විපක්ෂය බලය ඉල්ලයි!

413

මේ ගෙවී යමින් තිබෙන්නේ මුළුමහත් රටටම අසීරු කාල වකවානුවකි.

රටේ ජනතාව කොරෝනා උවදුරින් පසුව යාන්තමින් හිස ඔසවා හුස්මක් කටක් ගන්නට පටන් ගත්තා පමණි. ආර්ථික අර්බුදය කොවිඞ් අර්බුදයටත් වඩා ප‍්‍රබල ලෙසත් බරපතළ ලෙසත් ජන ජීවිතය පෙළා දමන්නට පටන් ගත්තේය.

සැබවින්ම හර්ෂ ද සිල්වා ආචාර්යතුමා පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී කියූ කතාව නිවැරදිය.

‘‘මේ රටේ ඞීසල් නෑ… පෙට‍්‍රල් නෑ… ගෑස් නෑ… ලෙඩකට බේත් නෑ… මේව ගන්න ඩොලර් නෑ. ඒක හින්ද රටටම ලයිට් නෑ…”

යනාදී වශයෙන් ඔහු දිගින් දිගටම කියාගෙන ගිය කතාව සත්‍යයක් බව අත්දකිමින් සිටින තවත් දින කිහිපයක් ගෙවී ගියේය.

මේ සියලූ පීඩන මැද ජන ජීවිතය අබල් බබල්ව යද්දී ආණ්ඩුවටත් කරකියාගත හැකි කිසිවක් නොවීය. කුමන හෝ ක‍්‍රමයකින් ඩොලර් ටිකක් හොයා ගැනීම හැර මේ අර්බුදයෙන් ගොඩ එන්නට වෙනත් විසඳුමක් ආණ්ඩුවට ද නොවීය. එහෙයින් පසුගිය සතිය තුළ ආණ්ඩුවේ අවධානය වඩාත් යොමු වී තිබුණේ රටට බලපා ඇති මෙම ඩොලර් අර්බුදය ජය ගන්නට අවශ්‍ය විසඳුම් සෙවීම සඳහාය.

  • ඩොලර් නැතිකමෙන් රටම අභියෝගයක….

ඩොලර් හිඟය හැම ක්ෂේත‍්‍රයක්ම කඩා වට්ටන්නට හේතුවක් වූහ. එක් අතකින් සංචාරක කර්මාන්තය වැනි රටට ඩොලර් ලැබෙන ආදායම් මාර්ග ඇද වැටෙද්දී අනිත් අතින් විදේශවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයන්ගේ පේ‍්‍රෂණ විවිධ කාරණා නිසා නොලැබී යන තත්ත්වයක් ඇති විය. විදේශ පේ‍්‍රෂණ රාජ්‍ය බැංකු ආධාරයෙන් නොඑවා උණ්ඩියල් වැනි නීති විරෝධී ක‍්‍රම මගින් එවැන්නැයි කියා විදේශයන්හි සිටින ශ‍්‍රී ලාංකිකයන්ට උපදෙස් දෙන ව්‍යාපාර වලද විපක්ෂයේ යම් යම් දේශපාලන කණ්ඩායම් නිරතව සිටි බවත් රහසක් නොවේ. කෙසේ වෙතත් ඒ හැම දේකින්ම සිදු වූයේ රටේ ඩොලර් සංචිතය බිඳ වැටීමය.

ඩොලරය සෑම දෙයකටම තීරණාත්මක සාධකයක් විය. තවදුරටත් ඩොලරය මහ බැංකුවේ විනිමය අනුපාතවල රඳවා තබා ගන්නට නොහැකි වූ තැන වෙළෙඳපොල සාධක මත තීරණය වන්නට රුපියල අතහැර දමන්නට මහ බැංකුවට සිදුවිය.

සතියක් තුළ සියල්ල විශාල පරිවර්තනයකට ලක් විය. මහ බැංකුව මුලදී ඩොලරයට රුපියල් 230 ක මිලක් නියම කළ අතර ඒත් සමගම තවත් වරක් රුපියල පහළ දමන්නට මහ බැංකුවට සිදුවිය.

ආර්ථිකය මහා විසල් පරිවර්තනයකට ලක් වූයේ එසේ රුපියල පහත වැටීමත් සමග ය.

ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි තීන්දු කීපයක්ම ගන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිදු විය. ඔහු ඒ සම්බන්ධයෙන් මුදල් ඇමැති, අගමැති, මහ බැංකුවේ අධිපති ඇතුළු මහ බැංකුවේ නිලධාරීන් මෙන්ම රජයේ ආර්ථික උපදේශකයන් රැසක් සමඟ දිගින් දිගටම සාකච්ඡා කළ සතියක් ලෙස පසුගිය සතිය වාර්තා විය.

පසුගිය සතිය තුළ ජනාධිපතිවරයා ගේ අවධානය වැඩිපුර යොමු වූ කාරණය වූයේ ඉන්ධන අර්බුදයයි. ඉන්ධන අර්බුදය විසඳා ගැනීම සඳහා වහාම අපගේ මිත‍්‍ර රටවල් සමග සාකච්ඡා කර කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් වලට ඉතා ඉක්මනින් රජය එළඹිය යුතු බව ජනාධිපතිවරයා ගේ අදහස විය. මේ සම්බන්ධයෙන් ඔහු මුදල් ඇමැතිවරයාටත් මහ බැංකුවේ අධිපතිවරයාටත් සෙසු නිලධාරීන්ටත් අවශ්‍ය උපදෙස් දුන්නේය. වහාම ඉන්ධන නිපදවන රටවල් සමග සාකච්ඡා කර තීන්දු තීරණ ගන්නැයි ඔහු කීවේය.

පසුගිය සඳුදා (14දා) ජනාධිපතිවරයා ඒ අනුව සවුදි රාජ්‍යයේ දූත පිරිසක් සමඟ සාකච්ඡා කළේය. සවුදි විදේශ අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් හතර දෙනකුගෙන් යුත් දූත පිරිසක් සඳුදා උදේ මේ සාකච්ඡා ව සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටියහ.

සාකච්ඡා වේදී කතාබහට ලක්වූ කරුණු අනාවරණය නොවුවත් ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තුව සිටියේ රට මුහුණ පා සිටින ඉන්ධන අර්බුදය පිළිබඳ කරුණු ය. කෙසේ වෙතත් එය අර්ථවත් සාකච්ඡා වක් වූ බව පැහැදිලි විය. ඊට හේතුව දෙපාර්ශ්වයම ඒ සඳහා බොහෝ කල් වේලා ගත කළ බැවිනි. මෙම සාකච්ඡා ව හේතුවෙන් එදින දහවල් 1130 ට පවත්වන්නට යෙදී තිබුණු ආර්ථික සභාවේ වැඩකටයුතු ද පස්සට ගන්නට සිදුවිය.

  • ආර්ථික සභාව

අද රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජයට උපදෙස් දීමට විශේෂ ආර්ථික උපදේශක සභාවක් පත් කරන්නට ජනාධිපතිවරයාට අවශ්‍ය විය. ජනාධිපති අගමැති හා මුදල් ඇමැති සාකච්ඡා කර පසුගිය සතියට පෙර සතියේ එම කමිටුව පත්කළ අතර එහි ප‍්‍රථම රැස්වීම කැඳවා තිබුණේ සඳුදා උදේ 11.30 ට ය. සෞදි විදේශ අමාත්‍යවරයාගේ හමුව හේතුවෙන් එය මඳක් ප‍්‍රමාද විය.

කෙසේ වෙතත් ඒ සඳහා ජාතික ආර්ථික සභාවේ සාමාජිකයන් කල්වේලා ඇතිව පැමිණ මඟ බලා සිටියහ.

ජනාධිපතිවරයා පත්කළ එම ආර්ථික සභාවට බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ඩග්ලස් දේවානන්දා, රමේෂ් පතිරණ, බැසිල් රාජපක්ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අයත් වූහ. ඊට අමතරව මහ බැංකුවේ අධිපතිවරයාද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද එම කමිටුවට අයත් වූහ.

පෙර පැවති සාකච්ඡා ව නිමා වී ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ සඳහා පැමිණියේ එකටය. ජනාධිපතිවරයාගේ සිනා පිරි මුහුණෙන්ම ඊට පෙර පැවැති සාකච්ඡා ව සාර්ථක වී ඇති බව ආර්ථික සභාවේ සාමාජිකයන්ට අවබෝධ වූහ.

මොනවද අලූත් දේවල් තියෙන්නෙ කියා අසමින්ම ජනාධිපතිවරයා සාකච්ඡා වට සූදානම් විය.

මුලින්ම ජනාධිපති කළේ රට අද මුහුණ පා තිබෙන අර්බුදය ගැන සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කිරීමය.

‘‘මම මේ රට භාර ගත්තට පස්සේ අපට ජාතියක් හැටියට ලොකු ඛේදවාචකයන් කීපයකටම මුහුණ පාන්න සිදුවුණා. ගෝලීය වශයෙන් පැතිර ගිය කොවිඞ් අර්බුදයේ නරක බලපෑම අපේ රටට තදින් දැනෙන්න වුණා. ඒකෙන් රටත් ජනතාවත් බේරගන්න එක් පැත්තකින් අපිට මහන්සි වෙන්න වුණා වගේම තවත් පැත්තකින් විශාල මුදල් සම්භාරයක් වියදම් කරන්න වුණා.

ඒ අතරේ අපි ඉලක්ක කරගෙන හිටපු ආදායම් අපට ලැබුණේ නෑ. ඒ වගේම අපි අපේක්ෂා නොකරපු වියදම් දරන්න සිදු වුණා.

කොටින්ම කියනවා කියනවා නම් අපිට ආදායමට වඩා විශාල වශයෙන් වියදම වැඩි වුණා. අපි ආනයනයන් වලට ඩොලර් බිලියන 22ක් පමණ වියදම් කරනවා. නමුත් අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12ට වඩා වැඩිවුණේ නැහැ. අපට වාර්ෂිකව ඩොලර් බිලියන 10 ක විතර හිඟයකට මුහුණ පාන්න වුණේ එහෙමයි. අපට අපේ විදේශගත ශ‍්‍රමිකයන් එවන පේ‍්‍රෂණ ටික හරියාකාරව ලැබුණ නම්, සංචාරකයන් පැමිණිලා අපි අපේක්ෂා කරපු ඩොලර් බිලියන පහක හයක ආදායම ලැබුන නම් අපට මේ වගේ අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ”

  • ජනපතිගේ කතාව බන්දුලට වරදියි…

ජනාධිපතිවරයා මෙහිදී තවත් සංඛ්‍යා ලේඛන රාශියක් ගැන විස්තර කියාගෙන කියාගෙන ගියේය. ඔහු නිලධාරීන්ට හා දේශපාලනඥයන්ට කීවේ තමන්ට මෙහිදී යම් සංඛ්‍යා ලේඛනයක් වැරදී ඇත්නම් එය නිවැරදි කරන ලෙස ය.

ඒ අතර ජනාධිපතිවරයා වට පිට බලන විට ජනාධිපති මාධ්‍ය අංශයේ නියෝජිතයන් කිහිප දෙනෙක් එහි සිටිනු දුටුවේය.

‘‘ ඕගොල්ලා මේ මම කියපු දේවල් ටේප් කරේ නෑ නේද… මේවා ටේප් කරන්න එපා…”

ජනාධිපති ඒ කතාව කිව්වේ ජනාධිපති මාධ්‍ය අංශයේ අයට වුවත් බන්දුල ගුණවර්ධන එය තේරුම් ගත්තේ තමන්ට කියූ දෙයක් හැටියට ය. ඔහුගේ අතේ දුරකථනය ද තිබිණි.

‘‘නෑ නෑ සර්…. මම ටයිප් කළේ නෑ…” බන්දුල කලබලයෙන් එසේ කියමින් දුරකථනයද මේසේ මත තැබුවේය.”

ඔහු එය කියූ ආකාරයට සියල්ලන්ටම හිනා ගියේය…

‘‘නෑ නෑ බන්දුල කලබල වෙන්න එපා. මම බන්දුලට නෙවෙයි කිව්වේ. ඔයාට ඕනනං ටේප් කර ගත්තට කාරියක් නෑ…”

මාධ්‍ය අංශයේ නිලධාරීන් ඒ මොහොතේ එලියට ගිය අතර සාකච්ඡා ව දිගින් දිගටම පැවතියේය.

රුපියල පා කිරීම, ඩොලරය පාලනය කිරීම, රටට ගෙන එන අනවශ්‍ය භාණ්ඩ සීමා කිරීම, විදේශ පේ‍්‍රෂණ රාජ්‍ය බැංකු හරහා ගෙන්වාගැනීම දිරිමත් කිරීම, ආයෝජන වැඩි දියුණු කිරීම හා ඒවාට පහසුකම් සැලසීම, දේශීය නිෂ්පාදනය වැඩි කිරීම සංචාරක ව්‍යාපාරය දිරිමත් කිරීම හා සංචාරකයන්ට පහසුකම් සැලසීම ආදී කරුණු ගැන දීර්ඝ වශයෙන් මෙහිදී කරුණු සාකච්ඡා වූ බව සැල විය. ඒ අතර ඉන්ධන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගතයුතු කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන පියවර ගැන ද කරුණු බොහෝ ගැඹුරින් මෙහිදී සාකච්ඡා වට ලක් විය. ජාතික ආර්ථික සභාවේ වැඩ කටයුතු ඉවර වී සාමාජිකයන් විසිර යන විට හවස තුන ද පසු වී තිබිණි.

ඒ අතර පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ තවත් කරුණක් වූයේ ඉන්ධන අර්බුදය හේතුවෙන් රට පුරා තැනින් තැන මතු වී තිබෙන උද්ඝෝෂණ යි. බොහෝ විට මෙම උද්ඝෝෂණ ජනතාව අතරින් පැනනගින ඒවාට වඩා සංවිධානාත්මක ලෙස යම් යම් පිරිස් යොදවා තැන තැන ඇති කරන උද්ඝෝෂණ බව ජනාධිපතිවරයාට වාර්තා විය. සමහර තැන්වල ජනතාව නීතිය අතට ගෙන කටයුතු කරන ආකාරය ගැන ද තොරතුරු තිබිණි. ගෑස් නැතැයි කියා ගෑස් සඟවා ඇති තැන්වලට බලහත්කාරයෙන් ඇතුළුවී ගෑස් ලබා ගැනීම්

ගැනද වාර්තා වී තිබිණි. ඉන්ධන පෝලිම්වල දී පොලිස් නිලධාරීන්ට පවා අභියෝග කරමින් ඇතැම් පිරිස් කළහකාරී ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ පට ද ගණනාවක් ගැන ජනාධිපතිවරයා ගේ අවධානය යොමුව තිබිණි. ජනපතිවරයා පොලිසියට හා ආරක්ෂක අංශ වලට දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසය.

විපක්ෂය මෙම අවස්ථාවේදී බොරදියේ මාළු බානා බව නිලධාරීන් පෙන්වා දුන්නේය. ඒ වනවිට සමගි ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ බලවේගවල මෙහෙයවීමෙන් කොළඹට එන විරෝධතා පෙළපාලියක් ගැන ද ජනාධිපතිවරයාට කරුණු වාර්තා විය.

ඇතැම් ආරක්ෂක නිලධාරීන් පෙන්වා දුන්නේ විපක්ෂයේ සැලසුම ජනාධිපති කාර්යාලය හා ජනාධිපති මන්දිරය වටලන්නට ජනතාව පෙළඹවීම බවය.

  • විපක්ෂය බොරදියේ මාළු බානවලූ…

ඉහළ ආරක්ෂක නිලධාරීන්ගේ මතය වූයේ ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු දේශපාලන මර්මස්ථානවලට මෙසේ පෙළපාලිකරුවන් ළඟාවීම වැළකැවිය යුතු බවය.

‘‘නෑ නෑ… උද්ඝෝෂණය කරන එක ජනතාවගේ අයිතියක්. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් නේ. ඒ නිසා ඒ ඒගොල්ලන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව දක්වන විරෝධතාවලට වැට බඳින්න අපට බෑ. හැබැයි එකක් තේරුම් ගත යුතුයි. විරෝධතාවලට ඇවිල්ලා මහජන දේපළවලට හානි කරන්න එයාලට බෑ. ඒකට ඉඩ තියන්න එපා.”

‘‘ඒගොල්ලන්ට ඕන ගැටුමක් ඇති කර ගන්න. ඒ නිසා මහජන දේපළවලට අත තියමින් ගැටුමක් ඇතිකර ගැනීමයි ඒගොල්ලන්ගේ සැලැස්ම” නිලධාරීන් පෙන්වා දුන්හ.

ජනාධිපතිවරයා එහිදී උපදෙස් දුන්නේ හැකි තරම් දුරට ආරක්ෂක අංශ යොදවා මහජන දේපළ ආරක්ෂා කරගන්නට කටයුතු කරනවා මිස පහරදීම් වලට හෝ වෙනත් මර්දන කටයුතු වලට ඉඩ නොතබන ලෙසය. ජනාධිපති කාර්යාලය වටලන්නට පැමිණියත් ඊට ඇතුල් වන්නට ඉඩ නො දෙනවා මිස පහරදී පලවා හරින්නට කටයුතු නොකරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

පසුගිය 15 වැනිදා යල කන්නයේ වගාවන් ගැන සාකච්ඡා කිරීමට විශේෂ සාකච්ඡා වක් ජනාධිපතිවරයා ගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මේ සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් වරු ජනාධිපති ලේකම් ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් පැමිණ සිටි අතර පොහොර නිෂ්පාදකයන් 48 දෙනෙක් ද පැමිණ සිටියහ.

‘‘ජනාධිපතිතුමනි… අද අපි අවධානය යොමු කරලා සාකච්ඡා කරන්නේ යල කන්නයට වගාවන් සඳහා පොහොර බෙදාහැරීම ගැන. පහුගිය මහ කන්නයට රසායන පොහොර නැතුව විශාල වගා හානියක් වෙයි කියලා සමහර අය මැසිවිලි කිව්වා. සමහර ගොවි මහත්තුරු උද්ඝෝෂණ සංවිධානය කළා. ඒත් දැන් මහා කන්නේ අස්වැන්න නෙළලා ඉවරයි. දැන් කාටත් පැහැදිලි අස්වැන්නේ අඩුවක් තියෙනවද නැද්ද කියන එක. අස්වැන්නේ අඩුවක් නොතිබුණා වගේම ගොවියාට වී වලට ඉහළ මිලකුත් ලැබුණා. එහිදී තිබුණා නම් යම් අඩුපාඩුවක් ඒ අත්දැකීම් සහ අඩුපාඩු සපුරා ගෙන අපි දැන් යල කන්නයට ලෑස්ති වෙනවා. කල්වේලා ඇතිව අවශ්‍ය පොහොර ටික බෙදාහරින්න අපි දැන් සැලසුම් කරනවා. ඒ සඳහා අපි රට වටෙන්ම කාබනික පොහොර හා ජෛව පොහොර නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් ගෙන්නලා තියෙනවා. මං හිතන්නේ මට වඩා මේ සැලැස්ම පිළිබඳව දන්නේ අපේ රාජ්‍ය අමාත්‍යතුමා. එතුමා මේක පැහැදිලි කරනවා නම් තමයි හොඳ…”

ඉන්පසුව ශෂීන්ද්‍ර රාජපක්ෂ පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙළ ගැන පැහැදිලි කිරීමක් කළේය.

‘‘අපි මේ පාර රට වටෙන්ම කාබනික හා ජෛව පොහොර නිෂ්පාදනය කරන අයගෙන් පොහොර සැපයීම සඳහා අයැදුම්පත් කැඳෙව්වා. අයැදුම්පත් එකසිය අටක් විතර ආව. අපි එක දිස්ත‍්‍රික්කයකට දෙදෙනා ගානේ අයැදුම්කරුවෝ 48 දෙනෙක් තෝරගෙන තියෙනවා. ඒ 48 දෙනා අපි මෙතැනට ගෙන්නුවා.”

ඉන් පසු ජනාධිපතිවරයා පොහොර නිපදවන ආකාරය හා ඒවා බෙදා හරින ආකාරය ගැන ඔවුන් සමග සාකච්ඡා ව ඇරඹීය. පොහොර නිෂ්පාදකයන් ඒ ඒ පළාත් මට්ටමින් පැහැදිලි කිරීම් කළේය. නිලධාරීන් සහ දේශපාලඥයන් ඒවා බෙදා හරින ආකාරය ගැන ජනාධිපතිවරයාට පැහැදිලි කිරීමක් කළහ.

මෙහිදී ජනාධිපතිවරයා ඒ ඒ දිස්ත‍්‍රික්කවලට තිබෙන පොහොර අවශ්‍යතාව ගැන දිසාපතිවරු සමඟ සාකච්ඡා කළේය. ජනාධිපතිවරයා සූම් තාක්ෂණය යොදා ගනිමින් ඒ ඒ කෘෂිකාර්මික දිස්ත‍්‍රික්කවල දිසාපතිවරු සාකච්ඡා වට සම්බන්ධ කරගත්තේය.

එම සාකච්ඡා ව ඉතා සාර්ථක ලෙස කරුණු හුවමාරු වූ සාකච්ඡා වක් විය. යල කන්නය සඳහා දැන් සිටම වැඩ පටන් ගන්නට ජනාධිපති උපදෙස් දුන්නේය.

  • සජිත් දෙපැත්තකින් කොළඹ වටලයි

පසුගිය සතියේ කාගේත් අවධානයට ලක් වූ දේශපාලන ක‍්‍රියාන්විතය වූයේ සමගි ජනබලවේගයේ විරෝධතා පා ගමනයි.

සජිත් මේ විරෝධතා පා ගමන සංවිධානය කිරීමේ වැඩි වගකීම් පවරා දී තිබුණේ පක්ෂයේ තරුණ මන්ත‍්‍රීවරුන්ටය. ඒ අනුව මරික්කාර්, මනූෂ හරින්, නලින් හා මුජිබර් රහුමාන් එහි වැඩි බරක් කරට ගත්හ.

‘‘ආණ්ඩුව එක්ක කාලයක් ම`ගුල් කාපු කට්ටියක් දැන් එළියට ඇවිල්ලා ‘මහජන විරෝධය‘ හයිජැක් කරලා එයාලගේ අයිතියට ගන්න හදනවා. අපි ඒකට ඉඩ දෙන්න නරකයි.” මනුෂ කීවේය.

‘‘පෙළපාලිය තැන් දෙකකින් පටන් ගමු. එකක් මාලිගාවත්තෙන්. අනෙක පාටි ඔපීස් එක ළඟින්…දෙක එකතු කරගෙන ගෝල්ෆේස් පිටියට යමු.” මරික්කාර් යෝජනා කළේය.

‘‘පුළුවන් තරම් සෙනඟක් එකතු කරගන්න. අපි ගිහින් ජනාධිපති කාර්යාලය වට කරලා දැන් ඉතින් ගෙදර යන්න කියන පණිවිඩය ජනාධිපතිට දෙමු…” සජිත් කිව්වේය. ” විරෝධතා පෙළපාලිය අවසානයේදී පන්දම් පත්තු කරලා අපි විරෝධය පාමු. මේක මාධ්‍ය හරහා ජාත්‍යන්තරයටත් දැනෙන විදියටයි කරන්න ඕන.” හරින් කිව්වේය.

ඒ සියල්ල කතා කර ගත් පසු නායකයෝ විසිර ගියේ පසුදා හවස සැලසුම් කළ පරිදි විරෝධතාව පැවැත්වීම සඳහාය.

කෙසේ වුවත් විරෝධතාකරුවන්ට කොළඹට එන්නට බාධාවක් නැති බව සජිත් කල්තියා දැනගෙන තිබිණි. එහෙත් ජනාධිපති කාර්යාලය අවට රැකවල් ලනු ඇතැයි ඔහු විශ්වාස කළේය.

මාලිගාවත්තෙන් ඇරඹූ පෙළපාලිය මරදාන, කොටුව හරහා ජනාධිපති කාර්යාලය වෙත ඒමටත්, පිටකෝට්ටේ සිට ඇරඹි පෙළපාලිය ටවුන් හෝල්, කොල්ලූපිටිය හරහා ජනාධිපති කාර්යාලය වෙත පැමිණීමටත් අකුරට සැලසුම් කර තිබිණි. චරිත් පැමිණියේ පක්ෂ කාර්යාලයේ සිට පැමිණි කොල්ලූපිටියේ පැත්තෙන් පැමිණි පෙළපාලියේය.

ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි විරෝධතා පෙළපාලිය ඇමතීමට ශබ්ද විකාශන යන්ත‍්‍ර සවි කළ වේදිකාවක් සහිත වාහන දෙකක් ද ගෙනවිත් තිබිණි. සජිත් කතා කළේ එම වේදිකාවට ගොඩ වී ය.

විරෝධතා පෙළපාලිකරුවෝ අවසාන ජවනිකාව තුළ තරමක් කලබලකාරී වූහ. ජනාධිපති කාර්යාලයේ වැට ළඟටම පැමිණ විරෝධය දක්වන්නට ආරක්ෂක අංශ ඉඩ දී තිබිණ. එහෙත් විරෝධතාකරුවෝ ඉන් සෑහීමකට පත්නොවී ආරක්ෂක පවුරු බිඳගෙන ඇතුළට එන්නට බලවත් උත්සාහයක් ගත්හ. සැබැවින්ම ඔවුන්ට අවශ්‍යව තිබුණේ ආරක්ෂක අංශ වෙතින් පහර කෑමට අවශ්‍ය පරිසරයක් සංවිධානය කර ගැනීමට බව පෙනෙන්නට තිබිණ. එහෙත් විරෝධතාකරුවන්ට නියපිටින් පහරක්වත් නොගසන්නැ යි ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබුණි. උපදෙස් අකුරටම පිළිපදින බව පෙනෙන්නට තිබිණි.

අනවශ්‍ය ගැටුමක් සාදා ගැනීමට නොහැකි වූ පෙළපාලිකරුවෝ ඉන්පසුව පන්දම් පත්තු කරන්නට වූහ. පන්දම් පත්තු කළා පමණක් නොව, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මහ පාරේ තැනින් තැන කොහෙන්දෝ ගෙන ආ කසළ සහ ප්ලාස්ටික් බෝතල් දමා ගිනි අවුල වන්නට ද ක‍්‍රියා කළේය.

මෙම සිද්ධිය ඈතට දිස් වූයේ විරෝධතාකරුවන් වත්මන් ජනාධිපති කාර්යාලය හෙවත් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබන්නා සේ ය.

  • උදව් ඉල්ලන්න බැසිල් ඉන්දියාවට…

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පසුගිය අඟහරුවාදා දවල් තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය. ගමනේ ප‍්‍රමුඛ අරමුණ වුණේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ අසල්වැසි ආර්ථික බලවතාගේ සහයෝගය දිනා ගැනීමයි.

ශ‍්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයාගේ නිල සංචාරයට අදාළ සියලූ කටයුතු මෙහෙයවනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධවය. ඊට අමතරව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් එරට ජාතික ආරක්ෂක උපදේශකවරයාත් අදාළ කටයුතු වෙනුවෙන් මැදිහත් විය.

අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට ප‍්‍රාන්ත මැතිවරණ ව්‍යාපාරය නිසා මේ දවස්වල ඉතාම කාර්යබහුලය. එසේ තිබියදීත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂට තමන් හමුවීම සඳහා වෙලාවක් වෙන්කර දී තිබිණි.

වෙලාව දවල් දොළහමාරය. හමුව පැවැති ස්ථානය ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණයේ කාමර අංක 10 ය.

කොවිඞ් වසංගතය සහ අතිරේක හේතු කිහිපයක් මත ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති දුෂ්කර වටපිටාව ගැන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළේය.

විනාඩි 30 කට වැඩි වේලාවක් පැවති මේ තීරණාත්මක සාකච්ඡා වේදී ප‍්‍රධාන තේමා 4 ක් යටතේ ශ‍්‍රී ලංකාවට සහාය දීමට ඉන්දීයාව සූදානම් බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයාට සහතික වුණේය.

අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය සඳහා ඩොලර් බිලියනයක ණය සහනයක් දීම,

ආයෝජන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනයට සහාය වීම,

සංචාරක කර්මාන්තයට සහාය වීම හා

ගෙවුම් ශේෂ හිඟය තුලනය කරගැනීමට සහාය වීම මෙම කොන්දේසි වූහ.

තමන් ගුජරාටි ප‍්‍රාන්තයේ මහ ඇමැතිවරයා ලෙස සිටි සමයේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර අත්සන් කළ සංචාරක සහයෝගි එකඟතාවේ වටිනාකම් ගැනත් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙහිදී සිහිපත් කළේය.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමගත් එරට මුදල් අමාත්‍යවරිය සමගත් සාකච්ඡා දෙකකට සහභාගි විය. ඊට අමතරව එරට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රාජ් කුමාර් සමගද සාකච්ඡා කළේය. එහි අරමුණ වුණේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රය සඳහා අලූත් ද්විපාර්ශ්වීය සහයෝගිතාවක් ඇති කර ගැනීමය. මුදල් අමාත්‍ය ලේකම් එස්. ආර්. ආටිගලත් මේ සංචාරය සඳහා එක්ව සිටියේය.

  • ඊළඟ ජනාධිපතිවරණයට දැන් සිටම සූදානම්…

ඊළඟ ජනාධිපතිවරණය පවත්වන්නට තව වසර දෙකහමාරක් තිබුණත් මේ දිනවල මීළඟ ජනාධිපතිවරණය ගැන ද සමාජය පුරා ලොකු කතාබහක් පැතිර ගියේය. සමගි ජනබලවේගය මගින් පවත්වන ලද මහජන විරෝධතාවයට ඔවුන් තේමාව ලෙස යොදාගෙන තිබුණේ ද ගෝඨාභය ජනාධිපතිවරයාට ගෙදර යන්න මැයෙන් ලබා දෙන පණිවිඩයයි. ‘‘ගෝඨා… ගෝ හෝම්” එහි තේමාව විය. මේ කතාව ස ජ බ යේ ජන විරෝධතාවය තුළ පමණක් නොව, ඉන්ධන පිරවුම්හල් අසල තෙල් පෝලිම් වලින්ද ඇසෙන්නට විය. ගෑස් ලබා ගැනීම සඳහා ගෑස් කඩ අසල ගෑස් පෝලිම් වලින්ද ඇසෙන්නට විය.

ගෝඨාභය ගෙදර යවන්නේ නම් ඊළඟට පත්කරගත යුතු ජනාධිපතිවරයා කවුද කියා කතාබහක් ද මේ අතර විය. පසුගිය සතියේ ඒ සම්බන්ධයෙන් පැවති එක්තරා රහසිගත සාකච්ඡා වක් ගැන ආරංචියක් සමාජ මාධ්‍ය තුළින් පැතිර යන්නට වූයේ ඒ අතරතුරයි.

එම ආරංචියට අනුව එකී සාකච්ඡා වක් පවත්වා තිබුණේ ලංකාවේ සුප‍්‍රකට වාණිජ බැංකුවක සභාපතිවරයකුගේ නිවසේදීය. ලංකාවේ ඉහළම පෙළේ ධනවතෙක් එම සාකච්ඡා වට පසුබිම සලසා තිබිණි. අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින පෙරළිකාර පක්ෂයක නායකයෙක්, එහි තවත් සාමාජිකයෙක්, ආණ්ඩු පෙරළි ඇති කිරීම සඳහා ප‍්‍රසිද්ධියක් උසුලන තවත් මන්ත‍්‍රීවරයෙක් සහ ඉහත කී ධනවතා සාකච්ඡා වට සම්බන්ධව සිටියහ.

මේ සාකච්ඡා ව කෙරුණේ ලංකාවේ ඊළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා කවුදැයි කියා සාකච්ඡා කිරීම සඳහාය. එහිදී ඉහත කී ධනවතාගේම නම යෝජනා වූහ.

තමන් ජනාධිපති අපේක්ෂකයා වන්නේ නම් එහි දී ඊළඟ අගමැති අපේක්ෂකයා ලෙස විමල් වීරවංශගේ නම යෝජනා කළ යුතු යැයි ඒ පුද්ගලයා යෝජනා කර සිටියේය.

විමල්ගේ නම ඒ සඳහා යෝජනා කරද්දී විමල්ලා සමග බරපතළව දේශපාලන විරසකයක සිටින ඉහතකී විපක්ෂයේ පෙරළිකාර පක්ෂයේ නායකයා සහ අනෙක් නියෝජිතයා කිසිම අදහසක් පළ කර තිබුණේ නැත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ ද කිසිවක්ම දැන සිට තිබුණේ නැත. එහෙත් මේ කතාව සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලන කරළියේ වේගයෙන් පැතිර යන්නට විය.

ඒ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ 11ක සන්ධානයත් ආණ්ඩුවේ ඇතුළේ නිහඬව සිටින මැති ඇමැතිවරුත් එක්ව ආණ්ඩුව තුළ ගෞරවනීයව සිටින තවත් ඇමැතිවරයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස කරළියට ගේන්නට සූදානමක් ඇතැයි කියා කතාවක් ද පැතිර ගියේය. ඒවා හුදු ආරංචි ලෙස සමාජ මාධ්‍ය ඔස්සේත් කටකතාව ඔස්සේත් පැතිර ගියා පමණක් මිස ඒ කිසිවකට උත්තර දෙන්නටවත් හේතු පහදන්නටවත් කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැත.

තත්ත්වය මෙසේ තිබියදී ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගය ලෙස රටපුරා පවත්වාගෙන යන ප‍්‍රවර්ධන වැඩකටයුතු තවත් වේගවත් කළේය. පළාතෙන් පළාතට දිස්ත‍්‍රික්කයෙන් දිස්ත‍්‍රික්කයට ගොස් ඔවුන් රටේ පවතින බරපතළ අර්බුද හා දේශපාලන අනාගතය පිළිබඳ සාකච්ඡා සම්මන්ත‍්‍රණ පවත්වන්නට වූහ. ඒවාට ඒ පළාත්වල ප‍්‍රාදේශීය මට්ටමෙන් සමාජ සේවාවන්හි නිරත වන සිවිල් සංවිධාන ද එක්කාසු කර ගැනීම කැපී පෙනෙන ලක්ෂණයක් විය. කවුරු මොනවා කීවත් ජනතා විමුක්ති පෙරමුණේ එම වැඩකටයුතුවල ලොකු ප‍්‍රගතියක් තිබෙන බව පසුගිය සතියේ දැකගත හැකි විය.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment