විපක්ෂයට ආපු අය ගැන කිරිඇල්ලට ෂුවර් නැහැලු

267

විපක්ෂයේත් ඔරිජිනල් හා ඩුප්ලිකේට් පිල් දෙකක්…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධුරයේ වැඩ භාර ගෙන දැන් මාසෙකටත් වඩා වැඩි බව සැබෑය. ඔහු රාජ්‍ය නායකයා ලෙස වගකීම් භාරගෙන මුලින්ම උත්සාහ කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගෙන අද රටේ පවතින සියලු ආර්ථික සමාජ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමටය. ඔහු ඒ සඳහා රටේ පවතින පිළිගත් දේශපාලන පක්ෂ සියල්ලම හමුවී සාකච්ඡා කළේය. සමහර පක්ෂ සමඟ මේ සඳහා සාකච්ඡා වට දෙක තුන පවත්වනු ලැබීය. එහෙත් ඒ බොහෝ පාර්ශ්වයන්ගෙන් ලැබුණේ සතුටුදායක උත්තරයක් නම් නොවේ.

අවසානයේ රනිල්ට යම් යම් පක්ෂවලින් එක්කෙනා දෙන්නා පැමිණි නියෝජිතයින් කිහිප දෙනෙකු සමග එකතුවී බහුතර පොහොට්ටුවේ ආණ්ඩුවකට එකඟ වන්නට සිදුවිය. එහෙත් එහි කැබිනට් මණ්ඩලය හා රාජ්‍ය ඇමැතිවරු පත් කිරීම්ද දවසින් දවස කල් යන තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා ප්‍රශ්න වැලකට මුහුණ පාමින් සිටියේය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොහැකි නම් බහුපාර්ශ්වික ආණ්ඩුවක්වත් පිහිටුවා ගැනීමට ඔහු දැරූ උත්සාහය ද තවමත් අභියෝගයක් මිස යථාර්ථයක් වූයේද නැත. ඒ සඳහා කරන සාකච්ඡාවල ද නිම නොවීය. ඒ අතරතුර ජනාධිපතිවරයා මේ තිබෙන ප්‍රශ්න විසඳා ගැනීමට හැකි ආර්ථීක ක්‍රමෝපායන් සහිත අයවැයක් ගෙන ආවේය. අයවැයේ වැඩ රාජකාරි කටයුතු නිසා ඔහු පසුගිය සතිය ම අතිශයින් කාර්ය බහුලව සිටියේය.

ජනාධිපතිවරයා පසුගිය සති අන්තය කොළඹ ම රැඳී සිටියේය. ඊට පෙර සතිඅන්ත කීපයක්ම කොළඹින් පිට රාජකාරි හා විවිධ කටයුතු සඳහා පිටත්ව ගියත් මෙම සති අන්තය තුළ ඔහුට තරමක විවේකයක් අවශ්‍ය විය. එහෙත් අයවැයේ වැඩකටයුතු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා විටින් විට තිබූ සාකච්ඡා නිසා මෙම සතියේත් ඔහුට විවේකයක් නොවීය. ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ අන්තර් කාලීන අයවැයක් බැවින් ඔහු වැඩිපුරම සාකච්ඡා කළේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීන් හා නිලධාරීන් සමග ය. මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරීන් ඒ දින කීපය තුළ ජනාධිපතිවරයා සමීපයේම සිටියා යයි කිවහොත් නිවැරදි ය.

මේ අතරතුර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යන අය සමඟ ජනාධිපතිවරයා අයවැය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කළේය.

“වැට් බද්ද වැඩි කරන්න ගත්ත තීරණය සම්බන්ධයෙන් නම් ප්‍රශ්න ගොඩක් එයි. විශ්‍රාම ගැනීමේ වයස් සීමාව 60ට අඩු කිරීම ගැනත් සමහරු ඉන්නේ ගැටලුවක…” සාගල කීවේය.

“ගිය ආණ්ඩුව වැට් එක අඩු කළේ මහජනතාව සහනයක් දෙන්න කියල පෙන්නුවට ඒකෙන් වුණේ ව්‍යාපාරික හිතවතුන් කිහිප දෙනෙකුට සහනයක් ලැබීම විතරයි. අන්තිමේ එකෙන් උනේ රාජ්‍ය ආදායම පහත වැටීම. ඒ නිසයි මහජනතාවට රිදුනෙ කියලා දැන් හැමෝම දන්නවා.” ජනාධිපති කීවේය.

මේ අතරතුර අඟහරුවාදා පෙරවරුවේ හදිසි කැබිනට් මණ්ඩල සාකච්ඡාවක් ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය විය. අන්තර්කාලීන අයවැයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගැනීම අවශ්‍ය විය.

අන්තර්කාලීන අයවැයේ අරමුණු හා අවශ්‍යතාවයන් ගැන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ කරන ලද පැහැදිලි කිරීම්වලින් පසු ඊට අවශ්‍ය අනුමැතිය හිමිවිය. අය වැය ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකසන්නැයි ජනාධිපතිවරයා නිලධාරින්ට කියද්දී නිලධාරීන්ගෙන් ප්‍රශ්නයක් මතු විය.

“අයවැය ඉදිරිපත් කිරීමෙන් පස්සේ මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා නිලධාරීන් සියල්ලටම තේ පැන් සංග්‍රහයක් පවත්වනවා. ඒකට මේ පාර මොකද කරන්නේ…”

“තේ බිබී හිනාවෙවී කතා බහ කර කර ඉන්න පුළුවන් කාලයක් නෙවෙයි මේක. අයවැය ඉදිරිපත් කරපු ගමන්ම මම යන්න ඕන අයි එම් එෆ් එකේ සාකච්ඡාවකට. අපි ආයෙත් ඉක්මනින්ම රට හොඳ තත්ත්වයකට ආවට පස්සෙ තේ එකක් බීල කතාබහ කරමු” රනිල් එසේ කියා විහිළුවක් කරමින් යන්න ගියේය.

ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස අයවැය ඉදිරිපත් කරද්දී වෙනදා මෙන් විපක්ෂයෙන් බාධා ඇති වූයේ නැත. විපක්ෂයේ ආර්ථික විචාරකයකු වූ හර්ෂ සිල්වා පවා කීවේ මෙය විපක්ෂයත් අනුමත කරන අය වැයක් කියාය. එහෙත් සජිත් ප්‍රේමදාස මෙහි ඇති ප්‍රායෝගිකතාව ගැන ප්‍රශ්න මතු කළේය. හැම දෙයක් ගැනම නිතරම කතා කරන සජබයේ තරුණ බොහෝ මන්ත්‍රීවරු කී කතා හා විවේචනවල ගත යුත්තක් නො විය.

අය වැය ඉදිරිපත් කළාට පසු ජනාධිපතිවරයාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමට සිදුවිය.

“හැබැයි මට වැඩි වෙලා මෙතන ඉන්න බෑ. අයි එම් එෆ් එකේ සාකච්ඡාව තියෙනවා. ගෲප් එකේ ටිකක් වෙලා ඉඳල මම යනවා. දිනේෂ් දිගට ඇදගෙන යන්න…” ජනාධිපතිවරයා අගමැති දිනේෂ් ගුණවර්ධනට කීවේය.

● බන්දුල ඇසූ ප්‍රශ්නය
රෝහිත වැරදියට අරන්…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙවර මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද කැඳවා තිබුණි. මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම එහිදී මුලින්ම සිදුවිය.

මේ අතර තවත් කතා බහක් ඇති විය. විදේශ ගතවන පිරිස වැඩිවුවත් පෙර මෙන් රටට විදේශීය ප්‍රේෂණ නොලැබීම පිළිබඳව මන්ත්‍රීවරුන් මෙහිදී විමසූහ.

“පාස්පෝට් කන්තෝරුව පැත්තේ යන්න බෑ… එතන මහ සෙනගක් පාස්පෝට් ගන්න ඇවිල්ලා ඉන්නවා. රට යන එකෙත් අඩුවක් නෑ… ඒ උනාට රට ගියපු අය ඉස්සර වගේ ලංකාවට සල්ලි එවන බවක් පේන්න නෑ… මොකක් හරි වැරදි දෙයක් වෙනවද..?

එයට පිළිතුරු දුන්නේ ඇමැති මනූෂය.

“දැන් රටේ කර්මාන්ත නැවතිලා. ඒ නිසා විදෙස්ගත මිනිස්සු සල්ලි එවන්නේ එදිනෙදා වියදමට විතරයි. ගෙවල් හදන්න, වාහන ගන්න මිනිස්සු සල්ලි එවන්නේ නෑ. ඒ නිසා තමයි විදුලියෙන් ධාවනය වන වාහන ආනයනයට අවසර දුන්නේ ඒ අරමුණින්. එයට මුදල් අමාත්‍යාංශයේ අවසරය ලැබේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.”

“සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට හා විදේශ ප්‍රේෂණ ලබාගැනීමට මනූෂ නානායක්කාර අමාත්‍යවරයා ගෙන යන වැඩපිළිවෙළ හොඳයි” මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මනූෂගේ වැඩපිළිවෙළ අගයමින් කතා කළේය.

මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලිපියක් ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරුන්ට පැවසුවේ අලුත්වැඩියා කටයුතු අතරමග නතර වූ මාර්ග සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙසයි.

“ඇමැතිතුමා අලුතින් පාරවල් හදන්න කලින් පාරවල් හදපු කොන්ත්‍රාත්කාරයන්ට සල්ලි ටික ගෙවල ඉන්න. අපිට පාරේ බැහැල යන්න බෑ” රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“ඔන්න ඉතින් පටලවා ගන්නවා. මම කිව්වෙ අලුත් පාරවල් ගැන නෙමෙයි. වැඩ අතරමඟ නැවතුන පාරවල් ගැන තොරතුරු දෙන්න කියලයි.” ඇමැති බන්දුල කිවේය.

“අලුතින් තොරතුරු මොකටද? ඔබතුමාගේ අමාත්‍යංශයේ නිලධාරීන් ඒ ගැන තොරතුරු දන්නවනේ.” රෝහිත යළි පැවසීය.

“මම කිව්වේ එකක්. ඔබ ඔය කියන්නේ තව එකක්. ඔබතුමා මම කිව්ව කාරණය හරියට තේරුම්ගෙන නෑ” බන්දුල යළි කීවේය.

“අපිට පාරවල් ඕන නෑ… හදපු ටිකට සල්ලි ගෙවන්න” තිස්ස කුට්ටිආරච්චි, මධුර විතානගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පැවසීය.

මෙම කතාව දිගින් දිගටම ඇදී යනවිට එයට ජනාධිපතිවරයා ද මැදිහත් විය.

“කලබල වෙන්න එපා… මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. රාජ්‍ය ආදායම්වල ලොකු අඩුවක් තියෙනවා. පාරවල් හදපු කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම ගැන ප්‍රශ්නයක් තියෙනවා තමයි. නොපියවූ බිල්පත් විතරක් බිලියන 200 ක් විතර තියෙනවා මං දැනුවත්ව.” යැයි ජනාධිපතිවරයා කීවේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දෙස බලමිනි.

“රාජ්‍ය ආදායම් පහුගිය කාලය අඩුවීම ගැන කවුරුත් කතා කරනවනෙ. රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම තමයි අපේ ලොකුම වගකීම. දැනට ලැබෙන ආදායම සීමිතයි. අපිට ලැබෙන ඒ සීමිත රාජ්‍ය ආදායමෙන් ප්‍රමුඛතාවය දෙන්නේ පොලී හා ණය ගෙවන්න, අත්‍යවශ්‍ය ආහාර හා බේත් ගෙන්වන්නයි. ඒ අතරදි අනෙකුත් වියදම් සඳහාත් ලැබෙන පරිදි මුදල් වෙන් කරනවා.” මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

“මට කොහොම හරි මේ මුදල් ටික වෙන්කරල දෙන්න” ඇමැති බන්දුල මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට කීවේය.

“දැන් මිනිස්සු අතේ ඩොලර් තියෙනවා. නමුත් ඒවා නිසි මාර්ගයේ යන්නේ නෑ. ගමේ ඉන්න ත්‍රීවිල් රියදුරත් ඩොලර් මාරු කරන තත්ත්වයක් දැන් තියෙන්නේ. බලපත්‍ර ක්‍රමය හඳුන්වාදුන්නට හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ ඩොලර් ටික එකතු කරගන්න නීතියක් ගේන්න ඕන.” යැයි රෝහිත මන්ත්‍රීවරයා යළි පැවසීය. අනතුරුව රෝහිත මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.

“රටට වැඩියෙන්ම ආදායම් උපද්දවන්නේ රේගුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව. නමුත් මේවයින් රජයට නියමිත පරිදි අපේක්ෂිත ආදායම ලැබෙන්නේ නැහැ. ඒ නිසා අරගලකරුවන්ට කරපු දේම මේ ආයතනවලටත් කරන්න.”

“දැන් වැඩිහිටි දීමනාව ගන්න වෙලා තියෙන්නේ සමෘද්ධි බැංකුවෙන්. ඒ නිසා වැඩිහිටියන්ට මේ දීමනාව ගන්න ටවුමට යන්න වෙලා. දැන් ත්‍රීවිල් ගාස්තුත් වැඩියි.” සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා කතාකළේ වැඩිහිටි දීමනාව සම්බන්ධ ප්‍රශ්නයකි.

“අපේ පැතිවල ගම්වල වයසක මිනිස්සු මේ වැඩිහිටි දීමනාව ගන්න හැතැම්ම ගණන් පයින් කඳු පල්ලන් නැගගෙන බැහැගෙන යනව. ලැබෙන සොච්චම ඒ මිනිස්සුන්ට කරදරයක් නැතුව ගන්න සූදානම් කරල දීම තමයි අපේ වගකීම වෙන්නේ ඕන. මේක වැරදි වැඩක්. ජනාධිපතිතුමනි වහාම මේක නවත්තන්න” චාමර සම්පත් මන්ත්‍රීවරයා මදක් උස් හඬින් කීවේය.

“මම මේ ගැන හොයල බලන්නම්” ජනාධිපතිවරයා කීවේය.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ද ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නිසාවෙන් උතුරු මැද පළාතේ කාන්තාවන්ට විඳින්නට සිදුවන දුක්ගැහැට පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළේය.

“දැන් බලාගෙන යනකොට මන්ත්‍රීවරු වෙන වෙන දේවල් ගැන කතා කරන්න පටන් අරන්. ඇත්තටම මම මේක කැඳෙව්වේ අය වැය ගැන කතා කරන්න. ඒ නිසා ඒ ගැන කතා කරමු” ජනාධිපතිවරයා කීවේය.

“කෙටිකාලීනව හා දිගුකාලීනව ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම ගැන මේ අයවැය මගින් කතා කරනවා. ආර්ථික වර්ධන වේගය දශම පහකින් වැඩිකරගන්න අපිට අවුරුදු දෙකක් ගතවෙනවා. අපි ලොකු අමාරු තත්ත්වයක ඉන්නේ. දැන් අයි.එම්.එෆ් එකත් එක්ක කතා කරගෙන යනවා. ඒ අය අවසර දුන්නට පස්සේ ජපානය ඇතුළු ආධාර දෙන රටවල් එක්ක සාකච්ඡා පටන් ගන්නවා. රටේ ඩොලර් හිඟයක් තිබුණත් අපි මෙවර අධ්‍යාපනයට විශාල මුදලක් වෙන්කළා. දැනට තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල කළමනාකරණය කරගන්න ගමන්ම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල රටට ගේන්න ඕන. මොකද රටේ තියෙන සල්ලි රට ඇතුලෙම තියාගන්න ඕන. ඒ වැඩ පිළිවෙලේ පළමු වැන්න විදියට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල පටන් ගන්න අපි තීරණය කළා.

ජනාධිපතිවරයා අයවැය ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කළේය. මෙවර අයවැයෙන් අපේක්ෂා කරන ඉලක්ක ගැන ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් කතා කරන අතර වාරයේ සියලු දෙනාගේ අදහස් විමසීමට ද අමතක නොකළේය. මෙවර මේ ඉදිරිපත් කරන හදිසි අයවැයෙන් රටේ තියෙන සියලු ප්‍රශ්නවලට උත්තර සොයන්නට ආණ්ඩුව බලාපොරොත්තු නොවූවත් මේ රට තුළ දැවෙන ප්‍රධාන ප්‍රශ්න ගණනාවකට ඉතා සාර්ථක ලෙස උත්තර දීගත හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. ඒ අයුරින් තවත් ටික වේලාවක් ඇදී යද්දී ජනාධිපතිවරයා පිටත්ව ගියේය.

● රනිල් දිනේෂ්ට කිව්
සතුටුදායක ආරංචිය…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් මුණ ගැසුණු ජනාධිපති රනිල් අය වැය සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් කළේය. එයින් සෑහීමකට පත්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ලංකාව ගැන ඔවුන්ගේ නිල දැනුම්දීම පසුදින කරන බව කියමින් සාකච්ඡාව අවසන් කළේය.

අය වැය විවාද කාලය වූ බදාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදිනම ජනාධිපතිවරයා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළය. එයිනුත් ඔහු වැඩි කාලයක් රැඳී සිටියේ ඔහුගේ නිල කාමරයේ නොව පාර්ලිමේන්තුවේ විපක්ෂ ආලින්දයේ ය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට වඩා ජනාධිපතිවරයා සමීපව සිටියේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට බැවින් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඔහුට ලැබුණේ ඉහළ පිළිගැනීමකි. පැරණි කතා මෙන්ම රස කතා රැසක් එහි දී හුවමාරු වූවේය.

“ජනාධිපතිවරු මේ වගේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්නේ නැහැනේ. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ තමයි අපිට ජනාධිපතිවරු පාර්ලිමේන්තුවේදී දකින්නට ලැබුණේ.” ජනාධිපතිවරයා වට කරගෙන සිටි විපක්ෂ මන්ත්‍රීවරයෙකු කී විට සෙසු පිරිස කොක් හැඬලූහ.

“හැබැයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එහෙම කළේ නෑ. එතුමා නිතරම පාර්ලිමේන්තුවත් එක්ක සම්බන්ධය තියා ගත්තා. නිතර ආවා ගියා.” ජනාධිපති රනිල් කීවේය.

“ජනාධිපතිතුමා කියන කතාව හරි. ජනාධිපතිවරුයි පාර්ලිමේන්තුවයි ඈත් වෙන හේතුව ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට නොපැමිණීම තමයි.” එතනට පැමිණි වජිර අබේවර්ධන කතාව සම්පූර්ණ කළේ එසේය.

ජනාධිපති රනිල් නිල කාමරයට ගොස් රූපවාහිනිය දෙස බලද්දී දුටුවේ රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා ඔහුව විවේචනය කරන ආකාරයය. සිනාසෙමින් එය නැරඹූ ජනාධිපතිවරයාට සුළු මොහොතකින් සේවකයෙකු රැගෙන ආ පණිවුඩයෙන් කියැවුණේ රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා තමා මුණ ගැසීමට පැමිණ සිටින බවටය.

එන්න කියන්න මගේ මිත්‍රයාට කියමින් ඉංග්‍රීසියෙන් ජනාධිපතිවරයා කීවේ කොක්හඬලා සිනාසෙමිනි. කෙසේ වෙතත් ඒ දෙදෙනා අතර වූ කතා බහ මාධ්‍යවලට අනාවරණය වූයේ නැත.

● නිමල් සහ මහින්දට
හූ කියන්න යෝජනා..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් ම පසුගිය සතියේ තීරණාත්මක දේශපාලන කටයුතුවලට වෙහෙසෙමින් සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය සතිය පුරාම මහන්සි වූයේ සිය පක්ෂයේ 71 වන සංවත්සරය සැප්තැම්බර් දෙවැනි සිකුරාදා මහරගමදී සැමරීම සම්බන්ධයෙනි. උත්සවය තරුණ සේවා ශ්‍රවණාගාරයේ පවත්වන්නට සියලු කටයුතු සංවිධානය කර තිබිණි.

එම උත්සවයේ දී එක්තරා පිරිසකට හූ කියන්නට පක්ෂයේ කණ්ඩායමක් සූදානම් වෙතැයි කියා ආරංචියක් හදිසියේම මෛත්‍රිපාල සිරිසේනට දැනගන්නට ලැබිණි. නිමල් සිරිපාල, මහින්ද අමරවීර ඇතුළු කීපදෙනෙක් ඉලක්ක කරගෙන කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන් මෙය සංවිධානය කරතැයි මෛත්‍රීට ආරංචි විය. වහාම ඔහු කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් බ්‍රහස්පතින්දා රාත්‍රී පක්ෂ මූලස්ථානයට කැඳවනු ලැබීය. විදේශගතව සිටි මහ ලේකම් දයාසිරි ජයසේකර ද පැමිණියේ එදිනය.

රැස්වීම පටන් ගන්නට පෙර කොළඹ දිස්ත්‍රික්කයට අදාළ නැති එක්තරා පිරිසක් පැමිණ රැස්වීම් ශාලාවේ අසුන්ගෙන සිටිතැයි පක්ෂ නායකයාට ආරංචි විය.

කවුද ඒ කට්ටිය…. හිටපු ජනාධිපතිවරයා විමසනු ලැබුවේ ආරක්ෂක අංශයෙන්…

දුමින්ද ඇමැතිතුමාගේ කණ්ඩායමක්… ආරක්ෂක අංශ කීවේය.

“දුමින්ද ඇමැතිතුමා හිටියට කමක් නෑ… අනිත් අය වහාම ඇදලා දාන්න එළියට.” මෛත්‍රීපාල හිටපු ජනාධිපති කීවේය. ඒ අනුව අනවශ්‍ය ගැටලුවක් ඇති වන්නට පෙර පිරිස විසිර ගියහ.

එදා සාකච්ඡාව පවත්වනු ලැබුවේ හූ කීමේ සූදානම ගැන කතා කරන්නට වුවත් පක්ෂ නායකයාවත් කිසිවෙක් වත් ඒ ගැන කතා කළේ නැත. ඒ වෙනුවට කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරුන් එක්ව සංවත්සර උත්සවයේ වැඩ කටයුතු මනාව සංවිධානය කරන ආකාරය ගැන පමණක් සාකච්ඡා කර විසිර ගියහ.

මේ අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු කණ්ඩායම වෙනම ජාතික සමුළුවක් පවත්වන්නට ගෙනයන වැඩපිළිවෙළ ද පසුගිය සතියේ දේශපාලන ලෝකයේ කතාබහට ලක්විය. ඔවුන් පිටකෝට්ටේ බැද්දගාන ප්‍රදේශයේ අලුත් කාර්යාලයකට ද පසුගිය සතිය තුළ ගොස් තිබීම විශේෂත්වයකි.

මේ අතර පසුගිය සතියේ සිදු වූ තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූයේ බදාදා දිනයේ පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම ඇතුළු 13 දෙනාගේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමයි. මෙම තීරණාත්මක කටයුත්ත සඳහා අවසන් තීන්දුව ගත්තේ පසුගිය අඟහරුවාදා හවස මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නාරාහේන්පිට නිවෙසේ තිබූ සාකච්ඡාවකදීය. එහිදී සෑම මන්ත්‍රීවරයකුටම නිදහසේ තම අදහස් දැක්වීමට අවස්ථාවක් හිමි විය.

රැස්වීම කෙතරම් වේලා පැවතියේ ද යත් වේලාව රාත්‍රී 8 ද ඉක්මවා තිබිණි.

“අපි දැන් අවසන් තීරණයක් ගමු නේද” ඩිලාන් කීවේ අත රැඳි ඔරලෝසුව දෙස බලමිනි.

“ඔව්. ඉක්මනට තීරණයක් ගමු. කණ්ඩායමේ වැඩි දෙනෙක් විපක්ෂයට යන්න කැමතියි. වැඩි දෙනෙක්ගේ මතය අපි ක්‍රියාත්මක කරමු” ඩලස් කීය.

මේ කණ්ඩායම විපක්ෂයට එක්වීමේ සාකච්ඡා පැවැත්වෙන බව දැනගත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ ප්‍රබලයෙක්ගෙන් චරිත හේරත්ට දුරකතන ඇමතුමක් ලැබී ඇත.

“පොහොට්ටුවෙන් ගියාට කමක් නැහැ. ආණ්ඩුවත් එක්ක ඉන්න” ඒ පණිවිඩයෙන් කියැවී ඇත. මේ පිළිබඳව චරිත හේරත් හෙළි කිරීමත් සමග ඩිලාන් පෙරේරා “ මටත් කෝල් එකක් ආවානේ.” එක්වරම කීය.

“ඒ කොහෙන්ද”

“නම් ගම් ඕනේ නැහැ. ඒක අපේ පොහොට්ටුවෙ පාර්ශවයෙන්.”

“මොකක්ද ඇරයුම”

“ඒක ඇරයුමක් නෙවේ. දිරි ගැන්වීමක්. ඒ අය කියන්නෙ අපි ගන්න තීරණය හරි කියල” ඩිලාන් කීය.

“මටත් කට්ටිය කතා කළා. ඒ අයත් අපිත් එක්ක විපක්ෂයට එන්න අහනවා. එතන හය දෙනෙක් ඉන්නවා මං ඒ අයව නතර කළා. අපි කාලයක් එක ගමනක හිටියා. දෙවැනි පියවර විදිහට ඒ කට්ටියට විපක්ෂයට එන්න කියලා කිව්වා” ඩලස් කීවේය.

● සිරිසඟබෝ වෙන්න
සජිත් කැමති වෙලා…

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා රැස්විය. මන්ත්‍රීවරු කුඩා කණ්ඩායම් හැටියට නිතර නිතර පසුගිය දිනවල ආණ්ඩු පක්ෂයෙන් එළියට පැමිණ විපක්ෂයේ අසුන් ගැනීම නිසා පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන බොහෝ ගැටලු මෙහිදී සාකච්ඡාවට ලක්විය.

විවාදවලදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට කාලය වෙන්කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා ලක්විය.

“ආණ්ඩුවෙන් කණ්ඩායම් කීපයක් විපක්ෂයට ඇවිල්ලා. ඒ අයටත් කතා කරන්න වෙලාව දෙන්න” විපක්ෂ නායක සජිත් කීවේය.

“ඔය කණ්ඩායම මාස දෙක තුනක් තිස්සේ හිටියෙ ස්වාධීන වෙලා. නමුත් අපි වෙලාව දුන්නා. දැන් එයාල නිල වශයෙන් විපක්ෂයට ගිහිල්ලා. ඉතිං කොහොමද ආණ්ඩුවේ වෙලාව දෙන්නෙ” ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කීවේය.

“එයාල විපක්ෂයට ආවට අපිට ෂුවර් නෑ නේ” විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කිරිඇල්ල පැවසුවේ ඔලොක්කුවට මෙනි.

“ඉතිං ඒකනේ ඔබතුමාලටත් ෂුවර් නෑනෙ. අපි විපක්ෂයට යනවයි කියන්නත් එයාලට වෙලාව දුන්නේ අපියි. දැන් එයාල කරන්නේ ඔය පැත්තෙ ඉඳගෙන අපිට බණින එකනේ.”

“විපක්ෂෙ ඉඳල ආණ්ඩුවට ආපු මනූෂට, හරීන්ට අපි වෙලාව දෙනවා. ජී.එල්. ඇමැතිතුමාගේ කට්ටිය දැන් විපක්ෂනෙ. ඔබතුමාලම එයාලට වෙලාව දෙන්න.” ප්‍රසන්න යළි ඇඟට පතට නොදැනී කීවේය.

“වෙලාව දෙන්න කලින් එයාලගෙ හැසිරීම බලන්න ඕන. එතකං එයාලට පරිවාස කාලයක් දෙන්න ඕන” ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලකAIAමන් කිරිඇල්ලය.

“එයාලගෙ හැසිරීම නම් අන්තිමයි” මෙතෙක් වෙලා නිහඬව සිටි ජොන්සන්ටන් ප්‍රනාන්දු කී කතාවට කථානායකතුමාටත් හිනාය.

“ඔබතුමා පරිවාස කාලයක් දීගෙන බල බලා ඉන්න. දැනටමත් කිරිඇල්ල මැතිතුමාට ෂුවර් නෑලු. අන්තිමේ පුතයලා ටික විපක්ෂනායකතුමාගේ තනතුරටත් තට්ටුකරලා තියේවි” ප්‍රසන්න කීවේය. ප්‍රසන්නගේ කතාවට විපක්ෂනායක සජිත් කලබල විය.

“මම සිරිසඟබෝ රජ්ජුරුවෝ වගෙ බෙල්ල දෙන්න ලෑස්තියි. ජනතාවට සේවය කරන්න මට තනතුරු වැඩක් නෑ” සජිත් කීවේය.

“කවුරු විපක්ෂෙට ආවත් අපි තමයි ඔරිජිනල් විපක්ෂෙ. ඒක නිසා කවුරු විපක්ෂෙට ආවත් වැඩක් නෑ” කිරිඇල්ල පැවසීය.

“වෙනම හිටියට අපිත් විපක්ෂේ තමයි’ දිගුවෙලාවක් නිහඬව සිටි සුමන්තිරන් පැවසීය.

“ආණ්ඩු පක්ෂෙ ඔක්කොටම එකම විදියට සලකන්න. අපි තමයි විපක්ෂෙ දෙවැනියට විශාලතම පක්ෂය. අපිට තුනට යන්න පුළුවන් හැබැයි හයට යන්න බෑ” ඔහු කී කතාවට සියල්ලෝම සිනාසිණි.

“දැන් එතකොට මේකට මොකද කරන්නේ” පක්ෂ නායකයෝ විමසූහ.

“මම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෙන්නෙ ආණ්ඩුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන්. ඒක නිසා මට තීන්දු ගන්නකොට පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇහුම්කන් දෙන්න වෙනවා. විපක්ෂයට ගිය මන්ත්‍රීවරුන්ට වෙලාව දෙනවට අපේ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධයක් තියෙනවා. මට පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙ ඉල්ලීම අහක දාන්න බෑ.” ප්‍රසන්න ඇත්තම කීවේය.

පාර්ලිමේන්තු ප්‍රධානතම කමිටු වන කෝප් කමිටුවේ හා කෝපා කමිටුවේ සභාපතිකම් විපක්ෂයට දීම ගැන සාගර කාරියවසම් මෙහිදී විරෝධය පළ කළේය.

“ස්ථාවර නියෝගවල තියෙනවා මේ කමිටුවල සභාපතිවරු පත් කරන්නේ කොහොමද කියලා… ඉතින් අපි ස්ථාවර නියෝග අනුව වැඩ කරමු.” ඔහු කීවේය.

“මම ඒ ගැන ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එක්ක කතා කරල තීරණය කියන්නම්” කථානායකවරයා පැවසීය.

● සුගීගේ උපන් දිනය දා
හිටපු ජනාධිපති ලංකාවට

තායිලන්තයේ නැවතී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එහිදී දැඩි ආරක්ෂක රැකවරණයකට මුහුණ දෙන්නට සිදුවිය. මෙම දැඩි ආරක්ෂක රැකවරණය හේතුවෙන් ඔහු තායිලන්තයේ නවාතැන් ගෙන සිටි හෝටලයෙන් එළියට පැමිණීම මුළුමනින්ම වළකාලීමට තායිලන්ත ආරක්ෂක අංශ කටයුතු යොදා තිබුණි. හිටපු ජනාධිපතිවරයා තායිලන්තයට පැමිණි විගසම එහි විහාරස්ථාන වැඳ පුදා ගැනීම සඳහා තමන්ට අවශ්‍ය බව ඔහුගේ ආරක්ෂාව භාරව සිටි බ්‍රිගේඩියර් මහින්ද රණසිංහ සහ ඔහුගේ සහයට සිටි හිතවතෙකු වූ ඉන්දික ජයලත් වෙත පවසා සිටියේය. එසේ වුවත් ඒ සඳහා අවසාන දින කිහිපය තෙක් හිටපු ජනාධිපතිවරයාගේ විහාරස්ථාන වන්දනාව සඳහා තායි බලධාරීන් අවසර ලබා නොදුන්නේය. මුලින්ම ඒ සඳහා අවසරය ලැබුණේ අයෝමා රාජපක්ෂ මහත්මිය වෙත පමණය. මේ අතරේදී හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක බ්‍රිගේඩියර් මහින්ද රණසිංහ වෙත මේජර් ජෙනරාල් නිලය හිමිව තිබීම සුවිශේෂ කටයුත්තක් විය.

පසුව හිටපු ජනධිපතිවරයා වෙත පන්සල් බලා පිටත්ව යෑමට ද අවසරය හිමි විය. ඒ අනුව ජනාධිපති පුද්ගලික ලේකම් ලෙස සේවය කළ සුගීෂ්වර බණ්ඩාර, වෛද්‍ය අනුරුද්ධ ලේකම්ගේ, රන්දෙණිය, ව්‍යාපාරික රංජිත්, ඉන්දික ජයලත් යන පිරිස සමග ජනාධිපතිවරයා සහ එම මහත්මිය, සිංහල දේශයේ සිට තායිලන්තයට රැගෙන ගිය මරකත බුද්ධ ප්‍රතිමාව තැන්පත් කර ඇති වට් පන් බං ටැට් විහාරය වන්දනා කළහ. පසුදා තායිලන්තයේ තවත් විහාරස්ථානයක් ද වන්දනා කළ හිටපු ජනාධිපතිවරයාට එහි වැඩ සිටි තායි මහා සංඝරත්නයෙන් විශාල පිළිගැනීමක් ලැබී තිබුණි. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය සී. ඒ. චාමින්දා අයි. කොලොන්නෙ මහත්මිය මෙහිදී හිටපු ජනාධිපතිවරයා වෙත අවශ්‍ය සියල්ල නොපිරිහෙළා ඉටු කරන ලද්දේ සිය රාජ්‍යතාන්ත්‍රික භාවය ප්‍රදර්ශනය කරමිනි. සිංගප්පූරුවේ දී එහි සිටි තානාපති බලධාරීන් හිටපු ජනාධිපතිවරයා මග හැර සිටියදී තායිලන්ත තානාපතිතුමියගේ ක්‍රියා කලාපය පැසසුම් සහගත විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග කතිකා කර ගැනීමෙන් අනතුරුව සිකුරාදා දිනය, හිටපු ජනාධිපතිවරයා විසින් සිය මව්රට බලා පැමිණීමට තෝරාගෙන තිබුණි. එදින සුවිශේෂ වූයේ ජනාධිපතිවරයා සමග සෙවනැල්ල සේ සිටි, ඔහු ජනාධිපති සමයේ පුද්ගලික ලේකම් ලෙස සේවය කළ සුගීෂ්වර බණ්ඩාර මහතාගේ උපන් දිනය ද එදිනට යෙදී තිබීමය. දහවල් තුන පමණ විට තායිලන්තයෙන් මෙරට බලා පිටත් වූ ගෝඨාභය රාජපක්ෂ යුවල ඇතුළු පිරිස එදින රාත්‍රී එකොළහ පමණ විට කටුනායක බලා පැමිණියහ.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment