විපක්‍ෂයේ අසුන්ගත් ආණ්ඩුවේ මන්ත්‍රීන්ට මැතිසබයේ කාලය වෙන්වෙයි

86

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රීවරුන් සඳහා වෙනම කාලයක් වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (29 වැනිදා) තීරණය කළේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (29 වැනිදා) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රීවරුන්ට සිය අදහස් පළකිරීමට කිසියම් කාලයක් වෙන් කරදෙන ලෙසට හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් මෙම කාරක සභාවට යෝජනා කර තිබේ.

එම යෝජනාවට අනුව ආණ්ඩු පක්ෂයට වෙන්වන කාලයෙන් සියයට 5ක් ලබාදීමට කාරක සභාව එකඟත්වය පළකර තිබේ. මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ යෝජනාවක් අනුව පාර්ලිමේන්තුව රැස්වන කාලය පැය භාගයකින් දීර්ඝ කර එම කාලයෙන් සියයට 50ක් විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රීවරුන්ට ලබා දීමටද තීරණය වී තිබේ. ඊට අමතරව සුදුසු පරිදි විපක්ෂයට හිමි කාලයෙන් ද යම් කාලයක් මෙම මන්ත්‍රීවරුන් සඳහා වෙන් වෙනු ඇත.

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගෙන සිටින “උත්තර ලංකා සභාගය” නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට, ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමටද පාර්ලිමේන්තුවේදී කතා කිරීමට නියමිත කාලයක් මීට පෙර වෙන්ව නොතිබිණි. මේ පිළිබඳව බොහෝ වාද විවාද ඇති විය. නමුත් මින් ඉදිරියට එවැනි ගැටලුවක් මතු නොවන අතර නියමිත කාලයක් ද ඔවුන් සඳහා වෙන් වෙනු ඇත.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment