විභාග ශාලාවේදී සිසුවාට පහර දුන් සිසුහු 6ක් අත්අඩංගුවට

353

කටුගස්තොට ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුවකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විදුහලේම අධ්‍යාපනය ලබන සිසුන් හය දෙනකු පොලිසිය විසින් ඊයේ (08දා) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සිසුන් හය දෙනා ද මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයයි.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ ඊයේ (08දා) දහවල් අදාළ පාසල ඉදිරිපිට දැඩි පොලිස් රැකවල් යොදා තිබිණි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ගණිතය ප්‍රශ්න පත්‍රය ලබාදුන් පසුගිය 06 වැනිදා දහවල් පාසල තුළදී සිදු කර තිබෙන මෙම පහරදීමෙන් තුවාල ලත් සිසුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

තුවාල ලත් සිසුවා සමඟ එකම පන්තියේ අධ්‍යාපනය ලබන සිසු පිරිසක් මෙම පහරදීම සිදු කර තිබුණු අතර ඒ වන විටත් විභාගය පැවැත්වෙමින් තිබූ නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීම විභාගය අවසන් වන තෙක් පොලිසිය විසින් ප්‍රමාද කරනු ලැබීය.

පහරකෑමට ලක්ව රෝහල්ගත කළ සිසුවා පසු දින කැමැත්තෙන් රෝහලින් පිටව ගොස් ගොස් විභාගයට පෙනී සිටියේ ය.
සිසුවාට පහර දීමේ සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment