විනිමය අනුපාතයේ වෙනස්කම් මැද මේ සිදුවන්නේ තාවකාලික කම්පනයක්

287

මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂගෙන් විශේෂ ප‍්‍රකාශයක්

මේ වන විට වෙළෙඳපොළේ විනිමය අනුපාතයේ වෙනස්කම් සිදුවෙමින් තිබුණත්, වෙළෙඳපොළ විශ්වසනීයභාවය සහ වෙළෙඳපොළේ ක‍්‍රියාකාරීත්වය දියුණුවීමත් සමඟ ඉතා ඉක්මනින් විනිමය අනුපාතිකය ස්ථාවර වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ ආචාර්ය අනිල් පෙරේරා මහතා පවසයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුව විනිමය අනුපාතිකය සම්බන්ධයෙන් ගත් නව තීරණය සහ ඉදිරි ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවට කරුණු පැහැදිලි කිරීම සඳහා විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් ආචාර්ය අනිල් පෙරේරා මහතා මේ බව කීවේය.

මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂවරයා කළ ප‍්‍රකාශය මෙසේය.

මේ වසර (2022) ගත්තම මේ වන විට ආර්ථිකයේ විවිධ වෙනස්කම් ඇතිවෙමින් පවතිනවා. විශේෂයෙන් තවදුරටත් අපත් ලෝකයේ තව රටවලූත් මේ කොවිඞ් වසංගත කාලයේ තිබුණු විශාල සහනයන් තවදුරටත් පවත්වාගෙන යන්න අදහස් කරන්නේ නෑ. ඒවා එකින් එක ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙද්දී ලිහිල් කරන්න අවශ්‍යයි. අනිත් එක මේ වන විට ලෝකයේ අලූත් අවදානම් ඇතිවෙලා තියෙනවා. රුසියානු – යුක්රේන් යුදමය තත්ත්වය. ඒ වගේම ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලය ඉතාම සීග‍්‍රයෙන් ඉහළ යනවා. මේ වගේ අලූත් අවදානම් මතුවන තත්ත්වයක් තුළ ශ‍්‍රී ලංකා මහ බැංකුව හැටියට අපි කල්පනා කරනවා අපේ විනිමය අනුපාතිකයේ සහ මුදල් ප‍්‍රතිපත්තියේ යම් වෙනසක් විය යුතුයි, ආර්ථිකයේ දිගුකාලීන ස්ථාවරභාවය සඳහා. ඒ අනුව පසුගිය මාර්තු 07 වැනිදා ශ‍්‍රී ලංකා මහ බැංකුව තීරණය කළා අපේ විනිමය අනුපාතිකය ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල යම් වැඩි නම්‍යශිලීභාවයක් ඇති කරන්න. ඒ අනුව මේ වන විට ශ‍්‍රී ලංකා මහ බැංකුව විනිමය අනුපාතිකය ස්ථාවර බවින් නිදහස් කරල යම් නම්‍යශීලීභාවයක් ලබාදීල තියෙනවා. ඒ අනුව මහ බැංකු අධිපතිතුමා ප‍්‍රකාශ කර ඇති පරිදිම අපි දකිනවා වෙළෙඳපොළේ යම් වෙනස්කම් සිදුවෙනවා විනිමය අනුපාතිකයේ.

එතකොට සමහර වෙලාවට අපිට නුදුරු දිනෙක යම් කැළඹිලි ස්වභාවයක් දකින්න පුළුවන්. නමුත් විශේෂයෙන් වෙළෙඳපොළේ විශ්වසනීයභාවය, වෙළෙඳපොළේ ක‍්‍රියාකාරීත්වය දියුණු වීමත් සමඟම ඉතාම ඉක්මනින් වෙළෙඳපොළ තුළ විනිමය අනුපාතිකය ස්ථාවර වනු ඇතැයි බොහෝ දුරට අපි අපේක්‍ෂා කරනවා. දැන් විනිමය අනුපාතිකය මෙහෙම යම් ප‍්‍රමාණයකින් නම්‍යශීලී වෙද්දී ඉන් යම් යම් බලපෑම් ඇතිවන බව අපි දන්නවා. විශේෂයෙන් මිල ගණන් වලට. විශේෂයෙන් රජයේ මූල්‍ය කටයුතුවලට යම් බලපෑමක් සිදුවෙනවා. නමුත් මේ දේවල් අපි දකින්නේ තාවකාලිකව ඇතිවෙන කම්පනයක් විදිහට පමණයි. මොකද අපිට ආර්ථිකයේ දිගුකාලීනව කිසියම් ස්ථාවරභාවයක් ලබා ගන්න අවශ්‍ය නම් කෙටි කාලීනව යම් යම් දුක් ගැහැට සහ දුෂ්කරතා විඳින්න වෙනවා. ඉතිං අපි හිතන්නේ කෙටිකාලීනව මෙවැනි තත්ත්වයක් තිබුණත් අපිට ආර්ථිකයේ ස්ථාවරභාවයකට ගේන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් විනිමය අනුපාතය ලිහිල් වෙද්දී අප දකිනවා වෙළෙඳපොළේ විදේශ විනිමය ද්‍රවශීලතාවය ඉහළ යනවා.

ඒ වගේම අපනයන දිරි ගැන්වීමක් සිදුවෙනවා. අනවශ්‍ය ආනයන තවදුරටත් අධෛර්යමත් වෙන්න පුළුවන්. රජයේ ක‍්‍රියාමාර්ගත් සමඟම තවදුරටත් මේ තත්ත්වය අපි ඉතාම සමීපව අධීක්‍ෂණය කරනවා. අපි අවශ්‍ය වෙලාවට ප‍්‍රතිචාර, එහෙම නැත්නම් නව ක‍්‍රියාමාර්ග ගන්නත් කල්පනා කරනවා. මේ වන විට අපි බොහොම සමීපව වෙළෙඳපොළ අධීක්‍ෂණය කරන අතරම වෙළෙඳපොළ ඉතාම ඉක්මනින් ස්ථාවර වනු ඇතැයි අපි අපේක්‍ෂා කරනවා. ඒ වගේම පාර්ශ්වකරුවන්ගෙන්, බැංකු වලින් අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා, වෙළෙඳපොළේ යම් සමනය කිරීමක් සඳහා මහ බැංකුවේ ක‍්‍රියාමාර්ග සමඟ බොහොම සමීපව සහ සහයෝගයෙන් කටයුතු කරන්න කියලා.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment