විනාශ කරන්න නගර සභාවට දුන් කල් ඉකුත් වූ ඖෂධ තොගය නුවරඑළිය රෝහලෙන්ම නැවතත් ගෙනිහින්

249

තලවකැලේ ලිඳුල නගර සභාවේ කැළිකසළ අංගනයට විනාශ කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ලය චිකිත්සාගාරය විසින් භාරදී තිබූ කල් ඉකුත්වූ ඖෂධ තොගය පෙරේදා (03 දා) එම රෝහලේම වාහනයකින් යළිත් රෝහල වෙත රැගෙන ගිය බව තලවකැලේ ලිඳුල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ලය චිකිත්සාගාරයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරියා විසින් තලවකැලේ ලිඳුල නගර සභාවට මීට මාස දෙකකට පමණ ප්‍රථම ලබාදුන් කල්ඉකුත් වූ කිලෝ 280 ක ඖෂධ තොගයක් විනාශ කරන ලෙස එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත ලිඛිතව භාරදී තිබුණි. එම ඖෂධ තොගය විනාශ කිරීමට නගර සභාවේ කසළ දාහකය ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැති නිසා එම ඖෂධ තොගය විනාශ නොකර තලවකැලේ ලිඳුල නගර සභාවේ කැළිකසළ අංගණයේ ස්ථාන කිහිපයක ගබඩා කර තිබූ අයුරු ඉකුත් 02 දා මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමග පෙරේදා (03 දා) එම ඖෂධ තොගය යළිත් එම රෝහල වෙත රැගෙන ගොස් ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන මහතාගෙන් අප කළ විමසුමකට අනුව ඔහු කියා සිටියේ තම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ලය චිකිත්සාගාරයේ සේවකයින් පිරිසක් තලවකැලේ ලිඳුල නගර සභාව වෙත යවා එම ඖෂධ තොගය යළි රෝහල වෙත ගෙන්වා ගත් බවයි. 2008 සිටම මෙම ඖෂධ තොගය විනාශ කිරීමට යොමුකර තිබූ බවත්, යළිත් රෝහල වෙත ගෙන්වා ගත් කල්ඉකුත් වූ ඖෂධ තොගය තෙල්දෙණිය දිස්ත්‍රික් මහ රෝහලේ කසළ දාහකය වෙත විනාශ කිරීමට යොමු කිරීමට පියවර ගෙන ඇති බව වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිශ්ශංක විජේවර්ධන මහතා පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment