විනෝද සමයේ ප‍්‍රතිඵල සති දෙකතුනකින් – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

241

ගෙවීගිය දීර්ඝ සති අන්ත නිවාඩුවේදී හිතු මතේ විනෝද වූ ජනතාව අතර කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිරී ඇතැයිද මෙහි ප‍්‍රතිඵලය තව සති තුනකින් දැකගත හැකි වනු ඇතැයි ද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘‘දිවයින’’ට පැවසීය.

තාමත් පෙර මෙන් කොවිඞ් පොකුරක් නිර්මාණය නොවීම රටේ වාසනාවක් වුවත් දැනට රට වටින්ම වාර්තාවන රෝගීන්ගේ වාර්තා සැලකිල්ලට ගැනීමේදී යම් වැඩිවීමක් දක්නට ලැබෙන බවද ඒ මහතා කීය.

රටේ ආර්ථික හා එදිනෙදා ජනජීවිතය සාමාන්‍ය පරිදි කරගෙන යෑමට සෞඛ්‍ය අංශ ඉඩ ලබා දුන්නේ දිගටම රට වසාගෙන කටයුතු කළ නොහැකි නිසා යැයි ද වසංගතය අවසන් බවක් එමගින් තහවුරු කළේ නැතැයිද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

වරින්වර රට වසා දැමීමේ ආදීනව දැන් මුළු රටේම ජනතාවට අවබෝධ වී තිබියදී වසංගතය අවසන් වූ පරිදි වගකීම් විරහිතව මෙලෙස හැසිරීම මත යළි රට වසාදමන තැනකට රට පත්විය හැකි බවද ඒ මහතා කීය. එන්නත් ලබා ගත්තත් වෛරසය ආසාදනය වීම සිදුවන බව පුන පුනා ප‍්‍රකාශ කළත් එම උපදෙස් නොතකා කටයුතු කිරීම ගැන ජනතාව ලජ්ජාවිය යුතු බවද ඒ මහතා කීය.

පවතින තත්ත්වය හමුවේ යළි රට වහන තැනකට පත්වී ගියහොත් රටට අත්වන ඉරණම පිළිබඳ සිතාගත නොහැකි බවත් වෛරසය පැතිරයෑම, ආසාදිතවීම, ඉන් මරණයට පත්වීම සැහැල්ලූවෙන් නොතැකීම අතිශය වැදගත් බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment