විනිසුරුවරිය කාණුවට තල්ලූ කර සැමියාට පහර දුන් පවුලක්ම දැලේ

582

අනුරාධපුර මිහිඳුපුර ප‍්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පසුව දිසා විනිසුරුවරියක, බිමට තල්ලූ කර දමා ඇගේ ස්වාමි පුරුෂයාට පහර දුන් එකම පවුලේ පියා, පුතා සහ දියණිය 7 වැනිදා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණි ව්‍යාපාරික පවුලක සාමාජිකයන් තිදෙනකු බව පොලිසිය පවසයි.

විනිසුරුවරිය ගමන් කළ මෝටර් රථය සහ පහරදීමට සම්බන්ධ පිරිස රැුගත් මෝටර් රථය අනුරාධපුර ජයන්ති වටරවුම දෙස සිට ඉසුරුමුණිය දෙසට එකම දිසාවට ගමන් කර ඇති බවත්, එක් මෝටර් රථයක් අනිත් මෝටර් රථය ඉස්සර කිරීමට යෑමේදී වාහන සුළු සීරීමකට ලක්ව ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

ඉන් අනතුරුව බහින්බස් වීමක් ඇති වී එය දුර දිග ගොස් වන්දනාවේ පැමිණි පිරිස විසින් මෝටර් රථය පදවා ගෙන ගිය විනිසුරුවරියගේ ස්වාමි පුරුෂයාට පහරදී ඇත. එම අවස්ථාවේ දී තම සැමියා බේරා ගැනීමට එම ස්ථානයට විනිසුරුවරිය ගොස් තිබේ. එවිට සැකකරුවන් විනිසුරුවරිය අසල තිබූ කාණුවකට තල්ලූ කර දමා ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

වන්දනාවේ පැමිණි මෝටර් රථයේ එකම පවුලේ මව, පියා, පුතා, සහ දියණිය ගමන් කර ඇත. පහරදීම සම්බන්ධයෙන් පුතා, පියා සහ එම දියණිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් ගමන් කළ මෝටර් රථයේ තිබී වක් පිහියක්, කැත්තක් සහ යකඩ පොල්ලක් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මෙම පිහිය සහ කැත්ත, පොල් ලෙලි ගැසීම සඳහා රැුගෙන ආ බවත්, යකඩ පොල්ල ටයර් මාරු කිරීම සඳහා රැුගෙන ආ බවත් සැකකරුවන්ගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වල දී පැවසූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය ඊයේ (8 දා) අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ජයන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතාගේ මෙහෙයවීමෙන් සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායමක් පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

පර්සි කුරුනේරු – අනුරාධපුර, මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment