වියට්නාම් බෞද්ධයෝ ශ්‍රී ලංකාවට ඖෂධ පරිත්‍යාග කරති

44

වියට්නාම බෞද්ධ නියෝජිත පිරිසක් විසින් පසුගියදා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාගය වියට්නාම බෞද්ධ සංඝ සභාවේ උප සංඝ නායක අතිපූජ්‍ය තිච් චියන් මින් නා හිමියන් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත සංකේතාත්මකව පිළිගන්වන ලදී. ඇමෙරිකානු ඩොලර් 20,000 ක් වටිනා මෙම ඖෂධ තොගය අග්‍රාමාත්‍යවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජානක චන්ද්‍රගුප්ත වෙත භාරදෙනු ලැබීය. වියට්නාමයේ දීර්ඝ කාලීන නිදහස් අරගලයට ශ්‍රී ලංකාව ලබා දුන් සහාය හේතුවෙන් වියට්නාම බෞද්ධයන් ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ ගෞරවයක් දක්වන බව අතිපූජ්‍ය තිච් වියන් මින් නා හිමියෝ ප්‍රකාශ කළහ. මෙම අවස්ථාවට සහභාගි වූ වියට්නාම තානාපති ගුයෙන් ති තාන් තුයි ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමට පෙර සිටම වියට්නාම සමග සමීප සබඳතාවක් පැවැත්වූ බවයි. නිදහස් අරගලයේ නායකයා මෙන්ම නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ හෝ චි මිං මහතාගේ ශ්‍රේෂ්ඨ නායකත්වය ශ්‍රී ලංකාවාසී ජනතාව බෙහෙවින් අගය කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා වියට්නාමය නිදහස් රාජ්‍යයක් බවට පත් වූ විට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් පළමු රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ද සිටි බව සිහිපත් කළේය. මෙම අවස්ථාවට වියට්නාමයේ සිට පැමිණි ස්වාමීන් වහන්සේ සහ බෞද්ධ නායකයෝ පිරිසක්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment