විනිමය අර්බුදය කොරේ පිටට මරේ ජනතාව මහ පාරේ

255

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පැඟිරිවත්ත මාවතේ පිහිටි නිවසට ඇතුළුවන ප‍්‍රවේශ මාර්ගය අවහිර කරමින් එම පැගිරිවත්ත පාර අසල ඉකුත් බ‍්‍රහස්පතින්දා (31) දැඩි මහජන විරෝධතාවක් පැවැත්විණි. රට තුළ පවතින විදුලිය, ගෑස්, ඞීසල් සහ පෙට‍්‍රල් හිඟය ඇතුළු විදේශ විනිමය අර්බුදයේ බලවත් ගැටලූවලට විසඳුම් ඉල්ලමින් මෙය පැවැත්විණි. මේ විනිමය ප‍්‍රශ්නය විසඳීමට ආණ්ඩුව දිගු කලක් තිස්සේ අසමත් වීම නිසා පොදු මහජනයා බලවත් පීඩාවට පත්ව ඇත. එහෙත් මේ ජනදුක පාලකයන්, රජයේ මැති ඇමැත්තන් සැහැල්ලූවෙන් ගනිමින් නොයෙකුත් පම්පෝරි කතා කියමින් ද සිටී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැන් වසර දෙකහමාරක් රට පාලනය කර ඇත. මේ කාලය තුළ රජය හෝ ආර්ථික බලධාරීන් නිසි තීන්දු තීරණ නොගැනීම නිසා විනිමය අර්බුදය සමනය කර ගන්නවා වෙනුවට එය තවත් වර්ධනය වී මහජනයා දිනපතාම පීඩාවට පත් වෙමින් වත්මන් රජයට එරෙහිව දසතින්ම මහජන විරෝධය නැගෙමින් තිබේ. ඒ නිසා තමන්ගේ ප‍්‍රශ්නයක් ඇති බව රජය තේරුම් ගත යුතුය. ආණ්ඩුවේ අසමත්කමට පසුගිය ආණ්ඩුවට පමණක් වරද පටවා දැන් තේරුමක් නැත. පසුගිය යහපාලන රජය ගෙදර යවා මේ රජයට අසීමිත බලයක් ජනයා ලබා දුන්නේ පසුගිය ආණ්ඩුවටම වරද පටවමින් සිටීමට නොව ජනතා ප‍්‍රශ්න විසඳීමටය.

  • නිර්පාක්ෂික පොදුජන විරෝධය

විනිමය අර්බුදයේ බලපෑම් හේතුවෙන් මේ වන විට ජනජීවිත මුළුමනින්ම අඩාල වී තිබේ. මේ හමුවේ ආණ්ඩුවට පක්ෂ භේදයකින් තොරව නිර්පාක්ෂික පොදුජන විරෝධයක් තිබේ. ඒ නිසා මේ ආණ්ඩුවට ජන්දය දුන් සහ නොදුන් සියලූ දෙනා පොදුවේ අසහනයට පත්ව ඇත. විපක්ෂයට මේ විනිමය ප‍්‍රශ්නයට විසඳුම් තිබේද යන්න වෙනම කතාවකි. එහෙත් ජනතාව දිනපතාම මුහුණ දී සිටින බලවත් පීඩනය හමුවේ ජනාධිපතිවරයාට සහ පොදුවේ රජයට එරෙහිව ප‍්‍රබල නිර්පාක්ෂික ජනතා විරෝධයක් මතුව තිබෙන බව පෙනේ. එය විනිමය අර්බුදය විසඳීමට නිසි පිළියම් යෙදීමෙන් මිස මර්දනයෙන් යටපත් කළ හැකි එකක් නොවේ. කලක් තිස්සේ මෙන්ම ජනතාව මේ දිනවල වඩාත් උග‍්‍ර ලෙස මුහුණ දී සිටින මෙම බලවත් පීඩාකාරී තත්ත්වය හමුවේ මෙවැනි ජනතා විරෝධයක් ඇති වීම පුදුමයට කරුණක් නොවේ. ජනතාවගේ ඉවසීමේ සීමාව දැන් දැන් ඉක්මවා යමින් තිබෙන සෙයක් පෙනෙන්නට තිබේ. රටේ ප‍්‍රශ්න විසඳන්නේ නැතුව මේ ජනතා විරෝධය කඳුළු ගෑස් වලින්, ජල ප‍්‍රහාරවලින්, රබර් උණ්ඩ වලින් හෝ පොලිසිය සහ හමුදාව යොදා දිගටම මර්දනය කළ හැකි එකක් ද නොවේ.

මේ ඇතිව තිබෙන මහජන විරෝධය බලය යොදා මර්දනය කිරීමෙන් උග‍්‍ර වී ඇති ජනතා ප‍්‍රශ්න තවදුරටත් යටපත් කළ නොහැකිය. රජය එසේ සිතන්නේ නම් එය බලවත් මුළාවකි දසතින්ම නැගෙන පොදුජන විරෝධය මර්දනය කරනවා වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ කුමක්ද? මේ විදේශ විනිමය ප‍්‍රශ්නය විසඳීමට කඩිනම් පියවර ගැනීමයි. මෙය එක මොහොතකින් වහාම විසඳිය හැකි ප‍්‍රශ්නයක් නොවන බව අපි දනිමු. එහෙත් මේ සඳහා පසුගිය වසර දෙකහමාර තුළ නිසි සහ ප‍්‍රමාණවත් පියවර නොගත් නිසාත් ගත් ඇතැම් පියවර අසාර්ථක වීම නිසාත් මේ ප‍්‍රශ්නය ආණ්ඩුව විසින්ම වැඩිකරගෙන තිබේ. මහ බැංකුවේ පසුගිය ක‍්‍රියාකලාපය හේතු වී ඇත්තේ ද ප‍්‍රශ්නය සමනය කර ගන්නවා වෙනුවට එය තවත් වර්ධනය වීමටය.

  • හවාලා සහ උන්ඩියල් මර්දනය

හවාලා සහ උන්ඩියල් ක‍්‍රම ගැන ලොකු කතාබහක් තිබේ. අප විසින් අපේ විනිමය අනුපාතය දිගටම රු. 203 ක අගයේ තබා ගැනීම නිසා විනිමය පීඩනය උග‍්‍ර වී විදේශ විනිමය කළු කඩය ශක්තිමත් විය. එසේම රුපියල රැකීමට අපේ විදේශ සංචිත ද විශාල වශයෙන් නාස්ති කිරීමට ද අපට සිදුව තිබේ. කෙසේ හෝ එම පිළිවෙත්වලින් රුපියල රැකුණා ද ? රු.203 ක අල්ලාගෙන සිටි ඩොලරයේ අගය අද කීය ද? මේ වන විට ඇමෙරිකානු ඩොලරයක අගය රු .300 ක් පමණ වේ. ඒ නිසා අපේ බලධාරීන් අනුගමනය කළ ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගවලින් රුපියල අගය රැකීමක් කිසිසේත්ම සිදු වී නැත. එසේම එම පිළිවෙත් නිසා රටට විදේශ විනිමය වැඩියෙන් උත්පාදනය වීම හෝ එසේම විදේශ සංචිත වර්ධනය වීමක් ද සිදුව නැත. මේ නිසා මේ විනිමය අර්බුදය අද පවතින මට්ටම දක්වා වර්ධනය වීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුව මුළුමනින්ම වගකිව යුතුවේ. දැන්වත් නිසි ක‍්‍රියාමාර්ග ගනිමින් මේ ප‍්‍රශ්නය සමනය කරගන්නා මාර්ගයට හෝ රජය සහ මහ බැංකුව අවතීර්ණ නොවුණහොත් විනිමය අර්බුදයේ පීඩාවන්ට තවදුරටත් මහජනයාට මුහුණ දීමට සිදුවනු ඇත. මේ නිසා ඉදිරියේ දී ජනාධිපතිවරයාගේ ගෙදරට පමණක් නොව මේ ආණ්ඩුවේ වෙනත් මැති ඇමැතිවරුන්ගේ නිවෙස්වලට ද ජනයා පැමිණීමට ඉඩ තිබේ.

  • විදේශ විනිමය කළු කඩය

විදේශ විනිමය කළු කඩයක් දිගටම තිබුණත් අද පවතින තත්ත්වයට එය ප‍්‍රවර්ධනය වූයේ අපේම වැරදි පිළිවෙත් නිසාය. මේ නිසා දැන් අප කරමින් සිටින්නේ අප විසින්ම ගත් ක‍්‍රියාමාර්ග මගින් අප විසින්ම ප‍්‍රවර්ධනය කළ විදේශ විනිමය කළු කඩය මර්දනය කිරීමට විශාල පරිශ‍්‍රමයක් ගැනීමයි. රට මේ මොහොතේ දී මුහුණ දී සිටින විදේශ විනිමය ප‍්‍රශ්නය හවාලා සහ උන්ඩියල් ක‍්‍රම මර්දනය කිරීමෙන් හෝ බැංකුවලට ලැබෙන ඩොලර්වලින් සියයට 50 ක් මහ බැංකුවට ගැනීමෙන් හෝ විසඳිය හැකි ප‍්‍රශ්නයක් නොවේ. මෙහිදී අපේ විදෙස්ගත ශ‍්‍රමිකයන් අපේ රටට මුදල් එවීම අඩු කළේ කුමක් නිසා ද යන්න නිවැරදි ලෙස හඳුනා ගෙන එම හේතුවලට පිළියම් හරි විසඳුම් යෙදීමට රජය හෝ මහ බැංකුව අසමත් විය. හවාලා, උන්ඩියල් ක‍්‍රමවලට මෙරටට මුදල් එවූ විට අපේ බැංකු ක‍්‍රමයට විදේශ විනිමය ලැබෙන්නේ නැත. එහෙත් ඒ සඳහා අපේම විදේශ ශ‍්‍රමිකයන් යොමු වී ඇත්තේ ඇයි ? එම හේතු සොයා ඒ ගැන විදෙස්ගත ශ‍්‍රමිකයන්ගෙන් ද අදහස් විමසා ඔවුන්ගේ ප‍්‍රශ්නය විසඳීමට නිසි ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග ගත්තා නම් අපේ ශ‍්‍රමිකයන්ගේ මුදල් නිල මාර්ගවලට බොහෝ දුරට යොමු කර ගැනීමට හැකියාව තිබුණි. ඒවා නැවත ගෙවිය යුතු විදේශ ණය ද නොවේ. එම මුදල් ගෙන්වා ගත්තාට රටට අහිතකර කොන්දේසි ද නැත. බංගලාදේශය, චීනය හෝ ඉන්දියාව වැනි රටවල් වලින් ගන්නා විදේශ විනිමය හුවමාරු පහසුකම් ද අප විසින් නැවත පොලියක් ද සහිතව ඉතා කෙටි කලකින් පියවිය යුතුව තිබේ. එහෙත් මහ බැංකුව කළේ එම විදේශ විනිමය පේ‍්‍රෂණ මුදල් ආකර්ෂණය කර ගන්නවා වෙනුවට හවාලා උන්ඩියල් ක‍්‍රම මර්දනය කිරීමට දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමයි. ඒ මගින් අපට විදේශ ශ‍්‍රමිකයන්ගෙන් වැඩි විදේශ මුදල් ප‍්‍රමාණයක් ලැබුණා ද ? අපේ විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදලට බැංකු ක‍්‍රමය හරහා නිසි අගය නොදීම විසින් එම ශ‍්‍රමිකයා එම අවිධිමත් ක‍්‍රමවලට තල්ලූ කර ඇත්තේ අප විසින්මය. එසේ නම් විනිමය අර්බුදය සම්බන්ධයෙන් නාහේ උඩින් වතුර යෑමට ආසන්න වී ඇති මොහොතක අප තාමත් කරමින් සිටින්නේ මේ ප‍්‍රශ්නයේ හේතුවලට පිළියම් යෙදීම වෙනුවට ඵලයට ප‍්‍රතිකර්ම කිරීමයි. හවාලා, උන්ඩියල් මර්දනය කිරීමට දැඩි පිළිවෙතක් අනුගමනය කළ පමණින් හෝ විදේශ විනිමය හුවමාරු ආයතනවල බලපත‍්‍ර තහනම් කළ පමණින් අපට ඩොලර් ලැබෙනවා ද ? ඒ නිසා විදේශ පේ‍්‍රෂණ අඩු වීමේ සැබෑ හේතුවලට පිළියම් නොකර නීතියෙන් පමණක් මෙය විසඳාගත හැකි නොවේ. මේ තත්ත්වය ද අප අද මුහුණ දෙන විනිමය ප‍්‍රශ්නය තවත් වර්ධනය වීමට දායක විය. ඒ අනුව 2021 වසරේ සහ 2022 මුල් මාස දෙක ගත් විට අප රටට ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක පමණ විදේශ විනිමය පේ‍්‍රෂණ ලැබීම් අඩු වීම සිදුව තිබේ.

  • මහපාරට පැමිණි ජනතා විරෝධය

අනපේක්ෂිත ලෙස මිරිහානේ ජනපති නිවස හා ඒ අවටට ගලා ආ මහජන ගඟ පාලනය කිරීමට පොලිසිය, යුද හමුදාව සහ විශේෂ කාර්ය බළකායද යෙදවූ නමුත් එම තත්ත්වය පාලනය කර ගැනීම ඉතා දුෂ්කර කාර්යක් විය. ගෑස් නැහැ, ඉන්ධන නැහැ, විදුලිය නැහැ, කන්න නැහැ, අපේ ජීවිත මරුවා කරා යනවා. පාලකයෝ මර නින්දේ, තවත් වද නොවී බලයෙන් ඉවත්ව යනු, අනේ සර් දැන් යන්න සහ ගෝ ගෝඨා ගෝ හෝම් යනාදී ප‍්‍රකාශ කරමින් ජනයා ප‍්‍රබල විරෝධතා දැක්වූහ. ඒ ජනතාව නැගූ හඬ සහ විරෝධතා ක‍්‍රියාමාර්ග මගින් තමන් පත්ව ඇති ඛේදනීය තත්ත්වය ඔවුන් ලොවටම ප‍්‍රකාශ කළ බව අපගේ අදහසයි. මේ තත්ත්වය ගැන මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාල ද අවධියෙන් සිටියි.

දහස් සංඛ්‍යාත ජනකාය ජනපති නිවස වටා ඇති සියලූ මාර්ගවලට රැස්ව මහා හඬින් විරෝධය පළ කරන්නට වූ අතර ඒ විරෝධය මැද අවට වාහන ගමනාගමනයද මුළුමනින්ම ඇනහිට තිබෙනු දක්නට ලැබිණි. ජුබිලි කණුව ප‍්‍රදේශයෙන් පළමුව නැගුණ ජන විරෝධය අවසානයේ ජනපති නිවස දක්වා ඇදී ගියේය. එය නිර්පාක්ෂික පොදුජන විරෝධයක් වුවත් ඒ ජනයා අතරට විවිධ දේශපාලන පක්ෂවල නියෝජිතයන් ද ගොස් ඔවුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මේ ජනතා විරෝධය ප‍්‍රයෝජනයට ගනිමින් බොර දියේ මාළු බාන්නට ගත් උත්සාහයන් ද තිබිය හැකිය. මේ හමුවේ යම් පොදු දේපළ විනාශයක් සිදු වීම නම් අපට අනුමත කළ නොහැකිය. එයින් අවසානයේ පාඩුව සිදු වන්නේ පොදු ජනතාවටම මිස පාලකයන්ට නොවේ. ඒ නිසා බස් රථ ගිනි තැබීමෙන් හෝ පොදු දේපළ විනාශ කිරීමෙන් හෝ මේ ප‍්‍රශ්නවලට විසඳුමක් නොලැබේ.

සටන් පාඨ කියමින් ජනපති නිවස පිහිටි මාර්ගය මුළුමනින්ම හරස් කරමින් සිටි ඇතැම් අය එම තත්ත්වය පාලනය කිරීමට පැමිණි ආරක්ෂක අංශවලට තම දුක කියන්නට ද විය. පොලිස් නිලධාරීන් හෝ ආරක්ෂක බලඇණි මේ ප‍්‍රබල ජනතා හඬ මැද කිසිවක් කළ නොහැකිව ඇතැම් විට අසරණ වූ බවක් ද පෙනිණි. මාර්ග බාධකවල සිටි ආරක්ෂක බලඇණිවලට රටේ තත්ත්වය හදවතින් දකින්නැයි විරෝධය දැක්වූවන් ආයාචනා කරනු ද අසන්නට ලැබිණි. වෙනදා එම ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි වීමක් සිදු නොවූ නමුත් මේ විරෝධතාව අතරතුර විටින් විට විදුලි ඇනහිටීම් ද සිදු වූ බව ද වාර්තා විය. මේ පිරිස් විසුරුවා හැරීමට කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කිරීමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබූ අතර ඒ හමුවේ එම ප‍්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගතව තිබිණි. කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කිරීමත් සමග කෝපවූ ඇතැම් පිරිස් තම වේදනාව පිට කළේ තමන් අතට අසුවන දෙයින් ප‍්‍රති ප‍්‍රහාර ද එල්ල කරමිනි. කෙසේ හෝ පොදු දේපොළ විනාශය අනුමත කළ නොහැකි වුවත් රජය මේ ප‍්‍රබල මහජන විරෝධය තේරුම් ගෙන මේ මොහොතේ ජනතාව මුහුණ දෙන ප‍්‍රබල ප‍්‍රශ්න විසඳීමට කඩිනම් ක‍්‍රියාමාර්ග නොගතහොත් සිදුවනු ඇත්තේ මහජන අසහනය තවත් වර්ධනය වීමයි. තවත් ජනපතිවරයා සහ මැති ඇමැතිවරු ප‍්‍රමුඛ රජයට මීට වඩා වැඩි විරෝධතාවලට හෙට දිනයේ මුහුණ දීමට සිදු වීමයි. එක වරම වහාම මේ විනිමය ප‍්‍රශ්නය විසඳිය නොහැකි වුවත් පසුගිය වසර දෙකහමාරක කාලයේ මේ විනිමය අර්බුදය විසඳීම සම්බන්ධයෙන් තමන් සාර්ථක නොවූ බව රජය පිළිගත යුතු කරුණකි. එසේම දැන් අවශ්‍ය කරන්නේ අද සිටම හෝ මේ විනිමය අර්බුදය සහ ඒ නිසා මතුව ඇති අනෙකුත් ප‍්‍රශ්න විසඳීමට ඇති රජයේ විසඳුම කුමක් ද යන්න ජනතාවට වහාම පැහැදිලි කිරීමක් කිරීමයි. පසුගිය දා ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාව ජනතාව තුළ කිසිදු විශ්වාසයක් ඇති කිරීමට සමත් වූ එකක් නොවේ. ඒ තුළ රජයට මේ ප‍්‍රශ්න විසඳීමට කිසිදු ස්ථිරසාර විසඳුමක් ඇති බවට කරුණු ප‍්‍රකාශ වූයේ නැත. ඒ නිසා ජනපතිගේ ඒ ජාතිය ඇමතීමෙන් ඵලක් වූයේ නැත. මේ තුළ අප ජනාධිපතිවරයාට කියන්නේ දැන්වත් විනිමය අර්බුදය විසඳන රජයේ පැහැදිලි සැලසුම ජනයාට පැහැදිලිව සන්නිවේදනය කර මහජනතාව තුළ රජයේ වැඩපිළිවෙළ ගැන සහ අනාගතය ගැන පැහැදිලි විශ්වාසයක් ඇති කරන ලෙසයි. අප නම් සිතන්නේ ආණ්ඩුවට ඇත්තේ විනිමය අර්බුදයට එදා වේල ටුවර්ස් මෙන් එදිනෙදා පැලැස්තර අලවමින් යන ගමනක් බවයි. එසේ නැතුව තවමත් මේ රජයට මේ බලවත් විනිමය අර්බුදයට හෝ ඒ නිසා මතුව ඇති සෙසු ප‍්‍රශ්නවලට පැහැදිලි විසඳුමක් නොමැති බව පෙනේ. එය ඉතා කනගාටුවට කරුණකි. මේ තත්ත්වය වහාම ආණ්ඩුව වෙනස් කර නොගතහොත්, මේ හමුවේ හෙට දවස තවත් අවිනිශ්චිත සහ ජනතාව තවත් දුකට පත්වන එකක් වීම වැළැක්විය නොහැකිය. මේ හමුවේ ජනජීවිතය තව තවත් පීඩාවට පත් විය හැකිය. ඒ පීඩනය හමුවේ දිගටම ජනතා විරෝධතා සිදු වීම වැළැක්විය නොහැකි වනු ඇත. ජනතාවට ගෑස් දෙනවා නම් විනිමය අර්බුදයේ වෙනත් ප‍්‍රශ්න විසඳනවා නම් ඒ ජනතාවට විරෝධතා දැක්වීමට අවශ්‍යතාවක් මතු නොවේ. ඒ නිසා කඳුළු ගෑස් වෙනුවට උයන ගෑස් ටික, පෙට‍්‍රල් ඞීසල් සහ භූමිතෙල් ඇතුළු ඉන්ධන ටික සහ විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කර ගැනීමට ආණ්ඩුවට සැලසුමක් අවශ්‍ය වේ. මුදල් අමාත්‍යාංශයට, මහ බැංකුවට, පසුගියදා පත් කළ ජාතික ආර්ථික සභාවට හෝ ඒ සඳහා පත් කළ උපදේශක මණ්ඩලයට හෝ මේ සඳහා නිශ්චිත විසඳුම් යෝජනා තිබෙන බවක්ද අපට තවමත් පැහැදිලි වී නැත.

මේ අර්බුදයට රජය පැහැදිලි විසඳුමක් රටට ඉදිරිපත් කළ යුතු අතරම මේ සඳහා මුහුණ දීමට ජාතියම සූදානම් කිරීමේ අවශ්‍යතාවක් ද තිබේ. එහිදී දේශපාලන පම්පෝරි නොගසා රට මුහුණ දී සිටින තත්ත්වය ගැන ඇත්ත ජනතාවට හෙළි කිරීම ද අත්‍යවශ්‍ය කරුණකි. ඒ නිසා ‘අපි තමයි හොඳටම කරේ’ හෝ ‘මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නෙවෙයි’ වැනි කතා කියා වගකීමෙන් ගැලවිය නොහැකිය. අර්බුදය කාගේ නිර්මාණයක් වුවත් එය මේ රජයට පෙර සිටම එහි හේතු සාධක අඩු වැඩි වශයෙන් තිබිය හැකි වුවත් මේ ප‍්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ වත්මන් රජයයි. එසේ නම් දැන්වත් රජය අනුගමනය කළ වැරදි, එසේම ප‍්‍රායෝගික නොවන ප‍්‍රතිපත්ති පිළිගත යුතුය. ඒවා වෙනස් කිරීමට පියවර ගත යුතුය. ඒවායේ දැඩිව එල්බ ගෙන සිටීමෙන් වන්නේ රටත් ජනතාවත් තවත් පීඩනයට පත් වීමයි. මහජනයා අසීමිත විශ්වාසයක් තබා පැවති යහපාලන රජය පරාජය කර මේ ආණ්ඩුව බලයට පත් කළේය. එහෙත් මේ ආණ්ඩුවේ අය ගැන එදා මහජනයා තැබූ අසීමිත විශ්වාසය මේ වන විට බොහෝ පළුදු වී තිබේ. මේ ආණ්ඩුව පත් කළේ, මේ අයගේ වසර දෙකකට වැඩි රාජ්‍ය පාලනයකින් පසුවත් පරණ ආණ්ඩුවේ වැරදි ගැන කතා කර කර සිටීමට නොවේ. ජනාධිපතිවරයා පසුගිය මාර්තු 16 වැනිදා ජාතිය අමතා කළ විශේෂ ප‍්‍රකාශය මේ පවතින බලවත් අර්බුදයට සියලූ දෙනා එක්ව මුහුණ දීමට සමස්ත ජාතිය සූදානම් කිරීමට රටවැසියා තුළ හැඟීමක් ඇති කිරීමට සමත් වූ එකක් ද නොවේ. එහෙත් අපට මේ මොහොතේ එම විදේශ විනිමය අර්බුදය හමුවේ පීඩිතව සිටින පොදුජනයාගේ විශ්වාසය ලබාගෙන, මුළු ජාතියම මේ අර්බුදයෙන් ගොඩ ඒමට රජය සමග එක්ව කටයුතු කරන සහ දායක වන තත්ත්වයක් නිර්මාණය කර ගැනීම ද අවශ්‍ය වේ. එහෙත් ඒ සඳහා රජය සූදානම් ද?

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment