විමලසුරේන්ද්‍ර ජනපද වැසියෝ දිය ඉල්ලා හඬා වැටෙති

83

වසර 30ක ජල ටැංකිය දිරාගොස් බට කැඩිලා

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ මෙයට වසර 30කට පමණ ප්‍රථම නාය යෑමෙන් අවතැන් වූ පවුල් එවකට පදිංචි කළ විමලසුරේන්ද්‍ර ජනපදයේ ජනතාවට පිරිසිදු පානීය ජල යෝජනා ක්‍රමයක් නොමැතිවීමෙන් එම ජනපදයේ පදිංචි පවුල් ගණනාවක් දැඩි අසීරුතාවට පත්වී ඇත.

විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය ඉදිරිපිට පිහිටි මෙම ජනපදයේ පදිංචිකරුවන් සිය ජීවනෝපාය වශයෙන් තේ වගාව, කුලී රැකියා සහ ස්වයං රැකියාවල නිරතව සිටින අතර, එම පවුල් සඳහා මෙයට වසර 30කට පමණ ප්‍රථම ලබාදුන් පානීය ජල යෝජනා ක්‍රමයෙන් තවමත් ඔවූහු පානීය ජලය ලබා ගනිති.

ජනපදයට ඉහළින් පිහිටි ශ්‍රී පාද ස්භාවික රක්ෂිතයේ සිට ගලා බසින ජල මූලාශ්‍ර හරස් කරමින් කුඩා ටැංකියක් ඉදිකර එම ටැංකියට ජලනළ සවිකර පානීය ජලය ලබාගන්නා බවත්, මේ වනවිට එම ජල ටැංකිය දිරාගොස් එලා ඇති ජලනළ කැඩීගොස් ඇති බවත් එම ජනපදයේ පදිංචිකරුවෝ පවසති.

තවද ජනපදයේ සිට ජල මූලාශ්‍ර සම්බන්ධ කර ඇති ස්ථානයට කිලෝමීටර් 4 ක් පමණ රක්ෂිතය තුළ පිහිටා ඇති බවත්, එම රක්ෂිතය තුළ ජීවත්වන, වන සතුන් එලා ඇති ජලනළ කඩා දමන බවටත් ඔවූහු මැසිවිලි නගති. තම ජනපදයේ පවතින පානීය ජල ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ලබාදෙන ලෙස දේශපාලන අධිකාරියට අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කළත්, එම ඉල්ලීම් වලට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවට නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජනපදයේ පදිංචිකරුවෝ මැසිවිලි නඟති.

වියලි කාලගුණය පවතින අවස්ථාවල ජල මූලාශ්‍ර සිඳීයෑම නිසා තම ගම්මානයේ පදිංචිකරුවන් පානීය ජලය ලබාගැනීමට නොහැකිවීමෙන් විවිධ දුෂ්කරතාවලට මුහුණ පාන බව ඔවූහු පෙන්වා දෙති.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment