විපක්‍ෂයේ නොමග යැවීම් නිසා ජනතාව වැඩිපුර තෙල් එකතු කරනවා

159

වරායට තෙල් නැව් එනවා. විපක්ෂයේ නොමඟ යැවීමෙන් ජනතාව බයට වැඩියෙනුත් තෙල් එකතු කරනවා යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (16 දා) පැවසීය.
ඒ මහතා මේ අදහස් පළ කළේ කළුතර පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

වරායට එන තෙල් නැව් ටික ඉක්මනින් සංස්ථාවට මුදාහරිනවා. වෙනදා පිරවුම්හල්වලට එන ඉන්ධන දින දෙකකට පමණ ප‍්‍රමාණවත්. ඒත් දැන් සිදුවෙලා තියෙන්නේ විපක්ෂයේ නොමඟ යැවීම නිසා වගේම මාධ්‍යවලින් කියන නිසා ජනතාව බය වෙලා ඉන්ධන වැඩියෙන් ලබා ගන්නවා. සමහරු වාහනයට තෙල් ගහගෙන ගෙදර තියෙන කෑන්වලටත් තෙල් එකතු කරනවා.

මේ තියන අර්බුදවලට විසඳුම් ලබාදෙන්නැයි බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉන්දියාවට ගිහින් ඉන්නේ. ඉන්ධන, ඖෂධ සහ අපි නිෂ්පාදනය නොකරන ආහාර වර්ග ලබාගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් බිලියන දෙකක ණයක් ලබාගැනීමට. ගිවිසුම අද කි‍්‍රයාත්මක වෙනවා. ඒ වගේම තෙල් සැපයුම අඛණ්ඩව ලබාදීම සඳහා වූ කි‍්‍රයාවලියට කැබිනට් එක අනුමැතිය ලබාදුන්නා. මේ කි‍්‍රයාවලිය එක්ක අපට ඉක්මනින් අර්බුදය විසඳන්න පුළුවන්. ඒ වගේම කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය යළි පණ ගන්වා, විදේශ විනිමය ඉපයීමේ කි‍්‍රයාවලියට පණ දී අපි ඉක්මනින් මේ රටේ ආර්ථිකය ගොඩනඟනවා යනුවෙන් ද පැවසීය.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම
 

advertistmentadvertistment
advertistmentadvertistment