විමල්ගෙන් ජනපතිට ලිපියක්

205


සර්වපාක්ෂික සමුළුවක් කැඳවා අර්බුදය විසඳීම සඳහා අවම පොදු වැඩපිළිවෙළක් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ග සිතියමක් රටට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස නැවත වතාවක් ඔබතුමාට අවධාරණය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.
ව්‍යවස්ථා සංශෝධනයට අදාළ එකඟතාවය ඇතිකර ගැනීම සඳහාද සර්වපාක්ෂික සමුළුව මගින් අවස්ථාව සැලසෙනු ඇති බවත් සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ එම වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කිරීමෙන් පසුව එය ක්‍රියාත්මක කිරීම සඳහා වන යාන්ත්‍රණයක් ලෙස බවත් විමල් වීරවංශ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ ලිපියේ සඳහන් වේ.
එසේ නොමැතිව හුදු ඔළුගෙඩි මාරුවක් මගින් මහජන විශ්වාසය තහවුරු කළ නොහැකි බවත් එම නිසා ඔබතුමා විසින් එම අවම ජාතික වගකීම ඉටු කරන තෙක් ව්‍යවස්ථා සංශෝධන සඳහා ඒකපාර්ශ්වීයව යෝජනා ඉදිරිපත් කිරීමට අදහස් නොකරන බව ඔබතුමාට ඉතා ගෞරවයෙන් දන්වා සිටින බවත් විමල් වීරවංශ මහතා එම ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
විමල් වීරවංශ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළ එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ඔබතුමා විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමුකරන ලද උක්ත ශිර්ශය සහිත 2022-07-29 දින දරන ලිපිය ලදිමි. මා විසින් ඊට පෙර “පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ රාජ්‍යය බිඳවැට්ටවීම සඳහා දියත් වන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමට ගොදුරු නොවීම සඳහා” යන ශීර්ෂය යටතේ 2022-07-28 දින ඔබතුමාට ලිපියක් යොමුකරන ලදී. නමුත් ඔබතුමා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමුකරන ලද ලිපිය අනුව ආර්ථික අර්බුදය විසඳීම සඳහා අප විසින් ඉදිරිපත් කළ මූලික උපායමාර්ගික ප්‍රවේශය ඔබතුමා විසින් නිවැරදිව තේරුම් ගෙන නොමැති බව පෙනීයයි. ඔබතුමා සඳහන් කරන සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ඔබතුමාගේ පැරණි උපදේශකයින්ගේ එකතුවක් මගින් සකස් කිරීම හරහා දේශපාලන පක්ෂවල සහ මහජනයාගේ විශ්වාසය දිනාගත නොහැකි බව ඔබතුමා වටහා ගත යුතුය. කෙසේ වෙතත් ඔබතුමා විසින් ඒකපාර්ශ්වීය එවැනි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට කිසිදු බාධාවක් තිබිය නොහැක. නමුත් ඔබතුමා අගමැති ධුරයට පත්වූ දින සිට ජනාධිපති වීමෙන් පසුව මේ දක්වා එවැනි වැඩපිළිවෙළක් ඒකපාර්ශවීය හෝ රටට ඉදිරිපත් කිරීමට අසමත් වී ඇත.

එම නිසා අර්බුදය විසඳීම මුල්කරගෙන වහාම සර්වපාක්ෂික සමුළුවක් කැඳවිය යුතු බව අපි නැවත අවධාරණය කරමු. ඊට පෙර ඔබතුමාගේ දැක්ම සහ උපායමාර්ගික ප්‍රවේශය මහජනයාට සහ ඉන්පසුව සර්වපාක්ෂික සමුළුවට ඉදිරිපත් කිරීමේ වරදක් නැත. සර්වපාක්ෂික සමුළුවක් වැදගත් වන්නේ දැක්ම, උපායමාර්ගික ප්‍රවේශය සහ ඊට අනුව වැඩපිළිවෙළ මෙන්ම මාර්ග සිතියමක් පොදු එකඟතාවයකින් යුතුව රටට ඉදිරිපත් කිරීම මගින් මහජන විශ්වාසය දිනා ගැනීම සඳහාය. එසේම ඒ මගින් ව්‍යාජ අරගලකරුවන් හෙවත් ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමේ කුලීකරුවන් ලෙස ක්‍රියා කරන පිරිස් අත තිබෙන දේශපාලන අවිය නිෂ්ක්‍රීය කිරීම ද වැදගත් වේ. ඒකපාර්ශවීයව, හිතුවක්කාර ලෙස අර්බුදය විසඳීම සඳහා ක්‍රියා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පාඩම් ඉගෙන ගැනීම ඒ සියල්ලටම වඩා වැදගත් වේ.

ඊට අමතරව ආර්ථික අර්බුදය විසඳීම සඳහා විශ්වාසනීය සහ ප්‍රතිඵලදායක ක්‍රියාමාර්ග තුළ මහජන විශ්වාසය දිනා ගැනීම යනු ව්‍යවස්ථා සංශෝධනයක් මගින් දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා වන පූර්ව කොන්දේසියකි. එම කොන්දේසිය ඉටු කිරීමෙන් තොරව ව්‍යවස්ථා සංශෝධන සම්මත කිරීමට උත්සාහ කිරීම මගින් දේශපාලන අර්බුදය තවදුරටත් උත්සන්න විය හැක. විශේෂයෙන්ම නිසි මහජන සංවාදයකට වාතාවරණයක් නොමැති තත්ත්වයක් යටතේ අඩු තරමින් දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇතිකර ගැනීම ඉතා වැදගත් වේ. කෙසේ වෙතත් අප රටේ සිදු කළ ව්‍යවස්ථා සංශෝධන සියල්ල පිටුපස යම් දේශපාලන බලවේගයක කූඨ සහ පටු දේශපාලන අරමුණු තිබූ බව ඔබතුමා ඉතා හොඳින් දන්නා කරුණකි. ඊට අමතරව දැනට ගැසට් කරන ලද ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඇතුළු කිරීම සඳහා අප විසින් ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් ඇතුළු නොකර එය ගැසට් කිරීම මගින් පැහැදිලි වන්නේ සෙසු දේශපාලන පක්ෂවල මතයට ගරු කිරීමක් නොමැති බව නොවේද? එම නිසා පළමුවෙන්ම ව්‍යවස්ථා සංශෝධනයට අදාලව දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම ඉතා වැදගත් වේ.

ඒ අනුව එමෙන්ම ඔබතුමා සඳහන් කරන පාර්ලිමේන්තු කාරක සභා පත් කිරීම ද සර්වපාක්ෂික අවම පොදු වැඩපිළිවෙළෙහි කොටසක් මිස ඊට පරිබාහිර ක්‍රියාවලියක් නොවිය යුතු බව ද සඳහන් කරමි.

advertistmentadvertistment
advertistmentadvertistment