විනිමය අර්බුදය වැඩි කරන ඩොලර් ජාවාරමක්

130

මසකට ඩොලර් බිලියනයක් හොර පාරේ යයි

ආනයනකරුවන්ට ඩොලර් වැඩි මිලට විකුණයි

දැනට රට තුළ විශාල විදේශ විනිමය අර්බුදයක් තිබෙන අතරම මේ නිසා සාමාන්‍ය ජනයා පවා විශාල බලපෑමකට මුහුණ දෙමින් සිටින බව රහසක් නොවේ. රජය සහ මහ බැංකුව එක්ව මේ විනිමය අර්බුදයට මුහුණ දීමට නොයෙකුත් ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග ගනිමින් සිටී. මේ විශාල ඩොලර් අර්බුදය හමුවේ සැලකිය යුතු ආර්ථික බලපෑම් සමඟ කටයුතු කරන විට ජාත්‍යන්තර ප‍්‍රජාව මෙන්ම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ද ශ‍්‍රී ලංකාව දෙස දැඩි අවධානයෙන් සිටී. කෙසේ වෙතත්, ඩොලර් අර්බුදය සැබෑවට වඩා වර්ධනයට හේතු වී ඇති කරුණු ද ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. ඇතැම් විශාල අපනයනකරුවන් සහ ආනයනකරුවන්ගෙන් කොටසක් මෙන්ම බැංකු කිහිපයක් සම්බන්ධ කර ගනිමින් මහා පරිමාණව පවතින විනිමය රෙගුලාසිවලට පටහැනි සදාචාර විරෝධී ලෙස ඩොලර් අධික මිලට විකිණීමේ මෙහෙයුමක් මාස කිහිපයක සිට සිදු වෙමින් තිබෙන බවට ආනයනකරුවෝ පවසති. එම සිදු කරන දෙය නිසා මෙරටට අපනයන හරහා ලැබෙන ඩොලර් රුපියල් බවට පරිවර්තනය වීම අඩු වන බව දැන් හෙළි වී තිබේ. මහ බැංකුව සහ රජය මේ ගැන වහාම අවධානය යොමු කර නිසි පියවර ගත යුතුව තිබේ.

මෙය මූලික වශයෙන්ම නීති විරෝධී ලෙස ඩොලර් අමුද්‍රව්‍ය ගෙන්වන මුවාවෙන් විකුණන ජාවාරමක් බවට තොරතුරු තිබේ. මේ ක‍්‍රමයට තමන්ට ලැබෙන ඩොලර් අපනයන ආදායම් අමුද්‍රව්‍ය ඇතුළු ආනයන ගෙන්වා ගැනීමේ මුවාවෙන් ඉන්වොයිසි ඉදිරිපත් කර වැඩි අනුපාතයකට ආනයනකරුවන්ට එක ඩොලරයක් රු. 250 ක් වැනි වැඩි අගයකට විකිණීම මේ හරහා සිදු වේ. මෙහිදී අදාළ ආනයනකරුවන්ගේ ඉන්වොයිසි මෙසේ විදේශ විනිමය වැඩි මිලට විකුණන අපනයනකරුවාගේ ආයතනයේ නමින් ටෙලිග‍්‍රැෆික් ට‍්‍රාන්ස්ෆර් ඉදිරිපත් කර අදාළ ආනයනකරුවන් වෙනුවෙන් භාණ්ඩ ආනයනය කර එම විදේශ විනිමයට එක ඩොලරයක් සඳහා රු. 250 ක් බැගින් අය කිරීම සිදු වෙමින් තිබේ. මෙය ද කිසියම් ආකාරයට හවාලා, උන්ඩියල් වැනි විදේශ විනිමය අලෙවි කරන මෙහෙයුමකි. මේ නිසා අපනයන ආදායම් නිල නොවන පරිදි රටින් පිට වීම සිදු වේ. මේ ක‍්‍රමයට දළ වශයෙන් එක මසකට පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියනකට අධික මුදලක් හුවමාරු වන බවට ආරංචි ඇතැයි සුළු පරිමාණ ආනයනකරුවෝ පවසති. මේ ක‍්‍රමයට ඩොලර් වැඩි මිලට විකුණා රු. බිලියන 45 කට (රු.කෝටි 4500 කට ) අධික මුදලක් ලාභ ලබමින් සිටින බව ද වාර්තා වේ. මෙතන වඩාත්ම ප‍්‍රශ්නය වන්නේ ඔවුන් ලාභ ඉපයීම නොව මෙම ක‍්‍රියාකාරකම් ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය උග‍්‍ර කිරීමට ද දායක වීමයි. එහෙත් මේ ගැන රජය හෝ මහ බැංකුව පියවරක් ගන්නා බවක් පෙනෙන්නට නැති බව ද ඔවුහු පවසති.

මෙහිදී ඩොලර් විකුණන අපනයනකරුවන් ආනයනකරුවන් වෙනුවෙන් වෙළෙඳාම් කරන අතර ඔවුන් වෙනුවෙන් ණයවර ලිපි වෙනුවට ටෙලිග‍්‍රැෆික් ට‍්‍රාන්ස්ෆර් ඉදිරිපත් කර ඔවුන්ගේ විදේශ විනිමය ගිණුමේ ඇති මුදල් වියදම් කර ඒ වෙනුවට ඩොලරයකට රු. 250 කට අධික මුදලක් අය කරමින් තිබේ. මෙය සිදු වන්නේ බැංකු නිලධාරීන්ගේ ද දැනුවත්කම ඇතිව බව ද එම ආනයනකරුවෝ පවසති. එහෙත් මෙසේ වෙනත් ආනයනකරුවන් වෙනුවෙන් තම ආයතනයේ නමින් තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වන මුවාවෙන් ටෙලිග‍්‍රැෆික් ට‍්‍රාන්ස්ෆර් විවෘත කිරීම නීති විරෝධී ක‍්‍රියාවක් බව ද පැවසේ.

මෙම අපනයනකරුවන් ඔඔ ලෙස ප‍්‍රචලිත ටෙලිග‍්‍රැෆික් ට‍්‍රාන්ස්ෆර් විවෘත කර විශාල ලාභයක් ලබා ගැනීම සඳහා දේශීය ආනයනකරුවන්ට ඔවුන්ගේ ඩොලර් ඉහළ මිල ගණන් යටතේ ”විකිණීම’’ සිදු වෙන නිසා ලංකාවේ අපනයන ආදායම් රුපියල් බවට නිසි පරිදි මාරු නොවේ. දැනට නිල විනිමය අනුපාතය අනුව ඩොලරයක විකිණුම් මිල රුපියල් 203 ක් වන අතර මහා පරිමාණ අපනයනකරුවන් තම අපනයන ආදායම් ලෙස ලැබෙන ඩොලර් ආදායම් අලෙවි කරන්නේ ඩොලරයක් රු. 245 හෝ රු 250 ක් වැනි අගයකටය. මේ නිසා ආනයනකරුවන්ට විශාල ලෙස වියදම් ඉහළ ගොස් එය අවසානයේ පාරිභෝගිකයන්ට බලපෑම් සිදු වෙමින් තිබේ.

මින් පෙන්නුම් කරන්නේ ඇතැම් විට ප‍්‍රමාණවත් තරම් ඇමරිකානු ඩොලර් සැපයුමක් වෙළෙඳපොළේ පවතින නමුත් මේ ඩොලර් මාෆියාවේ සමස්ත ව්‍යායාමයම ඔවුන් අධික ලාභ උපයමින් පාරිභෝගිකයින්ට සහ සාමාන්‍ය පුරවැසියන්ට අහිතකර බලපෑම් සිදු කරමින් තිබෙන බවයි.

වර්තමානයේ ඩොලර් අර්බුදය ගෑස් සහ කිරිපිටි ඇතුළු තවත් බොහෝ දේ ආනයනයට බාධාවක් වී ඇතැයි රජය ප‍්‍රකාශ කරන නමුත් විනිමය අනුපාතය අඩු මට්ටමක පවත්වාගෙන යන නිසා අපනයකරුවන් තම ගිණුමේ ඇති ඩොලර් වැඩි මිලට ආනයනකරුවන්ට අලෙවි කරනු ලබයි. වෙළෙඳපොළ ආරංචිමාර්ග අනුව දැනගන්නට ඇත්තේ දේශීය අපනයනකරුවන් දේශීය ආනයනකරුවන් වෙත තම ඩොලර් ඒ අයගේ ආනයනය සඳහා යොදවන්නේ අපනයන සමාගමට තම සමාගමේ නම යටතේ ආනයනය ලබාගෙන ඒවා නිෂ්කාශනය කර ආනයනකරුට අධික ගාස්තු යටතේ ලබා දීමේ කොන්දේසිය මත ය. මේ සඳහා ඉන්වොයිසි විවෘත කිරීමේදීම එම ඩොලර් අගය අනුව රුපියල්වලින් අත්තිකාරම් මුදලක් ගැනීම ද සිදු කරමින් තිබේ.

රටට ලැබෙන අපනයන ආදායම්වලින් කිසියම් සැලකිය යුතු ඩොලර් ප‍්‍රමාණයක් වෙනත් සුළු පරිමාණ ආනයනකරුවන්ට ඉතා ඉහළ අනුපාතයකට විකිණීමේ මෙම කූට ජාවාරම ගැන මේ වන විට මාධ්‍ය මගින් ද යම් හෙළිදරව් කිරීම් කර ඇත. මෙය මාස කිහිපයක සිට සිදු වෙමින් තිබෙන අතර තමන්ට ණයවර ලිපි විවෘත කර ගැනීම සඳහා බැංකුවල ඩොලර් නොමැති නිසා මේ සුළු පරිමාණ ආනයනකරුවන්ට මේ ක‍්‍රමයට වැඩි මුදලට ඩොලර් සපයාගෙන තම ආනයන ගෙන්වා ගැනීමට සිදුව ඇති බව සුළු පරිමාණ ආනයන කරුවෝ චෝදනා කරති. මෙලෙස රටේ විනිමය අර්බුදය උග‍්‍ර කරන මේ ක‍්‍රියාවලිය ගැන වහාම සොයා බලන ලෙස මහ බැංකුව ඇතුළු සියලූ බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිමු. ඒ අනුව සිදු විය යුත්තේ යකඩ, කිරිපිටි, කඩදාසි, පොලිතින් සහ තඹ ඇතුළු වෙනත් ආනයනකරුවන් වෙනුවෙන් ආනයන සිදු කිරීම වැළැක්වීමයි. මේ නිසා ඇතැම් අපනයනකරුවන් ගෙන්වන්නේ තමන්ගේ නිෂ්පාදන ක‍්‍රියාවලියට අදාළ අමුද්‍රව්‍ය ද යන්න ද මේ ආනයන සඳහා TT හෙවත් ටෙලිග‍්‍රැෆික් ට‍්‍රාන්ස්ෆර් විවෘත කිරීමේ දී අදාළ බැංකු විසින් සොයා බැලීම වටී. මහ බැංකුවද මේ ගැන වහාම අවධානය යොමුකර මේ ඩොලර් පිටපාරෙන් අධික මිලට විකුණන කි‍්‍රයාවලියට එරෙහිව නිසි පියවර ගත යුතුව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment