විපක්ෂයේ සහය නැතුවම රනිල් අයවැය දිනාගෙන…

318

පසුගිය සතිය අයවැය නිසාම උණුසුම් වූ සතියක් විය. මාසයක් තිස්සේ පාර්ලිමේන්තුවේ වාද විවාද පවත්වමින් සාකච්ඡාවට බඳුන් වූ 2023 වසර සඳහා වූ අයවැය විසර්ජන පනත් කෙටුම්පත බ්‍රහස්පතින්දා හවස වැඩි ඡන්දයෙන් සම්මත විය.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 123ක් ලැබූ අතර විපක්ෂව ඡන්ද 80ක් ලැබී තිබිණි. අයවැය දෙවැනි වර කියවීමේ අවස්ථාවේදී ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ආණ්ඩු පක්ෂයට ඡන්ද දෙකක් වැඩිවී තිබිණි. විපක්ෂව වූ ගණනින් හතරක් අඩුව තිබිණි.

මෙවර අයවැය සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව මුල සිටම ලොකු වෙහෙසක් දැරූහ. එහෙත් එම අයවැය පරාජය කිරීම සඳහා විපක්ෂය තුළ ඒකාබද්ධ වැඩපිළිවෙළක් නොවීය. මේ වන විට ආණ්ඩු පක්ෂයෙනුත් විශාල ප්‍රමාණයක් එළියට පැමිණ ස්වාධීන කණ්ඩායම් ලෙස කටයුතු කළත් ඒවා සියල්ල ඒකාබද්ධ කොට ආණ්ඩුවට අභියෝගයක් එල්ල කිරීම සඳහා විපක්ෂයේ කිසිදු කණ්ඩායමකට වැඩපිළිවෙළක් නොවීය. ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගයට සිදුව තිබුණේ විපක්ෂයේ බලවේග එකතු කිරීම නොව, ආණ්ඩුවට යෑමට සූදානම්ව සිටින සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු රැක ගැනීමය.

සමගි ජනබලවේගයේ කණ්ඩායමක් ආණ්ඩුවට එක්වීමට ඇති සූදානම ගැන පසුගිය සතිය පුරාම ලොකු ප්‍රවෘත්තියක් පළ විය. මෙම කණ්ඩායම රාජිත සේනාරත්න සමග අයවැය අවසන් ඡන්ද විමසීමට පෙර ආණ්ඩුව සමග එක්වී අයවැයට පක්ෂව ඡන්දය දෙනු ඇති බවත් එදින රාත්‍රියේ දී ඒ කණ්ඩායමෙන් කිහිප දෙනකුට රජයේ බලවත් ඇමැති ධූර ලබාදෙන කැබිනට් සංශෝධනයක් සිදු විය හැකි බවටත් මාධ්‍යවල අනාවැකි පළ වූයේ එම ප්‍රවෘත්තිය මුල්කොට ගෙනය.

එහෙත් අයවැය කාරක සභා ඡන්ද විමසීම අවස්ථාවේදී හෝ ඉන් පසුව හෝ එවන් කිසිවක් සිදුවූයේ නැත. රාජිත පමණක් නොව, වෙල්ගම හා සරත් ෆොන්සේකා ආදී කිසිවිටකත් ආණ්ඩුවට සම්බන්ධ වේවි කියා සිතිය නොහැකි නම් කීපයක් පවා මෙම ප්‍රවෘත්තිය හා බැඳී තිබීම නිසා සියලු ප්‍රවෘත්ති ගොසිප්කරුවන්ගේ හිතළු හා නිර්මාණ විනා සත්‍යයට ලංවූ ප්‍රවෘත්ති නොවන බව අවසානයේ පැහැදිලි විය.

● ජනපති නීති සාදයේ
අරගලකරුවෝ හමුවෙයි

අය-වැය සම්බන්ධයෙන් මුදල් ඇමැති හැටියට වැඩිපුර වෙහෙස වුණේ රනිල් වික්‍රමසිංහ ය කියලා කිව්වොත් වරදක් නැත. හේ මුල පටන්ම අයවැය ගැන වගකීමකින් යුතුව කටයුතු කළේය. මොනතරම් වගකීමෙන් සිටියත් ඔහු සාමාන්‍ය ජීවිතයක් ගතකරන සහැල්ලු මිනිසකු විය. ඔහු සුපුරුදු දින චර්යාව වෙනස් කළේ නැත. අසාමාන්‍ය ලෙස නිදි මැරුවේ වත් වෙනත් කටයුතු කැප කළේ වත් නැත. අයවැයේ වැඩ යැයි කියමින් උත්සව හෝ නිල සාකච්ඡා මෙන්ම ප්‍රියසම්භාෂණ මගහැරියේ ද නැත. කොටින්ම කියනවා නම් ඔහු වෙනදා සේ සියල්ලම කළේය.

හොඳම උදාහරණය පසුගිය සතිය පුරාම ඔහු විවිධ උත්සව හා ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීම ය. පසුගිය සෙනසුරාදා හවස රනිල් වෙනුවෙන් ඔහුට හිතවත් නීතිඥ කණ්ඩායමක් සංවිධානය කළ ප්‍රිය සම්භාෂණයක් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්විණි. සැබවින්ම එය පැවැත්වුණේ නීතිඥයෙක් හැටියට දිවුරුම් දී රනිල් වික්‍රමසිංහට අවුරුදු පනහක් පිරීම නිමිති කොට ගෙනයි.

සැබැවින්ම මෙය මතක ඇති කාලෙක සංවිධානය වූ නීති ක්ෂේත්‍රයේ විශාලතම සාදය විය. ඉහළ නීති විශාරදයන්, ජ්‍යෙෂ්ඨ නීතිඥයන් වූ දේශපාලඥයන්, නීති ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් මෙන්ම ලොකු කුඩා නීතිඥවරුන් දහසකට වැඩි සංඛ්‍යාවක් මේ සඳහා සහභාගි වී සිටියහ. උත්සවයේ පිළිගැනීමේ කතාව කරනු ලැබුවේ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා විසිනි. ඉන් පසුව තිලක් මාරපන රොමේෂ් ද සිල්වා, ෆයිසර් මුස්තාපා ආදී ප්‍රමුඛ නීතිවේදීන් ද උත්සව සභාව ඇමතූ හ.

“ජනාධිපති රනිල් මෙහිදී අපූරු කතාවක් කළේය. සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් සහයෝගයෙන් ජීවත්වන එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට සියලු භේද පසෙකලා මුල්තැන දී කටයුතු කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය. ඒ සඳහා අප සියලුම දෙනා එක්ව ළඟ ළඟ එන 75 වන නිදහස් සමරුවේ දී රටට අලුත් ආදර්ශයක් ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ ප්‍රකාශයෙන් පෙන්නුම් කළේ ඉදිරි වසරේ පෙබරවාරියේ පැවැත්වෙන නිදහස් උත්සවය කෙබඳු මුහුණුවරක් ගනු ලබයි ද කියා දැකිය අනාවැකියක් බව පැහැදිලි විය. උත්සවයේ සංවිධායකයන් මෙහිදී ඉතා වටිනා කටයුත්තකට මුල පිරීය. නීති ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබන අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක් සඳහා රුපියල් මිලියන 5 ක වටිනාකමින් යුත් චෙක්පතක් ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

උත්සවයේ නිල කටයුතු අවසන් වූ වහාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම වෘත්තීය සගයන් අතරට ගියේය. තරුණ නීතිඥවරු හා සමාජයේ නීති ක්‍රියාකාරීන් ඔහු වටකරගෙන සුබපතන්නට වූහ. ඇතැමුන් උත්සාහ කළේ ජනාධිපතිවරයා සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගන්නට ය. ඒ අවස්ථාවේදී රුවන් විජයවර්ධන මහතා ළඟට පැමිණි නීතිඥ පිරිසක් නෝක්කාඩුවක් කීවේය…

“බලන්නකෝ නායකතුමා.. අපේ ජනාධිපතිතුමා ළඟට දැන් අපිට කිට්ටු වෙන්නවත් බෑ. දැන් මේ ඔක්කොම එයාව වට කරගෙන ඉන්න පහුගිය දවස්වල එයාට විරුද්ධව හිටපු අය. අර බලන්න අර ගොල්ල ඔක්කොම අරගලයේ ඉඳන් රනිල් ගෝ හෝම් කියපු අය.”

“අන්න ඒක තමයි අපේ නායකතුමා ලබපු ලොකුම ජයග්‍රහණය. විරුද්ධව හිටපු කණ්ඩායම් දිනාගැනීම. මතක තියාගන්න එතුමා ලෝයර් කෙනෙක් විතරක් නෙවෙයි දේශපාලනඥයෙක්…” රුවන් සිනහවෙමින් එසේ කියද්දී එතන සිටි තවත් අයෙක් මෙසේ කීවේය.

“ඔව් ඉතින්.. අරගලයත් ඔබතුමාලගේ නායකයාගේම වැඩක් කියලානෙ සමහරු කියන්නේ.” රුවන් ඊට සිනාසුණා මිස මොනවත් කියන්න ගියේ නැත.

වෙනම කණ්ඩායමක් ලෙස සිටි අරගලකරුවන් පිරිසක් සමග රනිල් කතා කළේය. “අපිට දැන් තියෙන්නේ ඔක්කොම එකට එකතුවෙලා මේ වැටිල තියන රට ගොඩනඟන්න. මට ඒකට මේ රටේ උගතුන්ගේ සහාය ඕන”

රනිල් එසේ කියද්දී වජිර කීවේ “මෙතන ඉන්නේ ඔක්කොම විශ්වවිද්‍යාල මට්ටමේ උගත්තු. මතක තියාගන්න මෙතුමා තමයි ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකින් ඉගෙනගෙන බිහිවෙච්ච ලංකාවේ එකම ජනාධිපති” ජනාධිපති රනිල් ඒ අයුරින් එම සාදයේ බොහෝ වේලාවක් රැඳී සිටීමම විශේෂත්වයකි. අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව දෙවන වර කියවීමේ විවාදය හා කාරක සභා අවස්ථාවේ විවාදය මාසයකට ආසන්න කාලයක් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ මෙතෙක් සිටි ජනාධිපතිවරු අයවැයකට පැමිණ ඇත්තේ විශේෂ අවස්ථාවල වරක් හෝ දෙවරක් පමණි. එහෙත් රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා ලෙසත් ජනාධිපති නිසා ඒ විවාදය පැවති මුළු කාලය පුරාම පාර්ලිමේන්තුවට පැමිණ විවාදවලට සහභාගිවීම මේ රටේ පළමු වරට සිදු වූ විශේෂත්වය විය. ඔහු සෑම විවාදයකටම සහභාගි විය.

පසුගිය සඳුදා පාර්ලිමේන්තු පැමිණි රනිල් අයවැය විවාදවලට සම්බන්ධ වූවා පමණක් නොව, සිය නිල කාර්යාලයේ කාර්ය කටයුතුවලටද සහභාගි විය. එදින හවස ඔහුට තවත් සාදයකට යන්නට ආරාධනා තිබිණ. එම සාදයත් නීතිඥ වෘත්තියට අවුරුදු 50 පිරූ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් වෙනුවෙනි. ඔහුද කොළඹ විශ්වවිද්‍යාලයේදී රනිල්ගේ පංති සගයෙකි. ඒ අනෙකෙකු නොව, හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වාය. එම උත්සවයට ද අගවිනිසුරු ජයන්ත ජයසූරිය නීතිපති ඇතුළු නීති ක්ෂේත්‍රයේ ඉහළ උගත්තු ලොකු පිරිසක් සහභාගි වී සිටියහ.

බැසිල්ගේ සමීක්ෂණයේ
ස ජ බෙ, ජ වි පෙ ඉදිරියෙන්

අයවැය විවාදය මොනතරම් උණුසුම් වුවත් ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ මූලික අවධානය යොමු කළේ විවාදවලට සම්බන්ධ වීමට නොව, මේ දිනවල රට පුරා පවත්වන ඔවුන්ගේ විශේෂ සම්මන්ත්‍රණවලට සහභාගි වන්නටය.

පහුගිය දිනක ගාල්ලේ පැවති විශේෂ සම්මන්ත්‍රණය රැලියක් තරමට සෙනඟ එක්රොක් වූ ඔවුන්ගේ ඓතිහාසික රැලියක් වූහ. ඊට අති විශාල සෙනඟක් එක්රොක්ව සිටියහ. මේ තත්ත්වය පිළිබඳ එක්තරා විග්‍රහයක් පසුගිය දිනක බැසිල් රාජපක්ෂ කළ පුළුල් ජනතා සමීක්ෂණයෙන්ද හෙළිදරව් වී තිබිණි.

ඔහු මෙම සමීක්ෂණය කර තිබුණේ ඇමෙරිකාවේ සිටින කාලය තුළ මේ රටේ ඒ ඔහුට සම්බන්ධ විශ්වවිද්‍යාල උගතුන් හා සමාජ විද්‍යා සමීක්ෂණ කිරීමේ කණ්ඩායමක් යොදවා ගෙනය. දිවයිනේ සියලු පළාත් ආවරණය වන සේ දස දහසක නියැඳියක් තෝරා ගෙන කරන ලද මෙම සමීක්ෂණයේ ප්‍රතිඵලය හෙළිදරව් කළේ පසුගිය සෙනසුරාදා ය.

ඒ අනුව මේ රටේ දේශපාලනයේ පුළුල් ජන සහභාගිත්වයක් ඇති ජනබලවේග තුනක් හඳුනාගෙන තිබිණි. කවුරු මොනවා කීවත් ඒ අතරින් එකක් වූයේ සමගි ජනබලවේගයයි. අනිත් එක තවමත් පොහොට්ටුවයි. තුන්වැන්න දකුණේ පුරෝගාමී ජන සහභාගිත්වයකින් යුතුව නැඟී එන ජාතික ජනබලවේගය යි.

බොහෝ දේශපාලන නිරීක්ෂකයන් කල්පනා කළේ බැසිල් වැන්නෙකු ලෝභ නැතුව මෙහි ප්‍රතිඵල සමගි ජනබලවේගයට හා ජාතික ජනබලවේගයට වාසිදායක ලෙස ප්‍රසිද්ධ කළේ මන්ද කියාය. කෙසේ වෙතත් බැසිල් පසුගිය දිනවල සැලසුම් කළේ වෙනත් ගමනක් යෑම සඳහාය. ඔහු පක්ෂය සූදානම් කළේ ඕනෑම වෙලාවක පවත්වන ඕනෑම මැතිවරණයක් සඳහා ය.

පසුගිය කාලය මුළුල්ලේම බැසිල්ලාට ඕනෑ තරම් දේශපාලනික සතුරන් මේ රටේ සිටිනා බව තහවුරු විය. අරගලය ඔවුන්ගේ ය. අරගලයේ ඇතුලේ ජවිපෙ, සජබෙ, පෙරටුගාමීන්, එජාප බලවේග, කතෝලික පල්ලිය, දෙමළ මුස්ලිම් කණ්ඩායම් ආදී කවරක් සිටියත් සියලුම බලවේග ඡන්දවලදී වෙන්වී සීසීකඩ යන බව බැසිල් ගණන් හැදුවේය. එහෙත් පොහොට්ටුව සමග සිටි බලවේගය තනි බලවේගයකි. එදා හැට නම ලක්ෂයක් ලබා ගන්නට පොහොට්ටුවට සවියක් වූ ඇතැම් කණ්ඩායම් වර්තමානය වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව ස්වාධීනව සිටියත් පොහොට්ටුව තවම කුඩා වී නැති බව පෙන්නන්නට ඔහුට අවශ්‍ය විය.

ඔහු පැහැදිලිවම ජනමත සමීක්ෂණයක් පවත්වා කරනු ලැබ ඇත්තේ එය විය හැකිය. විපක්ෂය අරගලයේ දී එකට සිටියත් ඡන්දයකදී බෙදී වෙන්වී යන බැවින් අවසන් ප්‍රතිඵලය දුර්වලය. එහෙත් මේ වන විට පොහොට්ටුවෙන් බෙදී වෙන්වී යා හැකි පිරිස් වෙන්ව අවසන්ය. දැන් ඉතුරු වී ඇත්තේ සැබෑ පොහොට්ටුවයි. ඉදිරියේදී එන ඕනෑම ඡන්දයකදී මෙම ඡන්ද එක මිටට පොකුරට එක පෙට්ටියට වැටෙන බව ඔහු ගණන් හැදුවේය.

ඒ අනුව ඔහුගේ මතය වූයේ ඉදිරි මැතිවරණයකදී සටන් වදින විශාලතම පක්ෂය පොහොට්ටුව බවකි. කිසිදු මැතිවරණයකට බිය විය යුතු නැති බව ඔහුගේ මතය විය. විපක්ෂය දැන් ඉල්ලන්නේ ඡන්දයක් නම් ඒ ඕනම ඡන්දයකට තමන් සූදානම් බව බැසිල් ගණන් හදා පෙන්වා කීවේය.

ඉන් පසුව ඔහු පොහොට්ටුවේ බලවේග වෙන වෙනම හමුවන්නට පටන් ගත්තේය. කවදත් ඔහු සටනක් ආරම්භ කළේ පළාත් පාලන ආයතන මට්ටමෙන් පාක්ෂිකයන් සංවිධානය කරමිනි. ඒ අනුව පසුගිය සතිය පුරාම ඔහු කළේ පළාත් මට්ටමින් පළාත්පාලන ප්‍රධානීන් හා දිස්ත්‍රික් දේශපාලන මෙහෙයුම් ප්‍රධානීන් නෙළුම් මාවත කාර්යාලයට ගෙන්වා සාකච්ඡා පැවැත්වීමයි…

එවන් අවස්ථාවකදී මෙන්න මෙහෙමත් කතාබහක් ඇති වුණි.

“සර් අපි ඡන්දෙකට බය නෑ. අපිත් එක්ක ගමේ මිනිස්සු ඉන්නවා. ඒ වුණාට අපේ පළාත් පාලන ආයතනවල නිල කාලයෙන් අවුරුදු දෙකක් යහපාලන ආණ්ඩුවට යට වුණා. ඉතිරි අවුරුදු දෙක කොවිඩ්වලට යට වුණා. ඒ හින්ද ඡන්දයකට ලෑස්ති වෙන්න අපට තව ටික කාලයක් ඕන..”

ගාල්ලේ රැස්වීම මධ්‍යයේ මේ කතාව කීවේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිය.

“ඒක මම පිළිගන්නවා. මම කියන්නේ නෑ ඡන්දයකට යමු කියලා. හැබැයි ඉතින් විපක්ෂය ඡන්දයක් ඉල්ලනවා. බොරුවට වෙන්න ඇති. ඒකට කමක් නෑ. කොයි වෙලාවක හරි ඡන්දය තියපුවාවේ. අපි කෝකටත් සූදානමින් ඉමු.”

මෙහිදී බැසිල් තවත් විශේෂ කරුණක් හෙළිදරව් කළේය…

“ඕගොල්ලන්ට මම හොඳ කතාවක් කියන්නම්.

ගියපාර මම ඕගොල්ලන්ගේ පළාත් පාලන ඡන්ද සැළසුම් කළේ මීටත් වඩා අමාරු වෙලාවක. මතකයිනෙ මෛත්‍රී මට තර්ජනය කරපු හැටි. වෙනම පක්ෂයක් හැදුවොත් මාව පාර දිගේ ඇවිද්දනවා යි කිව්වා. තනියම ඉල්ලලා දිනන්න බැහැ කිව්වා. අන්තිමට මොකෝ වුණේ. අපි කොට්ඨාශවලින් 71%ක් දින්නා.

අන්තිමේ මෛත්‍රීත් මහ ඡන්දෙට ඉල්ලුවේ පොහොට්ටුවෙන්. නාම යෝජනා අත්සන් කළාට පස්සේ එතුමාට ලොකු බයක් තිබුන එයාගේ නම පොහොට්ටුවෙ කවුරුහරි ටිපෙක්ස් කරල දායි කියලා. මම කිව්වා බය වෙන්න එපා ඒක මම බලාගන්නම් කියලා. අන්තිමේ මම එහේ ලැයිස්තුව පොළොන්නරුවෙ කාගෙවත්ම අතට නොදී හෙලිකොප්ටරයක් හයර් කරලා සාගරයි,

කැටගොඩයි යැව්වා පොළොන්නරුවට නාම යෝජනා භාර දෙන්න.

ඔන්න ඔහොමයි මම එදා එයාට කළේ අද මට ඔය එක එක සත්තුන්ගේ නම් කියලා බැන්නට ….” දේශපාලනය සම්බන්ධයෙන් හා යම් යම් පුද්ගලයන් සම්බන්ධයෙන් වැසී ගියේ ඇති කලකිරීම ඒ අවස්ථාවේ ඔහුගේ ඉරියව්වලින් ප්‍රකට විය. ඔහු තරමක් සංවේදී විය.

● අරගලෙන් පසුව ගෝඨා එළියට…

මේ දිනවල ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට පාටිවලින් අඩුවක් නැත. ඉකුත් සතියේද ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී භෝජන සංග්‍රහයක් පැවැත්විණ. පසුගිය අඟහරුවාදාත් බත්තරමුල්ල ප්‍රදේශයේ සුපිරි හෝටලයක ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පැවැත්විණ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සංසදය විසින් මෙම භෝජන සංග්‍රහය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා වන සියලුම බරපැන දරා තිබුණේද එම මන්ත්‍රී සංසදයමය. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මැති ඇමැතිවරුන් සියයකට ආසන්න පිරිසක් සහභාගිවී ඇත. කිහිප දෙනකු කලින් යොදාගත් වැඩකටයුතු හේතුවෙන් මෙයට සහභාගි නොවූවද මුදලින් දායකත්වය ලබාදී තිබුණි.

මේ සඳහා මැති ඇමැති බිරින්ඳෑවරුන්ටද ආරාධනා කර තිබුණි. ඒ අනුව ඇමැති ප්‍රසන්න, නිමල් ලාංසා ඇතුළු කිහිප දෙනෙක්ම තම බිරිඳත් සමඟ මෙයට සහභාගි විය. රාත්‍රී 7.00 ට පමණ ආරම්භ වූ මෙම සුහද හමුව මැදියම වනතුරුත් ජයටම පැවැත්වුණ අතර දේශපාලන ලෝකයේ රස කතාවලින් මෙන්ම ගී ගායනයෙන් හා නර්ථනයෙන්ද වර්ණවත් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ට අමතරව තවත් විශේෂ අමුත්තෙක් මේ සඳහා සහභාගි වීම විශේෂත්වයකි. එම අමුත්තා අන් කවරකුවත් නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඉකුත් ජූලි මස 9 වැනිදා ජනාධිපති ධුරයෙන් ඉවත්ව ගිය පසුව ආණ්ඩු පක්ෂයේ කිසියම්ම හෝ වැඩකටයුත්තකට ඔහු සහභාගිවූ පළමු අවස්ථාව මෙයයි.

මෙම සුහද හමුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුව පැමිණි අතර අනතුරුව පැමිණියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ඔවුන් දෙදෙනා ඉතාම ගෞරවයෙන් යුතුව පිළිගත්හ. සාදයට සහභාගිවූ සියලුම මැති ඇමැතිවරුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ සුහද කතාබහක නිරතවනු දක්නට ලැබුණි. ජනාධිපතිවරයාත්, හිටපු ජනාධිපතිවරයාත් සුහද කතාබහක නිරත විය.

ඔවුන් දෙදෙනාට එකම තැන ආසන සූදානම්කර තිබූ අතර ඒ අසල අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, සභානායක සුසුල් ප්‍රේමජයන්ත, චමල් රාජපක්ෂ වෙනුවෙන් අසුන් පනවා තිබුණි.

“ඔබතුමා මේකට ආපු එක ලොකු දෙයක්” ඇමැති ප්‍රසන්න හිටපු ජනාධිපතිවරයාට කීය.

“ඔයා කලින් වගේම හොඳට වැඩටික කරගෙන යනවා. ඉස්සරහටත් ඔය විදියට වැඩ කරන්න”

ගෝඨාභය හිටපු ඇමැතිවරයා වන ප්‍රසන්නට කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැය භාගයකට ආසන්න කාලයක් රැඳී සිට නික්ම ගියේ වෙනත් වැඩකටයුත්තක් සඳහායි.

● ඩයනා සජබෙට අලුත් නමක් දෙයි…

අයවැයට සජබයෙන් කණ්ඩායමක්ම රැගෙන පැමිණෙනවා යැයි කී රාජිත ඇතුළු පිරිස කවුදැයි බලාගන්නට පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙක් තුළ තිබුණේ දැඩි උනන්දුවකි. එහෙත් රාජිත ඒ ගැන සද්දයක්වත් කළේ නැත. බොහෝ දෙනෙක් ඔහුගෙන් ඒ ගැන අසන්නටවත් ගියේ නැත්තේ ඔහුගේ කට කෙසේදැයි දන්නා නිසාය. කෙසේ වෙතත් අවසාන මොහොතේ ඡන්දය ඔන්න මෙන්න කියා වත් කීප දෙනෙක්ගේ වෙනසක් දකිනු හැකි වෙතයි සමහරු විශ්වාස කළහ.

අයවැය විවාදයේ අවසාන කොටසේ උණුසුම්ම සටන පැවතියේ ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිනිය හා සජබයේ නලින් බණ්ඩාර අතරයි. ඒ වලිය ආරම්භ කළේ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයාය. ඔහු කවුදෝ ගායකයකුගේ සිංදුවක කොටසක් කියමින් පාර්ලිමේන්තුවේ ඉන්නේ බක බක ගානා ගෙම්බන් හා හොඳ ගෙම්බන් බව කීවේය.

ඉන්පසුව කතා කළ ඩයනා ගමගේ මීට උත්තර දුන්නේ විපක්ෂයේ ඉන්න අය ලිං මැඩියන් ලෙස හඳුන්වා දෙමිනි.

“සමහර අය එක එක ලියුම් ගෙනල්ලා, වාර්තා ගෙනල්ලා මගේ පුරවැසිකම ගැන දොඩවනවා. ඒක උසාවියට අයිති කාරණාවක්. නඩුවක් යනවා. මම ඒක ගැන කතා කරන්නේ නෑ. හැබැයි මම එකක් කියන්නම්. මට මේ රටේ පුරවැසි කමක් නැත්තං මගේ නමට ලියාපදිංචි කරපු මගේ පක්ෂයේ ආපු ඔය මන්ත්‍රීවරු 54 දෙනාටම පාර්ලිමේන්තු මන්ත්‍රීකමත් නැති වෙයි. තමුන්නාන්සේලාට ඔතන ඉන්න බෑ. අන්න ඒක දැනගන්න…”

මේ අවස්ථාවේ විපක්ෂයෙන් නොයෙකුත් බාධා කිරීම ඇතිවිය. මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාට තිබෙනවා යැයි කියන ව්‍යාපාරික සම්බන්ධතා හා නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාට තිබෙනවා යැයි කියන අසම්මත ව්‍යාපාර ගැන කියමින් ඩයනා ගමගේ ඔවුන්ට අභියෝග කළේ තමන් නැති දිනවල ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර වැරදි තොරතුරු පාර්ලිමේන්තුවට දුන්නා යැයි කියමිනි.

“කථානායකතුමනි… මම දුන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරියකට එංගලන්ත පුරවැසිකම තියෙනවයි කියලා ආගමන විගමන පාලක නිකුත් කරපු ලිපියක්.”

“ඔබතුමා කොහොමද කියන්නේ මගේ පුරවැසිකම ගැන. ඔබතුමා අධිකරණයක් නෙවෙයි, ඔබතුමා විනිශ්චයකාරයත් නෙවෙයි.” ඩයනා කීවේය.

“තමුන්නාන්සේලා දෙවැනි සංවත්සරය සමරන්න යනවා. තමුන්නාන්සේලා කොහොමද ඒක සමරන්නේ. ඒක මගේ පක්ෂය. ඒක පටන් අරන් අවුරුදු දාහතක් වෙනවා. අපේ ජාතික පෙරමුණ අවුරුදු දාහතක්. ලැජ්ජ නැති නායකයෙක් ඒක සමරන්න හදනවා”

“ගරු කථානායකතුමනි… මේ පාර්ලිමේන්තුවේ පිටස්තර කෙනෙක් ඉන්නවා… ” තුෂාර ඉඳුනිල් කීවේය.

එහෙම කෙනෙක් නෑ කථානායක ලෙස සිටි වීරසුමන මන්ත්‍රීවරයා කීවේය.

ඒ අවස්ථාවේ ඊළඟට කතා කරන්න වාරය එළඹී තිබුණේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාටය.

“ගලි බවුසරයක් ගියාට පස්සේ කතා කරන්න ලැබීම ගැන මම කනගාටු වෙනවා..”

ඩයනා ගමගේ ඊට උත්තර දෙන්නට පටන් ගත්තාය. “ගෙදර ගෑනිගෙන් ගුටි කාලා වත්ත වටේ දුවන මිනිස්සු…. ලෑස්ති වෙලා ඉන්නවා බෝධි පූජා

තියාගන්නවා. ළඟදීම ඔය මන්ත්‍රීකම් ඉවරයි. මම ගෙදර යනවා නම් පනස් හතර දෙනාම ගෙදර.

“කථානායකතුමනි බීමත් කාන්තාවක් පාර්ලිමේන්තුවේ කෑගහනවා… මේක රීති ප්‍රශ්නයක්” තුෂාර ඉඳුනිල් තවදුරටත් කීවේය.

“තමුන් ඉන්නේ මගේ පක්ෂයේ. මගේ පක්ෂය අපේ ජනතා පෙරමුණ. සමගි ජනබලවේගය නෙවෙයි. ඕක සජිත් ජලනි බලවේගය. මාව වට්ටන්න හැදුවා. මම වැටෙන්නෙ නැහැ.”

● ගලි බවුසර් හා ටිපර් හැප්පිලා

ඉන් පසුව නලින් බණ්ඩාර උත්තර දුන්නේ පාර්ලිමේන්තු සංවාදයක් ලෙස පාසල් ළමුන්ට සවන් දිය නොහැකි අන්දමේ වාක්‍ය යෙදුම් පාවිච්චි කරමිනි. ඊටත් වඩා දරුණු වාක්‍ය යෙදුමකින් ඩයනා ඊට උත්තර දුන්නෙ මරදාන මරිය කඩේ සැර පරුෂ එළවළු වෙළෙන්දියක් කතා කරන භාෂාවක් උසුරුවමින් ඒ හා සමාන හැසිරීමකින් යුතුවය.

ඒ සමගම ඕ අසභ්‍ය හස්ත මුද්‍රාවකින් නලින්ට උත්තර දුන් අතර නලින් ඊටත් වඩා එහා ගිය මුද්‍රාවකින් තම දිව ද එළියට දමමින් අභිරූපන රංගනයකින් යුතුව උත්තර දුන්නේය.

“ගලි බවුසර් එන්න එපා අපිත් එක්ක හැප්පෙන්න. අපට රිදෙන්නෙ නෑ. මොකද අපි ටිපර්…” නලින් කීවේය.

කෙසේ වෙතත් මෙහිදී ඩයනා ගමගේගේ ස්ත්‍රීත්වය බරපතළ ලෙස පාර්ලිමේන්තුවේ අපහාසයට ලක් වූ බව පැහැදිලිය. එහෙත් ස්ත්‍රීන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් බොහෝ සේ විරුද්ධව කතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවක්ම ඒ පාර්ලිමේන්තුවේ සිටියත් එක් කෙනෙක්වත් කටක් ඇර කතා නොකිරීම මොනතරම් ඛේදජනකද. රූපවාහිනි දර්ශනවල නලීන් බණ්ඩාර කතා කරන අවස්ථාවලදී අප දුටුවේ කාන්තාවන් වෙනුවෙන් නිතර කතා කරන රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය නලින්ට පිටුපසින් සිට ආශ්වාදයෙන් යුතුව සිනහ වෙමින් සිටින ආකාරයයි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment