විඳින්න පුළුවන් ගීත නිර්මාණය කරන්න හැකිවීම සතුටක් – සෙනෙවිරත්න වන්නිනායක

171

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල උපත ලැබූ සෙනෙවිරත්න වන්නිනායක කලා ජීවිතය අරඹන්නේ එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දීමයි.

ගමේ සිටි රත්නමළල ඉස්කෝලෙ මහත්තයා අවුරුද්දක් පාසාම ගමේ කරන වේදිකා නාට්‍යයයේ රඟපාන්න සෙනෙවිරත්නට අවස්ථාව ලැබෙනවා. ඉන් ලැබුණු පන්නරයත් එක්ක තමයි ඔහු ඒ කාලයේ ඇරඹූ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ රජරට සේවයේ කවි ගායනා කරන්න යන්නෙ. ඊට ඔහුට මග සාදා දුන්නෙ ගමේ සිටි දක්ෂ තබ්ලා වාදකයෙක් වූ කුමාර එප්පාවලයි.

විඳින්න පුළුවන් ගීත නිර්මාණය කරන්න හැකිවීම සතුටක් - සෙනෙවිරත්න වන්නිනායක

වරින් වර ආධුනික වැඩසටහන්වල ගීත ගායනා කරන්නත් වන්නිනායකට අවස්ථාව ලැබුණා. රජරට සේවයේදි ගුණදාස කපුගේ  සූරීන්ගේ ඇසුර ලැබීමත් ඔහුගේ ගුරුහරුකම් ලැබීමත් වන්නිනායක සිහි කරන්නෙ බොහොම ගෞරවයෙන්. පසුකාලීනව ගුණදාස කපුගේ  සූරීන්ගේ ‘කම්පන‘ කැසට්පටයේ ගීත ගයන්න අවස්ථාව ලැබීම ගැන වගේම ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩගේ ‘අතු අතර පිපි මල්‘ ළමා කැසට් පටයට ද දායක වීමට හැකිවීම ගැන වන්නිනායකට අදටත් තියෙන්නෙ සතුටක්. ඉතින් ඉතිරි විස්තර අපි ඔහුගෙන්ම අහලා බලමු.

ඔබ සංගීතය විෂයයක් හැටියට හදාරන්න යොමු වුණේ කොහොමද ?
1986 දී ආරම්භ කළ මහවැලි සංස්කෘතික බළකායට මං ඇතුළත් වුණා. එහි ආරම්භක නියමුවා හැටියට කටයුතු කළේ කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ මැතිතුමා.

මා සංස්කෘතික අංශයට සම්බන්ධ වී සංගීතය හැදෑරුවා. අතුල සෝමසිරි සර්” රජිත් ගාමිණී විජේසේකර සර්” වී. හේමපාල පෙරේරා මැතිතුමා” මෝවින් ප්‍රියන්ත සර් වැනි ගුරු භවතුන්ගෙන් අධ්‍යාපනය ලැබීම භාග්‍යයක්.

විඳින්න පුළුවන් ගීත නිර්මාණය කරන්න හැකිවීම සතුටක් - සෙනෙවිරත්න වන්නිනායක

ඔබ ගීත ගායනයට යොමු වෙන්නෙ කොහොමද ?
මම 1993 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා සරල ගී පරීක්ෂණයෙන් තේරෙනවා. ඒ අවුරුද්දේම තමයි මාගේ ‘කඳුළු මිටියාවතේ. කැසට්පටය නිර්මාණය කළේ. පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ඊට මට උදව් කළා.

 ඒ වගේම ප්‍රජා ගුවන්විදුලියේ හිටපු පාලක ගීතරචක උපුල් කරුණාරත්න මහතාත් මාධ්‍යවේදී කපිල එම්. ගමගේ  මහතා වැනි බොහෝ අයත් මට උදව් කළා. ඒ කැසට් එකේ ‘කඳුළු මිටියාවතේ‘ ගීතය ජනප්‍රිය වුණා. එය රචනා කළේ මාගේ බිරිඳ සුසිලා මංගලිකා. ඒ වගේම බන්දුල නානායක්කාරවසම් රචනා කළ” එච්. එම්. ජයවර්ධන සංගීතවත් කළ මාලනී බුලත්සිංහල සමග මා ගායනා කළ ‘සඳ වළා පෙළින් බැස‘ යුග ගීතයත් ජනප්‍රිය වුණා.

ඔබ ගීත කීයක් ගායනා කරලා තියනවාද?
දශක හතරක කලා ජීවිතයේදී ගීත පනහක් පමණ ගායනා කර තියනවා.

1993 ‘කඳුළු මිටියාවතේ‘ ගීතය 2007 දී ‘පුංචි එවුන් එක්ක නටන පුංචි දෝනියේ‘ ගීතය වගේම ‘මං මතක පොතේ පිටු අතරේ තනි වෙන්නම්. වැනි ගීත රසිකයන් අතරට ගියා. ළඟදී කළ නිර්මාණ අතරින් නිපුණි නයනතාරා සමග මා ගයන නලිනි කාංචනා මුණසිංහ රචනා කළ ‘අප නොමැත අප අසල හිත බැඳී ඇති අයුරු. යුග ගීතයටත්” පුෂ්පිත ගොඩලිගේ රචනා කළ ‘බිඟු තුඩක්‘ ගීතයටත්” සඳමාලි කරුණාරත්න රචනා කළ ‘කලල්දිය ගැබ. ගීතයටත් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. නමුත් මට මාධ්‍ය සහයනම් ගොඩක් අඩුවෙන් තමයි ලැබුණේ.

ඔබට අනුව හොඳ ගීතයක් කියන්නේ මොකක්ද?
ඇත්තෙන්ම හොඳ ගීතයක් කියන්නේ ජීවිතයේ විඳින්න පුළුවන් ගීතවලට. එහෙම නැතුව ජීවිතේ විඳවන ගීතවලට නොවෙයි. මම කැපවෙන්නෙ ජීවිතය විඳින්න පුළුවන් සංගීතයකට.

ඔබ ගී තනු නිර්මාණයට හා සංගීත අධ්‍යක්ෂණයට යොමු වුණේ කොහොමද?
ඒක අහම්බයක්. දවසක් යාළුවකුගෙ ගීතයකට සංගීතය නිර්මාණය කළා. එය සාර්ථක වුණා. ඊට පස්සෙ දිගටම ගී තනු නිර්මාණය කළා. මේ වන විට ගීත හැත්තෑවක පමණ සංගීතය නිර්මාණ කරලා තියනවා. ඒ අතරින් ‘මෝහිණී. ගීතයට හා ‘පත්තිරිප්පුව පෙනෙන මානේ. ගීතයට මං වැඩිපුරම කැමතියි.

ඒවා ගයන ගායක ගායිකාවෝ කවුද ?
චන්දන ලියනඅරච්චි” ක්‍රිශාන්ත එරන්දක” ඉන්දික ලියනගේ” වසන්තා තිලකාංගනී” කීර්ති පැස්කුවෙල්” නිපුණි නයනතාරා” දේවිකා චතුරාණි යන ශිල්පීන්ට මෑතකදි ගී නිර්මාණ කළා. ඉදිරියේදි තවත් ගීත රැසක් එන්න තියනවා.

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු කොහොමද ?
අලුත් ම ගීත කීපයක් එළිදක්වන්න නියමිතයි. සුභාවිත ගී පද ලැබෙන ආකාරයට ගී නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. නව පදමාලාවලට අවස්ථාව දෙන්න අදහස් කරනවා.

අනුරාධ  හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment