විපක්‍ෂ නායකකම මට ලොකු නෑ! අපි ළඟ හොරුත් නෑ… හොර ඩීලුත් නෑ…  

188
  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යක්කලදී කියයි

ජනතා සටන පාවාදෙන්නෙත් නෑ…

විපක්ෂ නායක ධුරය හෝ ඊට වඩා ලොකු තනතුරු තමන්ට ආභරණ නොවන බවත් විවිධ තනතුරුවලට වහල් වෙමින් වත්මන් ජනතා සටන පාවා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ වෙනකොට මට දැන් කනක් ඇහිලා ඉන්න නෑ. පැය 24ම මට කෝල් එනවා. ඒ අය මට කියනවා අන්තර්වාර පාලනයට එක්වෙන්නලු. එහෙම කියන ගමන් තර්ජනයකුත් කරනවා. ආවේ නැත්නම් එයාලා ළඟ සැලැස්මක් තියෙනවලු විපක්ෂ නායකකම නැති කරන්න යැයිද විපක්ෂ නායකයා මෙහිදී සඳහන් කළේය.

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ‘නිදහස් අරගලයේ සමගි පා ගමන’ ඊයේ (29 දා) සිව්වැනි දිනයට දංඕවිටෙන් ආරම්භ වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම පා ගමනට එක්වූහ.

එහිදී විපක්ෂ නායක රැස්ව සිටි පාක්ෂිකයන් අමතා මෙසේද කීය.

අද මීරිගම ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව එකතු වී සිටින්නේ නුවර සිට ඇරැඹුණු ඒ දැවැන්ත පාගමන, ඒ ඓතිහාසික පාගමන අවසානයේ මේ රටේ පොදුජන යුගයක්, පොඩි මිනිහගේ යුගයක්, රටේ ජනතාවගේ මතය නියෝජනය කරන ජනතාව ශක්තිමත් කරන යුගයක් ආරම්භය නිර්මාණය කරන්නයි.

ඒ වෙනුවෙන් අද අපි මේ පාගමන යන්නේ. මතක තබාගන්න පෝළිම්වල මේ රටේ සමස්ත ජනතාව තැවෙනවා. ගෑස්, පෙට්‍රල්, භූමිතෙල්, ඩීසල්, කිරිපිටි පෝළිමේ, මේ හැම පෝළිමකම මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනයා ලතවෙනකොට මේ රටේ තරුණ පරපුර ඒ අභීත සෙන්පතිවරුන්, ඒ ජන අරගලයේ නායකයන් ගාලුමුවදොර ඉඳගෙන වීරෝධාර සටනක් ක්‍රියාත්මක කරන මේ අවස්ථාවේ හඬනඟා කියමු මුළු රටම ඔබ සමගයි. මුළු රටම ජන අරගලය සමගයි.

දැන් දවසින් දවස බොහොම ලස්සන දේශපාලන ටෙලිනාට්‍ය නිර්මාණය වෙනවා. ඊයේ රාත්‍රියේ රට කාපු පොදු පෙරමුණු මන්ත්‍රී මණ්ඩලය තුළ ගහගන්නවා, රණ්ඩුකර ගන්නවා. දැන් ජනාධිපතිවරයා කියනවලු මන්ත්‍රීවරු ඉදිරිපිට මා මහින්ද රාජපක්ෂ මැතිතුමාට යන්න කිව්වෙත් නැහැ. යන්න කියන්නෙත් නැහැ. අර ඩලස් මහත්තයා කිව්වලු ඉස්සර ඉඳන්ම මහින්ද මහත්තයාව ඇසුරු කරා කියලා. ජනාධිපතිවරයා කීවාලු ඔයා ඇසුරු කරන්න ඉස්සරලා එයා මගේ අයියා කියලා.

දැන් මණ්ඩලය ඇතුලේ කචල්. දැන් ඔය මණ්ඩලය අච්චාරුවෙලා තියෙන්නේ. දැන් අච්චාරු වෙච්ච මණ්ඩලය අපිට කියනවා අන්තර්වාර ආණ්ඩුවකට එන්නලු. අපි නම් විරුද්ධයි යන්න. අපිට පෙන්නන්න බලන්න අත් ඔසවලා ඔබලා විරුද්ධයි කියලා. අද වන විට මණ්ඩලේ කචල්. මණ්ඩලේ කචල් එක බේරගන්න අපිට කියනවා බේරුම්කාරයෝ වෙන්න කියලා. අපිට කියනවා කියන ඕනදෙයක් දෙන්නම්, අරවා දෙන්නම් මේවා දෙන්නම්. දැන් අලුත් වැඩේ පටන්ගෙන. මන්ත්‍රී වෙන්දේසිය. මන්ත්‍රී සූදුව. මේගොල්ලන්ට පුරුදුයි පක්ෂ කඩලා. එක එක වරප්‍රසාද සල්ලි දීලා. හැබැයි මම එකක් කියන්නම් මේ සමගි ජන බලවේගයේ මේ සමගි ජන සන්ධානයේ අපේ ආදරණීය මන්ත්‍රීවරු වෙන්දේසියට නෑ. අලෙවියට නෑ. අපි ළඟ හොරු නෑ. අපි ළඟ හොර ඩීල් නෑ.

දැන් කනක් ඇහිලා ඉන්න නෑ. මට පැය 24ම කෝල් එනවා. මට කියනවා අන්තර්වාර පාලනයට එක්වෙන්න කියලා. එහෙම කියන ගමන් තර්ජනයකුත් කරනවා. අපි ළඟ සැලැස්ම තියෙනවලු විපක්ෂ නායකකම නැති කරන්න. මම එකක් කියන්න කැමැතියි මේ විපක්ෂ නායකකම් ගලවලා දාන්න මම ඕනෑම වෙලාවක සූදානම්. මම ලෑස්තියි තනතුරු තාන්න මාන්න පට්ටම් ඕනෑම වෙලාවක පරිත්‍යාග කරන්න. මොකද මට මේ රටේ කාටවත් නැති පට්ටමක් තානාන්තරයක් තියෙනවා. ඒ තනතුර තමයි පොදුජන ආදරය, අනුකම්පාව. ඒ තනතුර මට හොඳටම ඇති. ඒ නිසා මතක තියාගන්න මන්ත්‍රී වෙන්දේසි සූදුවට අපි නෑ. සල්ලි ගනුදෙනුවලට අපි නැහැ. දැන් කෝටි ප්‍රකෝටිපතියන් පුංචි කොටසක් අර බිලියන 600ක බදු සහන ගත්තු අය පංගුව තියාගෙන ඉන්නවලු මන්ත්‍රීවරු ගන්න. අපි කියන්න කැමති මේ පාදඩ මේ පහත් මේ තුච්ඡ දේශපාලන සංස්කෘතියට විරුද්ධවයි අර ජන අරගලයේ තරුණ පරපුර නැඟී සිටියේ. අපි සදාකාලිකව ජන අරගලය සමඟයි.

අකිත පෙරේරා, ගම්පහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment