විනාශයේ දොරකඩට: සියවසක සටහන්…

131

49 වැනි කොටස

චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වුණා. ගතවුණු අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැදීම් සහ වැරැදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතුවෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරනවා. මේ ලිපියෙන් කියන්නේ විදේශ හමුදා උපදෙස් නිසා රතු හමුදාවට අත් වූ විනාශය ගැනයි.

රතු හමුදාව සහ කු ඕ-මින්-තං හමුදාව අතර බලයේ විශාල වෙනසක් තිබුණා. කු ඕ-මින්-තං හමුදාවට තරම් විශාල පිරිස් බලයක් සහ ගිනි බලයක් රතු හමුදාවට තිබුණේ නෑ. හතුරා පරද්දන ක‍්‍රමයක් මා ඕ ත්ස-තුං විසින් වර්ධනය කළේ මේ වෙනස හොඳින් තේරුම් ඇරගෙනයි ඒ තමයි ගරිල්ලා සටන් ක‍්‍රමය. ඉතින් චියං-ශි සෝවියට් ප‍්‍රදේශය විනාශකරන අදහසින් චියං කායි-ෂෙක් විසින් මෙහෙයවපු මුල් වටලෑම් හතරම ඒ ක‍්‍රමයෙන් පරද්දන්න රතු හමුදාවට පුළුවන් වුණා.

ඒත් පක්‍ෂ නායකත්වයේ බලය අල්ලගත්ත වං මිංගේ පාර්ශ්වය විසින් මේ සටන් ක‍්‍රමය අගය කළේ නෑ. නියම විප්ලවය කරන්න පුළුවන් හතුරා සමඟ මුහුණට මුහුණ කරන සටනකින් කියලා ඒ අය විශ්වාස කළා. ඒ අයට සෝවියට් දේශයේත් කොමියුනිස්ට් ජාත්‍යන්තරයේත් අනුග‍්‍රහය ලැබුණා. කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් රතු හමුදාවට යුද උපදේශකයෙක් පත්කරලා එව්වෙත් ඒ වෙනුවෙන්.

කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් රතු හමුදාවේ යුද උපදේශකයා විදිහට පත්කරලා එවපු ඔටූ බ‍්‍රවුන් (ලී ත) කවදාවත් යුද්ධ කරපු කෙනෙක් නෙවෙයි. සෝවියට් දේශයේ දී ඔහු යුද ශිල්පය ගැන ඉගෙනගත්තත් යුද්ධ පිළිබඳ

ප‍්‍රායෝගික අත්දැකීමක් ඔහුට තිබුණේ නෑ. චීනය ගැනවත්, චීනයේ මිනිස්සු හැසිරෙන විදිහ ගැනවත් ඔහු දැනගෙන හිටියේ නෑ. ඒ වුනත් හතුරා සමඟ මුහුණට මුහුණ කරන සටනක් වෙනුවෙන් ඔහු රතු හමුදාව පෙළඹෙව්වා. ගරිල්ලා සටන් ක‍්‍රමය මුළුමනින්ම අත්හැරියා.

චියං කායි-ෂෙක් විසින් 1933 සැප්තැම්බර් 25 වැනිදා දියත්කරපු පස්වැනි වටලෑමට රතු හමුදාව මුහුණදුන්නේ ඔටූ බ‍්‍රවුන්ගේ (ලී තගේ) උපදෙස් අනුවයි. ඒත් ඒ හැම සටනකින්ම රතු හමුදාවට අත්වුණේ පරාජයක්. රතු හමුදාව මේ විදිහට පරදින්නේ තමන්ගේ වැරැද්දෙන් කියලා ඔටූ බ‍්‍රවුන් (ලී ත) පිළිගත්තේ නෑ.

උවැරැද්දේ වගකීම රතු හමුදාවේ සෙනෙවියන්ට පටවන්න ඔහු කටයුතු කළා. ඒ වගේම, මහ තරහකින් සහ කෝපයකින් හැසිරෙන්නත් පටන්ගත්තා. ඉතින් අදාළ හමුදා තීරණගන්න රැස්වීම්වල නිතර නිතර ගැටුම් ඇතිවුණා.

මේ අතර වං මිංගේ පාර්ශ්වයට (බොල්ෂෙවික්වරු විසි අට දෙනා සහ භාගයට) සම්බන්ධ සමහර අය සැබෑ තත්ත්වය තේරුම්ගනිමින් හිටියා. මා ඕ ත්ස-තුංගේ වටිනාකමක්, ඔහු විසින් හඳුන්වාදුන් සටන් ක‍්‍රමයේ ප‍්‍රායෝගිකත්වයත් ඒ අයට තේරුම් ගියා. මේ අතර ඉස්සහරහින්ම හිටියේ වං චියං-ශියං සහ චං වන්-ථියැන් (ලූ ඕ ෆූ) දෙන්නා. (මේ ලිපි මාලාවේ 45 වැනි කොටසින් ලූ ඕ ෆූ ගැන කියලා තියෙනවා).

විනාශයේ දොරකඩට: සියවසක සටහන්...

චියං-ශි සෝවියට් ප‍්‍රදේශය විනාශ කිරීමේ අදහසින් ක‍්‍රියාත්මක කරපු හතරවැනි වටලෑමේ දී වං චියා-ශියංට බරපතළ තුවාලවුණා. 1933 අපේ‍්‍රල් මාසයේ වෙච්ච ඒ අනතුරින් ඇතිවෙච්ච තුවාලය සනීප නොවී තියෙද්දිත් ඔහු පක්‍ෂයේ රැස්වීම්වලට සහභාගි වුණා. 1934 ජනවාරි මාසයේ දී, ඔහු මධ්‍යම කාරක සභාවටත් දේශපාලන මණ්ඩලයටත් තේරීපත් වුණා. ඒ අවස්ථාවේ දී ම මධ්‍යම කාරක සභාවේ ලේකම් විදිහට පත්වෙන්නත් දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙක් බවට පත්වෙන්නත් චං වන්-ථියැන්ට (ලූ ඕ ෆුට) පුළුවන් වුණා. ඉතින් වං චියා-ශියං සහ චං වන්-ථියැන් කියන්නේ ඒ වෙද්දි පක්‍ෂයේ හිටිය ඉහළම නායකයෝ දෙන්නෙක්.

හමුදා තීරණගන්න රැස්වීම්වල දී, වං චියා-ශියං සහ ලූ ඕ ෆු ප‍්‍රමුඛ කණ්ඩායම විසින් ඔටූ බ‍්‍රවුන් (ලී ත) විවේචනය කරන්න පටන් ගත්තා. ඒ රැස්වීම්වලට මා ඕ ත්ස-තුං සම්බන්ධ කරගන්න ඕන බවත් ඒ අය අවධාරණය කළා. ඒත් මේ අදහස්වලට කන්දෙන්න ඔටු බ‍්‍රවුන් (ලී ත) කැමැති වුණේ නෑ. පක්‍ෂයේ වැඩබලන නායකයාගේ (වං මිංගේ) වැඩබලන්නා විදිහට කටයුතු කළ පෝ කු පෙනී හිටියේ ඔටූ බ‍්‍රවුන් (ලී ත) වෙනුවෙන්. පෝ කු කියන්නේ දේශපාලන සහ හමුදා අත්දැකීම් තිබුණු කෙනෙක් නෙවෙයි. (මේ ලිපි මාලාවේ 42 වැනි කොටසින් ඔහු ගැන කියලා තියෙනවා).

මේ වෙනස්කම් හින්දා ඇතිවෙච්ච ආරවුල් විසඳගන්න හැදුවේ හමුදා තීන්දු ගැනීමේ තුන්කට්ටුවක් පත්කරලා. 1934 ජුලි මුල පත්කරපු මේ තුන්දෙනාගේ කමිටුවේ සාමාජිකයෝ බවට පත්වුනේ ඔටූ බ‍්‍රවුන් (ලී ත), පෝ කු සහ චෝ අන්-ලයි. මේ කමිටුව ඇතුළේ චෝ අන්-ලයිගේ අදහස්වලට ඉඩක් ලැබුණේ නෑ. පෝ කු විසින් කිසිම ප‍්‍රශ්න කිරීමක් නැතුවම ඔටූ බ‍්‍රවුන්ගේ (ලී තගේ) අචහස් පිළිගත්ත හින්දා කමිටුවේ තුනෙන් දෙකේ බහුතරය නොවෙනස්ව තිබුණා. ඉතින් ඒ අදහස්වලට එකඟවෙනවා හැරෙන්න වෙනත් විකල්පයක් චෝ අන්-ලයිට තිබුණේ නෑ.

අනිත් අයගේ බාධාකිරීම්වලින් තොරව තුන්කට්ටුව විසින් තීරණ ගත්තත් රතු හමුදාවට වාසියක් වුණේ නෑ. 1934 අගෝස්තු 5 වැනි දා කු ඕ-මින්-තං හමුදා විසින් එල්ලකරපු ප‍්‍රහාරවලින් රතු හමුදාවට තවත් ප‍්‍රදේශ ගණනාවක්ම අහිමිවුණා. ඒ සැප්තැම්බර් අග වෙද්දි රතු හමුදාවේ බලය රැකිලා තිබුණේ රුයි-චින්, හුයි-ඡං ඇතුළු කෝලර හතක විතරයි. ඉතින් ඒ වෙද්දිත් චියං-ශි සෝවියට් ප‍්‍රදේශයේ පැවැත්ම බරපතළ අවදානමකට ලක්වෙලා ඉවරයි.

මේ මෙහෙයුම් කෙරුණු කාලයේදිත් රතු හමුදාවේ ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරියා විදිහට කටයුතු කළේ ලියු පෝ-ඡං සෙන්පතියා. චීන පොදු නිෂ්පාදන ඉතිහාසය තුළ ඔහුට ලැබෙන්නේ ඉතාමත් මූලික තැනක්.

නූතන චීන ඉතිහාසයේ යුද උපක‍්‍රම පිළිබඳ විශේෂඥයෝ තුනහමාරක් හිටියා කියලා කියනවා. ඒ අතර මුල් තැන් තුන ලැබිලා තියෙන්නේ ලින් පියා ඕ, පැයි ඡුං-ශි සහ සූ යූ කියන සෙන්පතියෝ තුන්දෙනාට. (මේ ලිපි මාලාවේ 34 වැනි කොටසින් ලින් පියා ඕ ගැන කිව්වා). පැයි ඡුං-ශි සම්බන්ධ වෙලා හිටියේ කු ඕ-මින්-තං හමුදාවට. ලී ත්සුන්-රන් එක්ක එකතුවෙලා දකුණේ කුවං-ශි පළාතේ බලය පවත්වාගෙන යන්න ඒ දෙන්නා මූලිකවුණා. ”උතුරු ප‍්‍රයාණය’’ මෙහෙයුමටත් ඔහු දායකවුණා. සූ යූ කියන්නේ රතු හමුදාවේ හිටිය ඉතාමත් සූර සෙනෙවියෙක්. ඔහු ගැන ඉදිරියේ දී කියන්න පුළුවන්. ලියු පෝ-ඡං එක් වතාවක් පැයි ඡුං-ශි සෙනෙවියාට පැරැදුණු හින්දා තමයි ඔහුව ”භාගය’’ විදිහට හඳුන්වන්නේ. ඒ භාගයේ කතාව මොකක් වුණත් විශිෂ්ටතම යුද විශේෂඥයෝ හතර දෙනා අතර ඔහුත් ඉන්නවා.

චූ ත සෙනෙවියා වගේම ලියු පෝ-ඡං ඉපැදුණෙත් චීනයේ නිරිතදිග ස-ඡවාන් පළාතේ. ඔහු ඉපැදිලා තියෙන්නේ 1892 අවුරුද්දේ. සුන් යත්-සෙන්ගේ විප්ලවාදී අදහස්වලින් ඇවිස්සුණු ඔහු 1911 ජනරජ විප්ලවයටත් පුළුවන් තරමින් දායක වුණා. ඔහු ඡුං-ඡිං හමුදා පාසලට බැඳුණේ ඊට පස්සේ අවුරුද්දේ. 1915 දෙසැම්බර් මාසයේ දී යුවාන් ෂි-කයි අධිරාජ ඔටුන්න දාගත්තම (මේ ලිපි මාලාවේ 1 වැනි, 2 වැනි සහ 15 වැනි කොටස්වලින් ඒ ගැන කියලා තියෙනවා) ඊට විරුද්ධ සටනටත් ලියු පෝ-ඡුං සම්බන්ධ වුණා. ඔහු මෙහෙයවපු සේනාවට හතුරු හමුදාවේ භටයන් දහදාහක් අල්ලගන්න පුළුවන්වීමත් විශේෂ කාරණයක්. 1916 දී කරපු සටනක දී ඔහුගේ ඇහකට වෙඩි වැදුණා. ඊට පස්සේ ”එකැස් මකරා’’ කියලා නමකුත් ඔහුට පටබැඳුණා.

”උතුරු ප‍්‍රයාණය’’ මෙහෙයුමේ දී ලියු පෝ-ඡං සටන්කළේ නැගෙනහිර පෙරමුණේ සේනපතියෙක් විදිහට. ඊට පස්සේ ස-ඡුවාන් පළාතේ හමුදා අණදෙන තනතුරත් ඔහුට ලැබුණා. ඒ කාලයේ යුන්-නන් පළාතත් එක්ක ඇතිවෙච්ච යුද්ධයක දී ඔහු අතින් චූ ත සෙනෙවියා පරාජයට පත්වීමත් විශේෂ සිදුවීමක්. මේ කාලයේ දී ළඟින් ආශ‍්‍රය කරපු යාලූවෙක් ලියු පෝ-ඡංට මාක්ස්වාදී අදහස් ගැන කියලා දුන්නා. ඒ යාලූවා තමයි යං අන්-කුං. (1988 – 1993 කාලයේ චීනයේ ජනාධිපති තනතුරු දරපු යං ෂං-කුන් කියන්නේ යං අන්-කුංගේ බාල සහෝදරයෙක්).

ලියු පෝ-ඡුං සෙනෙවියා පොදු නිෂ්පාදන පක්‍ෂයට සම්බන්ධ වුණේ 1926 අවුරුද්දේ. ඒ බව හෙළි නොකරපු ඔහු දිගටම ”උතුරු ප‍්‍රයාණය’’ මෙහෙයුමට දායකවුණා. ඒත් එක්කම නන්-ඡං නැ`ගිටීම සංවිධානය කරන්න ඉතාමත් රහසිගත විදිහට කටයුතු කළා. 1927 අගෝස්තු 1 වැනිදා ක‍්‍රියාත්මක කරපු නන්-ඡං නැ`ගිටීමේ (පොදු නිෂ්පාදන පක්‍ෂයේ මුල්ම ආයුධ සන්නද්ධ නැ`ගිටීමේ) ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරි වගකීමත් ඔහුට පැවරුණා. මේ නැ`ගිටීම ගැනත්, ඒ සඳහා දායකවුණු හමුදා දකුණට ගමන්කරපු ආකාරය ගැනත්, දකුණේ දී ඒ හමුදා පරාජයට පත්වුණු ආකාරය ගැනත් මේ ලිපි මාලාවේ 23 සහ 24 කොටස්වලින් කියලා තියෙනවා.

1927 අවුරුද්දේ අග දී පක්‍ෂය විසින් වැඩිදුර හමුදා පුහුණුව සඳහා ලියු පෝ-ඡුං සෙනෙවියා මොස්කව් නුවරට යැව්වා. ඔහු පුහුණුව ලැබුවේත් ඔටූ බ‍්‍රවුන් (ලී ත) පුහුණුව ලබපු ෆ‍්‍රැන්ස හමුදා පාසලෙන්මයි. සෝවියට් දේශයට පැමිණීමෙන් පස්සේ දවල්, රෑ එක දිගටම මහන්සිවෙලා රුසියානු භාෂාව ප‍්‍රගුණ කරන්න ලියු පෝ-ඡුං සෙනෙවියාට පුළුවන් වුණා. ඉතින් හමුදා පුහුණුවට අමතරව රුසියානු භාෂාව ගැන ඉහළ පරිචයකුත් ඔහු ලබාගත්තා. මේ හැකියාවේ උදව්වෙන් රුසියානු හමුදා පෙළපොත් චීන භාෂාවට පෙරළන්නත්, සුන්තුමාගේ ”යුද කලාව’’ පොත පිළිබඳව විවරණයක් රුසියානු භාෂාවෙන් ලියන්නත් ඔහුට පුළුවන් වුණා.

1928 ජුනි 18 ඉඳලා ජුලි 11 දක්වා මොස්කව් නුවර දී පවත්වපු පක්‍ෂයේ හයවැනි ජාතික සම්මේලනයටත් ලියු පෝ-ඡං සෙනෙවියා සම්බන්ධ වුණා. (ඒ සම්මේලනය ගැන මේ ලිපි මාලාවේ 31 වැනි කොටසින් කියලා තියෙනවා). හමුදා පුහුණුව අවසන් කරපු ඔහු ආපහු චීනයට ආවේ 1930 ජුලි මාසයේ දී. ඒත් එක්කම පක්‍ෂයේ මධ්‍යම හමුදා කමිටුවේ කොමසාරිස් තනතුර ඔහුට ලැබුණා. ඒත් ඇතිවෙලා තිබුණු අනාරක්‍ෂිත වාතාවරණය හින්දා ඔහු ෂං-හයි නගරයේ රැඳිලා හිටියේ ටික කාලයක් විතරයි. ඉතින් 1931 අවුරුද්දේ අග ඔහුටත් චියං-ශි සෝවියට් ප‍්‍රදේශයට සංක‍්‍රමණය වෙන්න සිද්දවුණා.

චියං-ශි සෝවියට් ප‍්‍රදේශයේ දී ලියු පෝ-ඡංට මුලින්ම පැවරුණේ හමුදා පාසලේ ප‍්‍රධානි තනතුර. ඒ තනතුර භාර ඇරගෙන මාස දහයකට පස්සේ (1932 ඔක්තෝබර් මාසයේ දී) රතු හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානි තනතුරත් ඔහුට පැවරුනා. චියං-ශි සෝවියට් ප‍්‍රදේශය විනාශ කිරීමේ අදහසින් 1933 ජනවාරි – මාර්තු කාලයේ චියං කායි-ෂෙක් විසින් මෙහෙයවපු හතරවැනි වටලෑමට විරුද්ධවත් ඔහු සටන් කළා. ඉතින් රතු හමුදාව තුළ ඔහුට තිබුණේ ඉතාමත් ඉහළ පිළිගැනීමක්.

එකම හමුදා පාසලේ පුහුණුව ලැබුවත් පස්වැනි වටලෑමට විරුද්ධව ඔටූ බ‍්‍රවුන් (ලී ත) මෙහෙයවපු සටන් ගැන කැමැත්තක් ලියු පෝ-ඡුංට තිබුණේ නෑ. ඔහු විසින් යම් යම් විකල්ප යෝජනා ඉදිරිපත් කළත් ඔටූ බ‍්‍රවුන් (ලී ත) ඒ අදහස්වලට කන් දුනේනේ නෑ. සටන් පරදින්නේ රතු හමුදාවේ සෙන්පතියන්ගේ වැරැද්ද හින්දා කියන මතයේ ඔහු තදින්ම එල්බගෙන හිටියා. ඉතාමත් කෝපයෙන් හැසිරුණු ඔටූ බ‍්‍රවුන් (ලී ත) හැම කෙනෙක් එක්කම ගැටුම් ඇති කරගත්තා.

1934 ඔක්තෝබර් මාසයේ දවසක යම් කටයුත්තක් සඳහා ඔටූ බ‍්‍රවුන් (ලී ත) මාණ්ඩලික ප‍්‍රධානි මධ්‍යස්ථානයට ගියා. ඒ මධ්‍යස්ථානය ඉදිරිපිටට එකතු වුණු සෙබළු පිරිසක් මිදුලේ හදාගත් තාවකාලික ලිප්වල කෑම උයමින් හිටියා. ඔටූ බ‍්‍රවුන් (ලී ත) එන බවක් ඒ අය දැක්කේ නෑ. ඒ සෙබළු තමන්ට ගෞරව නොකර පාර අවහිර කරගෙන ඉන්නවා කියලා හිතපු ඔටූ බ‍්‍රවුන් (ලී ත) කෝපයෙන් වියරු වැටුණා. ලිපේ තිබුණු බත් මුට්ටියට පයින්ගහලා පෙරළලා දාන්නත් ඔහු කටයුතු කළා.

ඔටූ බ‍්‍රවුන් (ලී ත) කෑගහන සද්දය ඇහිලා එළියට ආපු ලියු පෝ-ඡං සෙනෙවියා සිද්දවෙච්ච දේ දැක්කා. බත් මුට්ටියට පයින් ගහන එක අපරාධයක්. ලියු පෝ-ඡං සෙනෙවියාත් කෝපයට පත්වුනා. ”වහාම සෙබළුන්ගෙන්

සමාවගනින්’’ කියලා ඔහු ඔටූ බ‍්‍රවුන්ට (ලී තට) කිව්වා. ඒත් ඔටූ බ‍්‍රවුන් (ලී ත) ඒ ඉල්ලීමට එකඟවුණේ නෑ.

”විනයක් නැති එවුන්ගෙන් මම සමාවගන්නේ මොකට ද?’’ ඔහු බෙරිහන් දුන්නා. රුසියන් භාෂාව හොඳින් දන්න හින්දා පරිවර්තකයකුගේ උදව්ව නැතුව බැනගන්න ඒ දෙන්නාට අමාරුවුණේ නෑ.

ඔටූ බ‍්‍රවුන් (ලී ත) හැසිරෙන්නේ අධිරාජ්‍යවාදී අදහස් හිතේ පුරවාගෙන කියලා ලියු පෝ-ඡං චෝදනා කළා. කොමියුනිස්ට් ජාත්‍යන්තරය පත්කරපු උපදේශකයෙක්ට මෙහෙම වැඩකරන්න බෑ කියලා ඔහු අවධාරණය කළා. තවදුරටත් ලියු පෝ-ඡං එක්ක සටන්කරන්න බැරි බව ඔටූ බ‍්‍රවුන් (ලී ත) කිව්වා. ඒ සම්බන්ධයෙන් පක්‍ෂයේ වැඩබලන ලේකම් පෝ කුට ඔහු පැමිණිලි කළා. ඉතින් අන්තිමට මේ ආරවුල විසඳුවේ ලියු පෝ-ඡං රතු හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානි තනතුරින් අයින් කරලා. ඒ තනතුරින් අයින් කරපු ලියු පෝ-ඡංව පස්වැනි සේනාංකයේ මාණ්ඩලික ප‍්‍රධානි තනතුර පැවරුවා.

අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ ඔටූ බ‍්‍රවුන් (ලී ත) ලබාදුන් වැරැදි උපදෙස් නිසා රතු හමුදාවට විශාල අලාභයක් සිද්දවුණා. මේ බිඳවැටීම දැක්ක චියං කායි-ෂෙක් අවසාන ප‍්‍රහාරයට සූදානම් වුණා. මේ අවසන් සැලසුමට අදාළ රහසිගත වාර්තාවක් චෝ අන්-ලයිටත් ලැබුණා.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
 

advertistmentadvertistment
advertistmentadvertistment