියට මාරු විය යුතුව ඇත. එබැවින් නොර්වේ රටේ මේ වසරේ ජුලි දක්වා කාලය තුළ අළුතින් විකිණු මුළු වාහන වලින්, විදුලි වාහන 64.1% ක් හා විදුලි හයිබි‍්‍රඞ් වාහන 27.6% ක් ලෙස මුළු විදුලි වාහන ප‍්‍රමාණය 91.7% ක් බවට පත් වී හමාරය.

ශ‍්‍රී ලංකාවට අළුත් වටිනාකමක්

මේ වසරේ නොවැම්බර් මස මුලදී එංගලන්තයේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණය පිළිබඳ 26 වන සමුළුවේ (Cop-26) දී වත් හරි තීරණයක් ගතහොත් මිහිතලයේ උෂ්ණත්වය ඉහළයාම සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1.5 කට සීමා කිරීමට හැකිය. විසිපස් වතාවක් මීට පෙර රැුස්ව කිරීමට බැරිවූ දේ 26 වන වතාවේදී කිරීමට ඇති ඉඩ කුමක්ද?

මේ අවශ්‍යතාවය ලෝක ප‍්‍රජාව හමුවේ ඉස්මතු කර පෙන්වන්නට ශ‍්‍රී ලංකා රජයට ස්වර්ණමය අවස්ථාවක් දැන් උදා වී ඇත. ශ‍්‍රී ලංකාවේ රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය වන සෞභාග්‍යයේ දැක්මේ 2030 වනවිට මුළු බලශක්ති අවශ්‍යතාවයෙන් 80% ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගන්නා බව සඳහන් වී ඇත. නිලධාරීන්ගේ නොයෙක් කකුලින් ඇදීමේ වැඩසටහන් තිබිය දී පවා ජනාධිපතිතුමා අධිෂ්ඨාන සහගතව ප‍්‍රකාශ කරන්නේ රජය 2030 වනවිට අවම වශයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගන්නා බවයි. ඒ අනුව ඉදිරියේ දී ශ‍්‍රී ලංකාව අළුතින් ගල් අඟුරු

බලාගාර ඉදිකරන්නේ නැත. එමෙන්ම කොවිඞ්-19 තත්ත්වයන් යටතේ අළුත් වාහන ශ‍්‍රී ලංකාවට ගෙන්වීම රජය විසින් නවත්වා දමා ඇත. ඉදිරියේ දී තත්ත්වය යහපත් වනවිට විදුලි වාහන පමණක් ගෙන්වීමට ඉඩ දීමේ තීන්දුවක් රජය විසින් ගතහොත්, රටක් ලෙස ඉතා පහසුවෙන් දේශගුණික විපර්යාසයෙන් ලොව මුදවා ගැනීමේ ඉලක්ක සපුරාගන්නා පළමු රටක් බවට පත් වීමට ශ‍්‍රී ලංකාවට හැකිවේ. ඒ අනුව නොවැම්බර් මස මුලදී එංගලන්තයේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 26 වන සමුළුවේ (Cop-26) දී ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ විශාල කාර්යභාරයක් ඉටුකිරීමට හැකිවේ.

ගෙදර වැඩ වහාම කළ යුතුයි

මේ අනර්ඝ ඉඩප‍්‍රස්ථාව පිළිබඳව වහාම ජනාධිපතිතුමා අවධානය යොමු කළ යුතුය. ශ‍්‍රී ලංකාවෙන් එංගලන්ත සමුළුවට යන රජයේ නියෝජිතයන් වහාම ගෙදර වැඩකර (හෝම් වරක්) ඊට සූදානම් විය යුතුය. එසේ වූවොත් සාකච්ඡුා මේසයේ දී ශ‍්‍රී ලංකාවට විශාල වටිනාකම් ලබා ගැනීමට හැකි වනවා පමණක් නොව, රටේ පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනයට අවශ්‍ය කරන මුදල් ප‍්‍රතිපාදන ද සම්පූර්ණයෙන්ම පාහේ ජාත්‍යන්තරයෙන් ලබාගැනීමට හැකිවේ. එම මුදල ඇමරිකානු ඩොලර් බිලියන 10කට වඩා වැඩි වන හෙයින් එමඟින් දැනට තාවකාලිකව ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇති විදේශ මුදල් සංචිත පිළිබඳ ප‍්‍රශ්නයට ද පහසු විසඳුමක් ලබාගැනීමට හැකිවේ.

විදේශ මුදල් සංචිත හිඟය  දේශගුණික විපර්යාසය මහ සමුළුවෙන් පුරවා ගනිමු

අශෝක අභයගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment