විධායකය ඇතුළු බල කණු තුනම එකවිට ජනතා ප‍්‍රහාරයට!

789

ජනතාවගේ සහ වර්තමාන අර්බුදකාරී තත්ත්වය ප‍්‍රයෝජනයට ගත් දේශපාලන බලවේග ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ පෞද්ගලික නිවාසවලට පහර දීම අනුමත කළ නොහැකිය. විරෝධතා කිරීමේ අයිතිය ජනතාවට සහ අනෙකුත් බලවේගවලට ඇති නමුත් දේපලවලට හානි කිරීම අපරාධයකි. නමුත් මැති ඇමැතිවරුන්ට නොමැති ආරක්ෂාවක් අනුරාධපුරයේ ඥාණා අක්කා නමැති පේන කියන්නියට ලබාදීම මධ්‍යයේ අවධානය යොමු විය. පොලිසියට අමතරව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාවද ඇයගේ නිවාසයට ආරක්ෂාව දීම ආර්ථික, දේශපාලන අර්බුද අතර විශේෂ අවධානය දිනාගත් සිද්ධියක් විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට උපදෙස් දුන් රාජකීය දෛවඥයා මෙන්ම කොරෝනා වෛරසයට එරෙහිව දම්මික පැණිය පානය කළ, ආසිරි ගැන්වූ පැන් මුට්ටි ගඟට දැමූ මහජන නියෝජිතයන් ද මතක් විය.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට එරෙහිව එකවිට මහජන විරෝධතා ඇතිවී ඇත. ශ‍්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණ පසුව කිසිදිනක මෙවැනි ආකාරයේ මහජන විරෝධතාවක් ඇතිවී නැත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ තරු පහේ හෝටලයක ඡන්ද හිමියන්ගේ දිනය මීට සති කීපයකට පෙර පැවැත්වූයේ මැතිවරණ කොමිසමේ ආරාධනයෙනි. ඒ ශ‍්‍රී ලංකාව සර්ව ජන ඡන්ද බලය ලබා වසර 90 ක් ගතවී ඇති අවස්ථාවකදීය. සති කිහිපයක් තුළ සමස්ත දේශපාලන ව්‍යුහයම උඩු යටිකුරු වී ඇත. විධායකය හොබවන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන් 225 කින් සමන්විත පාර්ලිමේන්තුව සහ අධිකරණයට එරෙහිව ජනතා ‘කැරැල්ලක්’ ඇතිවී ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂ සහ කණ්ඩායම් 11 කින් සමන්විත විකල්ප කණ්ඩායමද ජනතා විරෝධයට ලක්වී ඇත.

මාර්තු 31 දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ඔහුගේ පැඟිරිවත්ත පාර, මිරිහාන ප‍්‍රදේශයේ පිහිටි නිවාසය ඉදිරියේ පුපුරා ගිය ජනතා විරෝධය සතියක් තුළ සමස්ත දේශපාලන ක‍්‍රමයටම එරෙහිව ක‍්‍රියාත්මක වී ඇත. ශ‍්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු වරට එකවිට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයද ප‍්‍රතික්ෂේප කර ඇත.

විධායකයට එරෙහිව එක්වූ ජනතාව අතර අන්තවාදීන් ක‍්‍රියාත්මක වූ බවට ජනාධිපති මාධ්‍ය අංශය කිසිදු වගකීමකින් තොරව හදිසියේ කළ ප‍්‍රකාශය එවකට මහජන ආරක්ෂාව භාරව සිටි රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ස්ථිර නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට ජනතාව ස්තුතිවන්ත විය යුතුය.

සමගි ජන බලවේගය නියෝජනය කරන හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා අපේ‍්‍රල් 06 දින පාර්ලිමේන්තුවේ කළ කතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව පමණක් කළ කතාවක් නොවේ. ඡන්දය දෙන ජනතාව සම්පූර්ණයෙන්ම අමතක කර කටයුතු කර ඇති තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා ඇතුළු සමස්ත දේශපාලන ව්‍යුහයම (තමන් නියෝජනය කරන පක්ෂයද අයත්ව) ප‍්‍රතික්ෂේප වී ඇති බව හිටපු එජාප ඇමැතිවරයා පිළිගත්තේය. තවදුරටත් කිසිදු මහජන නියෝජිතයකුට ජනතාවට මුහුණ දිය නොහැක. පොලිස් සහ හමුදා ආරක්ෂාව යටතේ පවා කිසිදු මහජන නියෝජිතයකුට පාරට බැසිය නොහැක.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1978දී හඳුන්වා දුන් ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කළ සියලූම පක්ෂ ජනතාව ප‍්‍රතික්ෂේප කර ඇති බව පැහැදිලිය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ බලාපොරොත්තු වූයේ මිරිහානේදී පුපුරා ගිය ජනතා විරෝධය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පමණක් සීමාවිය විය හැකි බවයි. නැතහොත් විධායකය තනි වන බවයි. එසේ වූවානම් ව්‍යවස්ථාදායකයට ප‍්‍රශ්නක් නැත. දශක ගණනාවක් තිස්සේ කළ පරිදි පාර්ලිමේන්තුවට නැවතත් කට්ටි පැනීමට අවස්ථාව තිබිණි. නමුත් ජනතා විරෝධය විධායකය හොබවන ගෝඨාභය රාජපක්ෂට මෙන්ම අනෙකුත් බල කණු දෙක වන ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට ද එල්ල වී ඇත. මහජන නියෝජිතයන්ට විරෝධතාකරුවන්ට හොරෙන් පාර්ලිමේන්තුවෙන් පිටවී යෑමට සිදුවීම දෛවයේ සරදමක් නොවේද? නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව නීතිඥවරුන් නීතිපති දෙපාර්තමේන්තුවට කඩාවැදීම සහ නීතිපතිවරයාගේ රාජකාරිය අභියෝගයට ලක්කිරීම බරපතළ තත්ත්වයකි.

‘පොහොට්ටු‘ ආණ්ඩුව තවමත් වර්ධනය වෙමින් පවතින මහජන විරෝධතාව නිසියාකාරව තේරුම් ගෙන නැත. ඇත්ත වශයෙන්ම ‘පොහොට්ටු’ ආණ්ඩුවට එසේ තේරුම් ගැනීමට ද අවශ්‍යතාවයක් නැත. දශක ගණනාවක් තිස්සේ රට කළ සියලූම ආණ්ඩු අනුගමනය කළ අදූරදර්ශී පාලනය නිසා ආර්ථිකය කඩා වැටී ඇත. ජනතාවට අවශ්‍ය සියලූම භාණ්ඩ සහ අවශ්‍යතා සැපිරීමට ආණ්ඩුවට ශක්තියක් නැත. හිටපු ඇමැති උදය ගම්මන්පිල පැවසූ පරිදි ආණ්ඩුවට රුපියල් නැත, රටට ඩොලර් නැත. ජනතාව මහපාරේ බව පැහැදිලිය. ආර්ථික ව්‍යසනය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත්තේ පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත‍්‍රීවරු 40 දෙනකු ස්වාධීන වීම නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ. ආණ්ඩු පක්ෂයෙන් මන්ත‍්‍රීවරු 145 ක් පාර්ලිමේන්තුවට පත්විය. අද එම කණ්ඩායම 105 කට සීමා වී ඇත. පොහොට්ටුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය අහිමි වී ඇත. නමුත් වෙනත් සුළු පක්ෂවලින් ලැබෙන සහයෝගය ආණ්ඩුවට ඇත. ඒ අනුව ආණ්ඩුවට 114 ඡන්ද ඇති බව විකල්ප කණ්ඩායමේ ප‍්‍රධානියකු වූ පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ ගම්මන්පිල ප‍්‍රකාශ කර ඇත.

ඒ අනුව 20 වැනි සංශෝධනය 2020 ඔක්තෝබර් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එයට ඡන්දය දුන් සමගි ජන බලවේගය පාවා දුන් කණ්ඩායම තවමත් ආණ්ඩුව සමඟ සිටින බවට උපකල්පනය කරය. තමන් ගේ පක්ෂය පාවා දෙන මන්ත‍්‍රීවරුන් ගැන කිසිදු විශ්වාසය තබා ගැනීම අතිශය අනතුරුදායකය. මෙම ලියුම්කරු විශ්වාස කරන්නේ ස්වාධීන වූ මන්ත‍්‍රීවරු කණ්ඩායම තව දුරටත් වර්ධනය වනු ඇති බවයි. පොහොට්ටු ශක්තිය තවදුරටත් හීන වනු ඇති බවයි.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයෙන් අපේ‍්‍රල් 04 ඉවත් කිරීම, එම අමාත්‍යාංශයට ජනාධිපති නීතිඥ අලි සබ්රි පත් කිරීම, එතුමා පැය 24 තුළ ඉවත් වීම, ආචාර්ය බන්දුල ගුණවර්ධන එම අමාත්‍යාංශය ඒ අවස්ථාවේ භාර නොගැනීම අවධාරණය කරන්නේ පොහොට්ටු ආණ්ඩුව මුහුණ දී ඇති අතිශය සංකීර්ණ දේශපාලන අර්බුදයයි.

ජනතාව සහ විපක්ෂය ජනාධිපතිවරයාට තීරණාත්මක අභියෝගයක් එල්ල කර ඇති මෙම අවස්ථාවේ අන්තර්වාර පාලනයක් පිහිටුවීමට කැබිනට් තනතුරු විපක්ෂයට යෝජනා කිරීම තේරුම්ගත නොහැක. විපක්ෂය ඒකමතිකව ජනාධිපතිවරයා කළ එම යෝජනාව ප‍්‍රතික්ෂේප කළේ දෙවරක් නොසිතාය. පොහොට්ටු පක්ෂය ටෝපිඩෝ ප‍්‍රහාරයක් එල්ල වූ නැවකට සමාන කළ හැකිය. එවැනි අනතුරුදායක තත්ත්වයක දී අබලන්වූ එම යාත‍්‍රාවට කිසිවකු ගොඩ වන්නේ නැත. අත්තර්වාර පාලනය සම්බන්ධයෙන් කළ යෝජනාව ප‍්‍රතික්ෂේප වීම නැවත නැවතත් අවධාරණය කරන්නේ ආණ්ඩුව පත්වී ඇති අන්ත අසරණ භාවයයි.

විධායකය සහ ව්‍යවස්ථාදායකය ජනතාව ප‍්‍රතික්ෂේප කර ඇත. එම තත්ත්වය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ තුනෙන් දෙකකට ආසන්න බලයක් පාර්ලිමේන්තුවේ හිමිවී තිබූ පොහොට්ටු පක්ෂය අර්බුදයට ලක්වීම පමණක් නොවේ. සමස්ත දේශපාලන ව්‍යුහයම ප‍්‍රතිෂේප වීමකි. නීතිපතිවරයාට එරෙහිව, එම දෙපාර්තමේන්තුවේ ක‍්‍රියාකලාපයට විරුද්ධව නීතිඥවරු පාරට බැසීම සමස්ත රාජ්‍ය තන්ත‍්‍රය අභියෝගයට ලක්වීමක් නොවේද. එවැනි රටකට ජාත්‍යන්තර ප‍්‍රජාවේ විශ්වාසය කිසිසේත් දිනාගත නොහැක.

ජාතික ආර්ථිකය අර්බුදයට ලක්වීම සම්බන්ධයෙන් පසුගිය වසර 25-30 තුළ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ සියලූම ආණ්ඩු වගකිව යුතුය. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය (2005-2015) තුළ ඉවක් බවක් නැතිව ලබා ගත් ණය ශ‍්‍රී ලංකාව අසරණභාවයට පත් කර ඇත. වර්තමාන ආණ්ඩුවේ වගකීම් විරහිත හැසිරීම හේතුවෙන් ණය අර්බුදය පුපුරා ගොස් ඇත. හිටපු අධිකරණ සහ පැය 24 මුදල් ඇමැති අලි සබ්රි අපේ‍්‍රල් 07 දින පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශ කළේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම ලබා ගත යුතු බව තමන් කැබිනට් මණ්ඩලයට පැවසුවේ වසරකට පෙර බවයි. සබ්රි ගේ අනතුරු ඇඟවීම කැබිනට් මණ්ඩලය නොසලකා හැර ඇත.

එසේනම් ජනාධිපති නීතිඥ සබ්රි දුන් උපදෙස් කැබිනට් මණ්ඩලය නොසලකා හැරියේ ඇයි? මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මැතකදී ප‍්‍රකාශ කළේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම 2021 අපේ‍්‍රල් මාසයේදී ලබාගත යුතුව තිබූ බවයි. සබ්රි පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි. නැතහොත් වෙන විකල්පයක් නැති බවයි. එම මැදිහත්වීම වැලක්වූයේ කවුරුද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්කළ පළමුවන මහ බැංකු අධිපතිවන මහාචාර්ය ඩබ්ලිව්. ඒ. ලක්ෂ්මන් ද (2019 දෙසැම්බර් -2021 සැප්තැම්බර්), එම තනතුරට ඊට පසුව පත්වූ අජිත් නිවාර්ඞ් කබ්රාල් ද (2021 සැප්තැම්බර් – 2022 මාර්තු), හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ද (2019 දෙසැම්බර් -2021 දෙසැම්බර්), එම කාලය තුළ මුදල් අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂද ජනතාවට පිළිතුරු දිය යුතුය.

පොහොට්ටු ආණ්ඩුව මූල්‍ය තත්ත්වය ඉතිහාසයේ නරකම තැනට පත්කළ බව අවධාරණය කළ යුතුය. ආණ්ඩුවේ අදූරදර්ශී ක‍්‍රියාමාර්ගය විමසා බැලිය යුත්තේ ආර්ථික අභියෝගය ජය ගැනීමට (විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමට) පත්කළ විශේෂඥ කණ්ඩායමට ශ‍්‍රී ලංකාවේ 14 වන මහා බැංකු අධිපතිවරයා වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත්කිරීමයි. පොහොට්ටු ආණ්ඩුව ඉන් පෙර සිටි සෑම රජයක් මෙන්ම මහා බැංකු අධිපති ධුරය දේශපාලනීකරණය නොකර සිටියානම් ආචාර්ය කුමාරස්වාමිට එම ධුරයේ කටයුතු කරගෙන යෑමට තිබිණි. නමුත් මහාචාර්ය ලක්ෂ්මන්ට එම තනතුර අවශ්‍ය විය. පොහොට්ටු නායකයෝ ඔහුට ඒ අවස්ථාව දීමට කටයුතු කළේය. ආණ්ඩුව සහ මහ බැංකුව ආර්ථිකයට අයාලේ යෑමට ඉඩ දුන් බව පෙන්වා දිය යුතුය. වැඬේ වරදිනි. මහාචාර්ය ලක්ෂ්මන්ට පෙන්වූ පොහොට්ටුව, වියත්මග ප‍්‍රබලයකු වූ එවකට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරය දරූ අජිත් නිවාර්ඞ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරයට පත් කළේය. කබ්රාල්ගේ ඉල්ලීම පරිදි මහ බැංකු අධිපති තනතුර කැබිනට් අමාත්‍යවරයකුගේ තත්ත්වයට උසස් කළේ මාධ්‍ය ප‍්‍රචාරයක්ද සමඟය.

කබ්රාල් තමන් ඉදිරිපත් කළ ආර්ථිකය ගොඩගැනීමේ හය මාසයක මාර්ග සිතියම (2021 ඔක්තෝබර් -2022 මාර්තු) ක‍්‍රියාත්මක නොකරම ඉවත් විය. ආර්ථිකය බිංදුවට බැස්සේය. ආණ්ඩුවට නැවතත් මහ බැංකුව හැර ගිය නන්දලාල් වීරසිංහ මතක් වූයේ එවිටය. නන්දලාල් වීරසිංහට මහා බැංකුව භාර දීමට තිබුණේ ආචාර්ය කුමාරස්වාමි ආණ්ඩුව වෙනස් වීම නිසා එම තනතුරේ සිටීමට නොහැකි බවට ප‍්‍රකාශ කළා නම් පමණි. නමුත් රජයේ ඉහළ තනතුරු හිත මිතුරන්ට පිරිනැමීම දේව කාර්යක් ලෙස සලකන වගකීම් විරහිත දේශපාලන නායකයන් සමස්ත ආර්ථිකයම අර්බුදයකට කල් කර ඇත.

ඇත්ත වශයෙන්ම රජය අර්බුදයට පත් වී ඇති මේ අවස්ථාවේ ආර්ථිකය ගොඩගැනීමේ සටනට නන්දලාල් වීරසිංහට සහ ආචාර්ය කුමරස්වාමිට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ලැජ්ජා විය යුතුය. එදා මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආචාර්ය කුමරස්වාමිට මහා බැංකුව භාර ගැනීමට ආරාධනා කළේ රනිල් වික‍්‍රමසිංහගේ ගජ මිතුරු අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු බැඳුම්කර වංචා ක‍්‍රියාත්මක කළ තත්ත්වයක් යටතේය.

මහ බැංකු කොල්ලයට (2015 සහ 2016) නඩු පවරා ඇති සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් එම තනතුරට පත් කළ එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ වර්තමාන ආණ්ඩුවට උපදෙස් දීම අවාසනාවන්ත තත්ත්වයක් නොවන්නේද? රට මුහුණ දෙන අර්බුදය විසඳීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයකට සැබෑ උනන්දුවක් නැත. එකම අවශ්‍යතාවය කෙසේ හෝ බලය රැක ගැනීමයි. නැතහොත් බලය ලබා ගැනීමයි. තමන්ට පාලනය කිරීමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කර ගැනීමට ශ‍්‍රී ලංකාව සොහොනක් බවට පත් කිරීමට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සූදානම් බව ජනතාව තේරුම්ගත යුතුය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment