වින්දිතයන් රිදවීම නමින් දේශපාලන නාටකයක් රඟදැක්වීම

784

වින්දිතයන් රිදවීම කෙතරම් නින්දිතදැයි සඳහන් බැනර ඔසවාගෙන කතෝලික පූජකයන් පිරිසක් පසුගිය සඳුදා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සිටගෙන සිටිනු දක්නට ලැබිණි. ප‍්‍රකාශයක් ලබාදීමට තෙවැනි වතාවටත් සිරිල් ගාමිණි පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි නිසා සුපුරුදු ලෙස සෙසු පූජක පිරිසත් බැනර පෝස්ටර් ඔසවාගෙන කොටුවට පැමිණ තිබිණි. වින්දිතයින් බලෙන්ම රිදවාගෙන දඟලන බව පෙනෙයි. එදා පාස්කු ප‍්‍රහාරයට පසු සහරාන්ට එරෙහිව බැනර පෝස්ටර ප‍්‍රදර්ශනය නොකළ පිරිස් අද ලෝකයට පෙනෙන්ට රංගනයක් දක්වන බව පැහැදිලිය. සිරිල් ගාමිණි පියතුමා මේ සොනික් කතාවක් ප‍්‍රකාශ කිරීම මේ සියලූ අවුලට හේතුවයි. සහරාන් නොව මාරාගෙන මැරී ඇත්තේ සොනික්ද? වින්දිතයන් බලෙන්ම රිදවාගෙන දඟලන බව කියන්නේ අප කියන්නේ මේ නිසාය. සොනික් කතාවට කිසිම පදනමක් හෝ සාක්ෂියක් නැත. එය දේශපාලන කණ්ඩායමක් විසින් මවනු ලැබූ බොරුවකි. මේ බොරුව වමාරා දැන් සිරිල් පියතුමා වින්දිතයින් රිදවන්නේ මන්දැයි අසයි. ලෙඩා තුවාලෙට බලෙන් ඇනගෙන ලේ ගලා යද්දී දොස්තරට බැන අඬ ගසනවා වැනි නාටකයක් නිර්මාණය වී ඇත. භික්ෂුවක් වේවා පූජකයෙක් වේවා තමන්ට කැමති කැමති ආකාරයට බොරුව සාමාජ ගත කළ නොහැකිය. එහෙත් දැන් කතෝලික පල්ලිය ප‍්‍රකාශ කරන්නේ සිරිල් ගාමිණි පියතුමා ප‍්‍රශ්න කිරීමට කැඳවීම ද ප‍්‍රශ්නයක් බවයි. පූජකයන් ඔසවාගෙන පැමිණි බැනරයක සඳහන් වූයේද පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සුදුසු නොවන බවයි. පියතුමා කැඳවන්නේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ පැමිණිල්ලකට අනුවය.

පාස්කු ප‍්‍රහාරය පිටුපස ඇති සත්‍ය අවංකව හෙළිදරව් කර ගැනීමට වත්මන් ආණ්ඩුවට උනන්දුවක් ඇති බවක් පෙනෙන්නට නැතැයි සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා ප‍්‍රකාශ කරන්නේ කලක පටන්ය. එය ඔහුගේ අයිතියකි. නමුත් බුද්ධි අංශ ඉලක්ක කරගෙන නොයෙක් කතා පළ කරන්නේ කවර අරමුණකින්ද? පාප් වහන්සේ නැගිට්ටුවන්නටද? කතෝලිකයින් හා ආණ්ඩුව අතර ගැටුමක් ඇති කරවන්නටද? ජාත්‍යන්තරයට පෙනෙන්න විශාල රංගනයක් සිදුවන බව පැහැදිලිය. දැන් පාස්කු ප‍්‍රහාරය සිදු කළ මුස්ලිම් අන්තවාදය ගැන කතා කරන කිසිවෙක් නැත. දැනට අත්අඩංගුවේ සහරාන් මවුලවි හෙළිකළ තොරතුරු අනුව මේ වසරේදී රටේ පළාත් නමයේම එකවර ප‍්‍රහාරයක් කිරීමට සැලසුම් කර තිබී ඇත. නමුත් සහරාන් හෂීම් ප‍්‍රහාරය ඉක්මන් කර ඇත්තේ නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් හි මුස්ලිම් පල්ලිවලට එල්ලවූ ප‍්‍රහාරයෙන් පසුය. මෙයට සහරාන් මවුලවිගේ එකඟතාවය පළවී නොමැත. දැන් මේ කතා ගැන කිසිවෙක් උන්නදු නැත. සහරාන් අමතකවී දේශපාලන නාටකයක් රඟදැක්වේ. සිරිල් ගාමිණි පියතුමා පාස්කු ප‍්‍රහාරය ගැන සුරේෂ් සලේට චෝදනා එල්ල කරන්නේ සාක්ෂි ඇතිවද? කටට එනවාට සියල්ලම ප‍්‍රකාශ කළ නොහැකිය. කෙසේ නමුත් සුරේෂ් සලේ යනු මෙරටට ඉතා වැදගත් දේශපේ‍්‍රමී නිලධාරියෙකි. වත්මන් ජනපතිවරයා බලයට පත්වී සති කිහිපයක් ඇතුළත ඔහු බුද්ධි අධ්‍යක්ෂ ධුරයට පත් කරන ලදී. රටට එරෙහි බලවේගවලට නම් සුරේෂ් සලේ පෙන්න්නට බැරිය. යහපාලන රජය මගින් එවක හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුරේෂ් සලේ ඉවත් කරනු ලැබුවේ දේශපාලන බලපෑම් නිසාය. බි‍්‍රගේඩියර් සලේ ඉවත්ව යෑම සම්බන්ධයෙන් අපමණ සතුටට පත්වූයේ ඊළාම් ඩයස්පෝරාවයි. වන්නි මෙහෙයුම් සමයේ කොටි ජාත්‍යන්තර ජාලයේ තොරතුරු සොයා ගනිමින් ක‍්‍රියාකළ බි‍්‍රගේඩියර් සුරේෂ් සලේ මෙරට ඊනියා සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන්ගේ වෛරයට ලක්විය. ඔහුව ධුරයෙන් ඉවත් කරන ලෙස සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීහු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බලකිරීම නිසා මේ දේශපේ‍්‍රමී නිලධාරියා මැලේසියාවට පිටත් කර යැවිණි. සලේ ඉවත් කළ යුතු බව කියමින් සාධාරණ සමාජය පුවත්පත් සාකච්ඡා පැවැත්වූ අයුරු අපට අදත් මතකය. බි‍්‍රගේඩියර් සලේ ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරියා ලෙස සේවය කරද්දී පැරිසියේ ශ‍්‍රී ලාංකික දේශපේ‍්‍රමීන් හා එක්ව ප‍්‍රංශ කොටි ජාලය ගැනත් ඔවුන් අරමුදල් එකතු කරගන්නා අයුරුත් සොයාගනු ලැබීය. ඒ වන විට ඔහු තානාපති කාර්යාලය තුළ ක‍්‍රියාත්මක වූයේ අන්වර්ථ නාමයකිනි. මේනිසා ඔහු කොටි ජාත්‍යන්තර ජාලයේ ඉලක්කය විය.

රුපියල් කෝටි සියයක් ඉල්ලා සුරේෂ් සලේ යස්මින් සුකාට විරුද්ධව නඩු පවරා තිබුණේ පසුගිය වසරේය. ඔහු නඩු පවරා තිබුණේ සුප‍්‍රසිද්ධ ගැහැනියකට එරෙහිවය. ඇය ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකා යස්මින් සුකාය. එම අදාළ එන්තරවාසිය ඞී.එම්.එල්. කුරියර් සේවාව මගින් එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි යස්මින් සුකාගේ ලිපිනයට හා ජාත්‍යන්තර මූලස්ථානයටද යවා ඇති බව ඒ දිනවල මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. යස්මින් සුකා හැමවිටම ලංකාව යුද අපරාධ උගුලේ හසු කරන්නට උත්සහ කරන කෙනෙක් බව නොදන්නා ලාංකිකයෙක් නම් නැත. බි‍්‍රගේඩියර් තනතුරෙහි කටයුතු කළ සුරේෂ් සලේ ඇතුළු හමුදා නිලධාරීන් පස්දෙනකු 2020 වසරේ මැයි 22 දා සිට බලපැවැත්වෙන පරිදි මේජර් ජෙනරාල් තනතුරට උසස් කළ පසු සුකා කලබල වෙයි. මෙම උසස්වීම් සම්බන්ධයෙන් යස්මින් සුකා ඉකුත් වසරේ ජූනි 01 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියනුයේ කොටි සංවිධානය සම්බන්ධකම් පැවැත්වූ වෛද්‍ය වර්ධරාජා, තුරෙයිරාජන් නමැති දකුණු ඇමරිකාවේ පදිංචිව සිටින වෛද්‍යවරයා 2009 වන්නි මානුෂීය මෙහෙයුමෙන් පසුව අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණවීම ගැන සුරේෂ් සලේ වගකිවයුතු බවය. හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් සුරේෂ් සලේ මහතා එම තනතුරෙන් ඉවත් කරනු ලැබුවේ දේශපාලන බලපෑම් මත බව හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනධිපති විමර්ශන කොමිසම හමුවේ ප‍්‍රකාශ කර තිබිණි. ‘‘සුරේෂ් සලේ මහතා ඉතාමත් දක්ෂ බුද්ධි නිලධාරියෙකි. ඔහුට සෑමවිටම විනිවිද බැලීමේ හැකියාවක් තිබෙනවා. වැඩිපුර කතා කරන්නේ නැහැ. කල්පනා කරමින් සිට වචනයක් දෙකක් කතා කරනවා. ඒ වචන කිහිපයේ ඉතා විශාල වටිනාමකමක් තිබෙනවා වගේම ඔහුට විවිධ රටවල් සමග බුද්ධි සබඳතා තිබුණා. ඒ වගේම ඔහුට හොඳ බුද්ධි නෙට්වර්ක් එකක් තිබුණා. ඒ මහතා හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කළ අයෙක්. ඔහුට ඉස්ලාම් අන්තවාදය ගැන හොඳ දැනුමක් තිබුණා. වටිනා යෝජනා ඉදිරිපත් කර තිබුණා. ඔහු එවූ සෑම වාර්තාවක්ම ලිඛිතව ක‍්‍රමානුකූලව ඉදිරිපත් කළා‘‘ යනුවෙන් හෙට්ටිආරච්චි මහතා කොමිසම හමුවේ ප‍්‍රකාශ කර තිබිණි. ඒ සියල්ල අනුව පැහැදිලිවන්නේ කුමක්ද? කතෝලික පල්ලිය වෙනම ව්‍යාපෘතියකට කටයුතු කරන බවය. මියගිය මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් මතක් වෙන්නේ මෙවිටය. 1962දී රජය පෙරළා දැමීමට උත්සාහ කළ අසාර්ථක හමුදා කුමන්ත‍්‍රණය ද මතක්වේ. එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය බලයෙන් පහකර දැමීම සඳහා කතෝලික හමුදා නිලධාරීන් පිරිසක් විසින් මෙම කුමන්ත‍්‍රණය දියත් කිරීමට සැලසුම් කර තිබිණි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment