වියො දනන් සියො දනන් කළ මියුරු ස්වරයක සාඩම්බරය මාලිනී බුලත්සිංහල

346

විශාරද මාලිනී බුලත්සිංහල අකල් මරුට ගොදුරුවන්නේ පනස් එක් වැනි වියට එළැඹ සිටියදීය. මෙම මාර්තු 28 වන දිනට ඒ කුරිරු වියෝගයට දෙවිසි වසරක් ද සපිරේ. කරුණා දයා විරහිත මරුවා විසින් පැහැර ගන්නා ලද්දේ මෙරටේ සුභාවිත ගීතයටත්, අපූර්ව සංගීත කලා රසිකත්වයටත් අසාමාන්‍ය සම්ප්‍රදානයන් එක්කළ සාඩම්බර කලාකාරියකි. කිසියම් ක්‍ෂේත්‍රයක විශාරදව පාරප්‍රාප්තව සිය නිසග කුසලතා විශද කළ හැකි ප්‍රබුද්ධ අවධිය උදාවන්නේ පනස් වියට ආසන්න වීමත් සමගය. ඇගේ සංගීත පාරමිතාව සංසාරයෙහි දිගු ඵලයක් සේම ඒ ක්‍ෂේත්‍රයෙහි විශාරද සංගීත ප්‍රාඥයන්ගේ ගුරු ඇසුරෙන් ද මල්ඵල ගැන්විණි. සමකාලීන ගීත ප්‍රබන්ධකරුවන්ගේ ප්‍රතිභාවෙහි අග්‍රඵල සේ ජනිත ආඪ්‍ය මෙන්ම භාවපූර්ණ හා විචිත්‍රාර්ථ පද මාලා මධුර ස්වර ලාලිත්‍යයෙන් සමලංකෘතව සුවහසක් රසිකයන්ට පිරිනැමීමට තරම් භාග්‍ය සම්පන්න වූ මාලිනියගේ ගීතය නිසැකයෙන්ම ගාම්භීර අත්දැකීමක් විය. එනිසාම ඇගේ නොකල් වියෝගය රසික සම්, මස්, නහර, ඇට සිඳ ඇට මිදුලු මත රැදී නිබඳ දුක් දෙන්නක්ම විය. එමතු නොව ඕ ඒ වනවිට ද මෙරටේ අතිශයින් සීමිත වූ සුගායන ශිල්පිනී පරපුර නියෝජනය කළ කලාකාරියක් ද වූවාය.

එවක වත්තල ග්‍රාමවරයෙහි සිටි බී. එස්. විල්සන් හා පී. කේ. සුමනාවතී යන මාලිනියගේ මවුපියෝ බොරලැස්ගමුවට සංක්‍රමණය වූවාහු, එය වඩාත් සන්සුන් ප්‍රදේශයක් වූ හෙයිනි. ඔවුන්ගේ බොරලැස්ගමුව කුටුම්බයෙන් ඇසුණු තෙවැනි බිලිඳු හඬ මාලිනී දැරියගේ ය. මවුපියන් විසින් ඒ හුරුබුහුටි දැරියට තැබූ නාමය වූයේ එස්. බී. මාලිනීය. ළමා වියෙහිදීම සිය පියා සමඟ ගැයුම් ඉදිරිපත් කිරීමේ වරම් ලද එස්. බී. මාලිනී පසුව ගුවන්විදුලි ළමා පිටියේදී, මාලිනී බුලත්සිංහල බවට පත්වන්නී ප්‍රකට ගීත රචකයකු වූ අජන්තා රණසිංහගේ අදහසක් අනුවය. මාලිනීගේ පියා බයිලා ගායකයකු මෙන්ම වේදිකා නාට්‍ය ශිල්පියකු ද විය. ඔහු බොහෝවිට රඟපෑවේ ස්ත්‍රී චරිත වීමද විශේෂත්වයකි. වෙස්සන්තර නාටකයේ මද්‍රී දේවිය ලෙස මෙන්ම ඇහැලේපොල කුමාරිහාමිගේ චරිතයට ද පණදුන් විල්සන්, වේදිකා පසුබිම් ගායන සඳහා තම දියණිය වූ මාලිනීද කැටුව ගොස් ඇත. එසේම පියා සමඟ සැඳෑ සාදවල ගී ගැයීමට ද මාලිනීට අවස්ථාව ලැබුණි.

බොරලැස්ගමුව විද්‍යාලයෙහි සිප්සතර හදාරණ අවධියෙහි සිටම මාලිනී ගැයුමට යොමුව සිටියාය. බෙල්ලන්විල පන්සලේ දහම් පාසලේදී ලෝවැඩසඟරාවේ කවි මෙන්ම බුදු ගුණ ගායනා කිරීමෙන් ද මුල්තැනට පත්ව සිටි සිසුවිය වූයේ මාලිනීය. හයදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය වූ මාලිනී ළමා වියෙහි සිටම දිරියෙන් හා වීර්යයෙන් දිවි මග සකසා ගැනීමට ද පුරුදුව සිටියාය. ඔවුන්ගේ කුඩා නිවහනට ලක්‍ෂ්මී නොපැමිණය ද එය සරස්වතියගේ නිත්‍ය වාසභූමියක් බඳුවිය. මාලිනීගේ සෞන්දර්ය කලා පාරමිතාව මස්තකප්‍රාප්ත වන්නේ ද ඒ දෛවෝපගත ආශිර්වාදයක් වූ සරස්වතීගේ බැලුම් මාත්‍රය ලද නිසාමය. කව්සිළුමිණ කිවියාණන් වූ පැරකුම්බා නිරිඳුන් සඳහන් කළේත් “පෙදෙහි රසහව් විඳුණා” දෙනෙත් ඉතා දුලබ බවය. එවන් දුලබ සෞන්දර්ය ඵලයක සාඩම්බරය මාලිනී උපයාගත් අයුරු ද විස්මය දනවයි.

රජයේ සංගීත විද්‍යාලයට පිවිස උගත් සංගීත ශිල්පයත්, අනතුරුව ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත පීඨයෙන් පිරිපහදු කරගත් සෞන්දර්ය කලා ඥානයත් ඇගේ සෞන්දර්ය කලා සක්මන විචිත්‍රත්වයටත් පූර්ණත්වයටත් දුන් අනුබල අනුග්‍රහ අප්‍රාමාණ විය. මාලිනී රජයේ සංගීත විද්‍යාලයෙහි සිටි විශිෂ්ටතම ගායන කුසලතාවෙන් යුතු සිසුවිය ලෙස ද ප්‍රකට වූවාය. එකල ප්‍රකට නාට්‍ය ශිල්පියකු වූ ආනන්ද එස්. විජේසිරිට සිය නාට්‍ය පිළිබඳ වෙළෙඳ ප්‍රචාරයක් ලබාගැනීමට අවශ්‍ය විය. ඒ වනවිට ගුවන්විදුලි දැන්වීම්වල ගැයුම් සඳහා පූර්ව අනුමැතියක් ලබාගත් අය සිටියහ. එහෙත් ඒ බොහෝ ගැයුම් ඒකාකාරී විය. මේ නිසා අලුත් කටහඬක් සෙවූ නාට්‍ය අධ්‍යක්‍ෂ රජයේ සංගීත විද්‍යාලයට ගොස් එහි විදුහල්පතිවරයා හමුවිය. විදුහල්පති එදා නිර්දේශ කළේ මාලිනී බුලත්සිංහලගේ කටහඬය. නෙත් අඳ බිසව් නාට්‍යයෙහි “බොල බූරු පොතේ” ගීතය ගැයූ මාලිනී නාට්‍ය රසිකයන් අතර ද බෙහෙවින් ජනප්‍රිය වූවාය. පසුව වේදිකා නාට්‍ය කීපයකම පසුබිම් ගායනා සඳහාද මාලිනී තෝරා ගනු ලැබ ඇත. “සතරවරම් රජ දරුවෝ” නාට්‍යයෙහි ගීත ගායනා කරමින් රංගනයක් ඉදිරිපත් කිරීමට ද මාලිනීට අවකාශ ලැබුණි.

මාලිනී සංගීත ගුරුවරියක ලෙස පානදුර ශාන්ත අන්තෝනි හා කොළඹ ආනන්ද බාලිකා යන විදුහල්වල සේවය කර පසුව බත්තරමුල්ල කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ධුරයටද පත්වූවාය. ඒ කාලය තුළ සංගීතය ඉගැන්වීමට අමතරව පාසල්වල සිසු දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා සර්පිනාව වැනි වටිනා සංගීත භාණ්ඩයක් ලබාදීමට ද ඇයට හැකිවිය. එසේ වූවද රාජ්‍ය සේවය තුළ වූ අවිවේකය හා වෙනත් සීමාවන් නිසා ද මාලිනී එම ගුරු උපදේශක වගකීම් අත්හැර ස්වාධීන නිර්මාණ කටයුතු කෙරෙහි යොමු වූවාය. ඇත්ත වශයෙන්ම ඇය තුළ වූයේ සිය සංගීත ඥානයත් ගායන කුසලතාවත් පොදුජන උරුමයක් බවට පත්කරලීමේ මනදොළකි. සරල ගී වැඩසටහන් මෙන්ම වෙනත් ගීත ප්‍රසංග සඳහා දායකවීමේ පූර්ණ නිදහස ද ඇයට අවශ්‍යව තිබුණි.

නිසැකයෙන්ම මාලිනීගේ සංගීත කලා චාරිකාවේ අභියෝගාත්මක ප්‍රථම පියවර වූයේ ද එලෙස ලබාගත් නිදහස හා මානසික තෘප්තිය බව මගේ අදහසය. ඇය ගතානුගතිකත්වය, අනුකාරක මානසිකත්වයට නොමැනවැයි යන ප්‍රබල ජීවන දැක්ම අගය කළ කලාකාරියකි. දෛවය දොරහැර දෙනතෙක් සිටීම මෙන්ම කර්මය, ඉරණම ආදිය හිසින් ගෙන පසුගාමීව ජීවත්වීම ද ඇයට රුචි නොවීය. ඇය සමඟ සෞන්දර්ය කලා සංවාදවල නිරතවූ බොහෝ අවස්ථාවල ඇගේ මෙම ජීවිත අධිෂ්ඨානය සුපුෂ්පිතව තිබුණු වග මෙවේලේ ද මගේ සිතට නැඟෙයි. හිතෝපදේශයෙහි එන රුවන් සටහනක් මෙසේය.

“එක් රෝදයකින් රථයක් ගමන් කරවිය නොහැක. එයට අනෙක් රෝදවල සහාය අත්‍යවශ්‍ය වේ. එසේම දෛවය කියා දෙයක් තිබුණත් උත්සාහයෙන් තොරව වන්නේ නම් ඒ කිසිවක් සිදුනොවීමට ද ඉඩ ඇත.”

වියො දනන් සියො දනන් කළ මියුරු ස්වරයක සාඩම්බරය මාලිනී බුලත්සිංහල

මාලිනීගේ ජීවිතය ඒ උපදේශයෙන් නව පන්නරයක් ලැබූ බව නම් සිකුරුය. තැවුල් පිරි ජීවිතය තමාට වඩා තම පවුලේ සහ ලේ නෑයන්ට සිහිල් සෙවණක් කළ ඇය දිරිය ලියකි. ඇගේ මධුර ස්වරය තුළ නින්නාද වන්නේ ඒ ජීවන අත්දැකීම්වල ප්‍රකම්පනය යැයි මට සිතේ. යසඉසුරු ලුහුබැඳ මීපොරයට වැටුණු සමාජයක ඒ තරගයට මැදි නොවී නිරහංකාර මෙන්ම අභිමානවත් ජීවිතයක් ගොඩනඟා ගැනීම ඇගේ සිහිනය විය. දරිද්‍රතාවේ පතුලෙන් මතුවී සියුම්ව දයාර්ද්‍ර ආමන්ත්‍රණයක් මෙන් නැඟුණු අපූර්ව හඬ පෞරුෂය හා උරුමය මාලිනියගේ සාඩම්බර යැයි පැවසීම ඇයට කරන බුහුමනකැයි මම බොහෝ වර කල්පනා කර ඇත්තෙමි.

මාලිනීගේ සංගීත මග ඇයට හමුවූ සොඳුරු සහෘදයා එච්. එම්. ජයවර්ධනය. මොණරාගල සියඹලාආණ්ඩු ග්‍රාමයේ සාමාන්‍ය පවුලක උපන් එච්. එම් ද සංගීත කලා නිර්මාණ ශිල්පියෙක් ලෙස දිවිසැරියට එක්වූවෙකි. බටනලා වාදකයකු ලෙස දොරට වැඩි ඔහු ද අපූර්ව ගාන්ධර්වයකු ලෙස පසුකලෙක ජනාදරයට පත්විය. එච්. එම්. හා මාලිනීගේ පළමු හමුව නිසැකයෙන්ම සංසාර ප්‍රාර්ථනයක ආදර සටහනකි. වසන් කරන්නට බැරි ආදරයක පෙම්මල් පීදෙමින් තිබුණි. සෞන්දර්යකාමී පතිනියෝ අලුත් මිහිරක සුමුදු හැඟීම් විඳගත්හ. ඔවූහු ආසිරි මල් පැසසුම් මැද එක්වූහ.

ලාංකික ගීතයටත්, සංගීතයටත් සිය ප්‍රතිභාව හා සංගීත සංසාර සක්මන්වලදී රැස්කරගත් සුනිමල නාදරූප, භාව භාවයන්, ජාතියේ ආධ්‍යාත්මයට මුසුකළ සංගීතඥයකු ලෙස එච්. එම්. හැඳින්වීමට මම පසුබට නොවෙමි. එච්. එම්. අපේ ඒකාකාරී සංගීත වින්දනයට නව මිහිරක් එක්කල ආකාරය මේ කුඩා ලිපියෙහි කෙසේ සටහන් කරම්ද? මගේ ලිපියෙහි තේමාව හා බැඳුණු අප්‍රමාණ සැමරුම්ද එච්. එම්. හා මාලිනී සුසංයෝගයෙහි නිරන්තරව හමුවෙයි. එහෙත් ඒවා නාමිකව හෝ උපුටා දැක්වීම සීමා කරනු හැර මට කළහැකි අන් දෙයක් නැත. සැබැවින්ම සමකාලීන සංගීත ක්‍ෂේත්‍රයෙහි මහා පුරුෂයන්ගේ ඇසුරත්, අසාමාන්‍ය ප්‍රතිභාපූර්ණ ගීපද නිර්මාණ ලබාගැනීමේ භාග්‍යයත් මාලිනීගේ ගීතය විචිත්‍ර කළ අයුරු රසිකයෝ දනිති. යුග ගීයක අර්ථ මාධුර්යයට තුඩුදුන් ගායන ශිල්පීන්ගේ අනුග්‍රහය ද මාලිනීට නොමඳව ලැබුණි. එහෙත් මගේ තෝරාගැනීම්වලට හසු නොවන්නාවූ ද ඒ සුරම්‍ය ගීත ව්‍යාපාරය සුපෝෂණය කළා වූද සියලු නිර්මාණකරුවෝ මා දෙස දයා නෙතින් බැලිය යුතු වෙති. මාලිනී සමඟ සංගීත සමාධියෙන් බැඳුණු මෙන්ම එයට රුකුල් දුන් සියල්ලෝම නූතන මෙන්ම අනාගත රසික ජන ප්‍රජාවගේ අතිශය බුහුමනට පාත්‍ර විය යුත්තාහ.

ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ සුකුමාරතාව, මෙන්ම ඒ හා බැඳුණු යෞවන ප්‍රාර්ථනාවන්හි අපූර්ව වින්දනය රසිකයා වෙත පිරිනැමීමට මාලිනී අප්‍රමාණව කැප වූවාය. මේ ගීය ඒ ප්‍රේමයේ ආධ්‍යාත්මය නිවන භාවනාවකි.

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
එයට නෙළා පිළිගන්වන්නම්

දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සළුවක් වියමි එයින්
පරසතු උයනේ සක්මන් කරනට
ඉන් සැරසී ඔබ හා එන්නම්

බිඟු තුඩු නොවැදුණ පියුම් ගෙනාවොත්
මානසවිල මැද පිපුණ සැණින්
නැවුම් පෙම රකිමු වෙහෙසුණු පෙම්වත
යළි ඉපදෙමි ඒ පියුමින් මම්

මේ ලූෂන් බුලත්සිංහල, එච්. එම්. ජයවර්ධන මාලිනී බුලත්සිංහල ත්‍රිපුද්ගල සම්මාදම විසින් රසික හදට ළං කළ ප්‍රේමයේ සනාතන රූපයයි. ආදරයේ විකසිත කුසුම් සුවඳ හද පිරෙද්දී එහි මනෝරූපය හා සැබෑ රූපය ද මෙහි දිදුලන අයුරු බලනු මැනවි. කවිසමය, ජනකවිය ඉඳුරා විශද වන පදරචනයක ආත්මීය ගැඹුරට සංගීතයත් මාලිනීගේ හඬත් සුසංයෝග වන අයුරු අගේය. එච්. එම් ගේ සංගීතය තුළ වචන මෙන්ම මාලිනීගේ හඬ නැඟෙන බිඳෙන රළක් සේ යොදා ගන්නා එච්. එම්., පෙම්වතුන් දැහැන්ගත කළ අයුරුත් සැණෙකින් ඒ ප්‍රේමයේම රුව ගුණ උද්දීපනය කරන විලාසයත්, ගීතයට නැවුම් මිහිරක් කවා ඇත.

වියො දනන් සියො දනන් කළ මියුරු ස්වරයක සාඩම්බරය මාලිනී බුලත්සිංහල

මාලිනීගේ ගායන කුසලතාව නිවැරදිව මෙන්ම එය උච්ච ස්වරයෙහි ප්‍රකම්පනයක් ලෙස සංගීතය සමඟ ගලායන නාදරූප මැවීම සඳහා භාවිත කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ස්වර රචනාත් සංගීත නිර්මාණත් සුවිශේෂ විය. මිනිස් කටහඬ ජීවිත රිද්මය සමඟ අනන්‍ය වීමට වඩා එහි උසස් මානය හඳුනාගත් කේමදාසයන්ට බොහෝ අවස්ථාවල මාලිනී සිය ප්‍රතිභාව සිත් සේ පරිහරණය කිරීමට ද අවකාශ ලබා දුන්නීය. මාලිනී ඔපෙරා, කැන්ටාටා වැනි සංගීතමය නිර්මාණවල කැපී පෙනුණු ශිල්පිනියක් බව කේමදාසයෝ අවධාරණය කරති. මානව ප්‍රාර්ථනා දේශලපාලනය වෙනුවෙන් හෑල්ලුවට ලක්කෙරෙන සමාජයක නිද්‍රාව බිඳ, ඒ මානව අගය උත්කර්ෂයට නැංවීම කලාකරුවකුගේ එක් අරමුණකි. ලෝක කම්කරු දිනය දේශපාලන සංදර්ශනයක් වූ රටක ඒ ව්‍යාජය බිඳ දමන ගීතයක පද පේළි කීපයකි මේ. පද රචකයා රත්න ශ්‍රී විජේසිංහය.

මැයිමල් පොකුරු සිඹින
බඹරුන්ගෙන් අහන්න
මල්පැණි තියේද කියලා
ඒ හැම මැයි මලකම
රන්වන් රේණු අතර
රන්වන් ඩාදිය පිරිලා

මැයි දිනයේ උරුමය වැඩ කරන ජනතාවගෙන් සොරාගත් ප්‍රභූවරු ඒ ජනහද රිද්මයට බිහිරෝ ය. ඒ විඩාබර රුවට අන්ධයෝ ය.

බර උහුලන අත්වල
දුක උහුලන හිත්වල
විලංගු වරපට සිඳිලා
අලුත්ම මලක් වෙලා
අරුණැල්ලට පිපෙන්න
මැයිතුරු සිරසක රැඳිලා

ධනේශ්වර පන්තිය හරස්වන මානව විජයග්‍රහණය පුරා දිදුලන ආලෝකය තීව්‍ර වී ඇත්තේ පීඩිතයන්ගේ කඳුළ, සුසුම හා ලේ වලින් බව කලාකරුවා දනී. මේ ඒ මානව නිදහස වෙනුවෙන් නැඟෙන ප්‍රාර්ථනා හිරුගෙන් පිපෙන රත් මැයි කුසුම් ලොව සුවඳවත් කරයි. මේ ගැයුම ඒ ප්‍රාර්ථනා උත්කර්ෂයට නංවයි. නිදහස හා විමුක්තිකාමය තරම් මිහිරි රසයක් ජනතාවට තිබේ ද? මැයි දිනය හා නිදහස් දිනය වෙනුවෙන් සම්ප්‍රදායානුකූලව සිදුකෙරෙන අහස් මාලිගා ඉදිකිරීම් දේශපාලන වේදිකාවල තරගයට සිදුවෙද්දී කේමදාසයන් එදා මාලිනී වැනි ජාතික සම්පත් සමඟ ඒ ව්‍යාජ පූචානම් කතා බිඳදැමූ ආකාරය මෙවන් ගීත වලින් පසක් වේ.

මාලිනීගේ ගීත ව්‍යාපාරයට අප්‍රමාණ කරුණාවෙන් ද අනතිමානි ගුණයෙන් ද නොයෙක් අනුබල අනුග්‍රහ දැක්වූවෝ රඹුකන සිද්ධාර්ථ හිමියෝය. උන්වහන්සේ යතිවර පරපුරේ පුරෝගාමී ගීත ප්‍රබන්ධ හිමියෝ ද වෙති. මාලිනී හා එච්. එම්. දෙදෙනාම උන්වහන්සේට අප්‍රමාණව බැති පුද කළහ. උන්වහන්සේ මේ සංසාර නෑයන්ට දැක්වූ සෙනෙහස ද අසීමිත විය. උන්වහන්සේගේ බුදුගුණ පූජාවට ගීතමය දායකත්වය සැපයූවෝ ද මාලිනී හා එච්. එම් ය. බෞද්ධ සංස්කෘතික උල්පත්වලින් පෝෂණය වූ ඒ ගීතාවලියෙන් බිඳක් මෙහිලා නොදැක්වුවහොත් නොමැනවැයි ද සිතේ. ‘හිමි සනරාමර’, ‘පිපෙනා මලකට’, ‘ළමාවියේ කිරි සුවඳ’, ‘කේතුමතී රජදහනේ’, ‘දෑතින් වැඳල වැඳල’, ‘හදවත දෙව්රම් වෙහෙරක්’, ඒ ගීතාවලියෙහි ඇමිණූ මුතුඇට කීපයකි. රඹුකන හිමියන්ගේම ප්‍රබන්ධයක් වන මේ ගීතය පවුලක බර කරට ගත් මාලිනීගේම හදවත කියැවීමක් වැන්න.

සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
දහදිය හෙළා මහ සාගරය වගේ
ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ
ඇති දැඩි කළා අප සමනල පැටව් වගේ

අක්කණ්ඩියේ පොඩි කාලේ පොඩිකමට
කළ වරදකටවත් තැළුවේ නැත අපට
සෙනෙහස තිබුණි උතුරා මහමෙර උසට
පියෙකුගෙ කඳුළු මුතු කැට වුණි දරුකමට

පියවරු සිටින දරුවන් හට තනි නැතුවා
මව්වරු සිටින දරුවන් හට තනි නැතුවා
මව්පියවරුන් ඉර-හඳ මෙන් ළඟ හිඳුවා
දරුවන් පාන හසරැලි අපහට නැතුවා

මේ ගීතය මාලිනී සමඟ ගයන්නී ඇගේ නැගණිය සන්ධ්‍යාය. සංගීතය එච්. එම් ගේය. මෙය මාලිනී පවුලේ සමූහ නිර්මාණයක් වැන්න. රඹුකන හිමියන්ගේ මේ අත්දැකීම සිංහල බෞද්ධ සංස්කෘතියේ හදවත බඳු, පවුල හා බැඳුනකි. ඒ පවුලේ දයාර්ද්‍ර බැදීම්, පරිත්‍යාගය, වගකීම්, සාරධර්ම සියල්ල මේ ගීතය තුළ තැන්පත්ව ඇත. මේ ගී සංකල්පනාව ඒ සංස්කෘතික පවුල ගැන සුන්දර ප්‍රකාශනයකි. මේ ගීතයෙහි ආත්මයෙන් බින්දු මාත්‍රයක් නොවූ සිංහල බෞද්ධ පවුල් එදා නොවීය. අද ඒ සියල්ල උඩු යටිකුරු වී සුදු – කළු වී මුදු – සුමුදු ගුණ දුරුවී අඳුරු වී නොතිබේද? එහෙත්, මාලිනීගේ රසිකයෝ ඇගේ සුරම්‍ය මියුරුසර විඳින පිනැතියෝ වෙති. ඇය සමුගෙන ගියේ එවන් මහා ගීත ගඟුලක් දැයට තිළිණ කරමින්ය. මෙහි වූ අවකාශ සීමිත වූ හෙයින් රසිකයන්ගේ අප්‍රමාණ ආශ්වාදයට ලක්වූ බොහෝ ගී සිහිපත් කරවීමට ද මට නොහැකි විය. ප්‍රේමකීර්ති ලියූ “දූත් එක්ක අමනාපව”, දෙල්තොට චන්ද්‍රපාලගේ, “මළ පොතේ අකුරු”, ලූෂන්ගේම “දම්පාටින් ළා සඳ බැසයනවා” ඇතුළු තවත් ගී රැසකි. කුලරත්න ආරියවංශ, අජන්තා රණසිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න ආදී සමකාලීන රචකයන්ගේ නිර්මාණ ඇයට ලැබුණි. රෝහණ වීරසිංහ, සරත් ද අල්විස්, ඔස්ටින් මුණසිංහ, ක්ලැරන්ස් විජේවර්ධන ආදීහු ඒ ගීත ස්වර රචනා කර සංගීතවත් කළහ. ප්‍රේමයේ විවිධ මනෝභාව, කුටුම්බය දෙදරා යෑම, පීඩිතයන්ගේ සුසුම්, මානව සදාචාරයේ ගාම්භීරත්වය ඒ බොහෝ ගීතවල ප්‍රකාශිතව ඇත. ඇත්ත වශයෙන්ම ඒවා ජාතික, සංස්කෘතික දායාද ලෙස හැඳින්වීම වඩාත් උචිතය. අද ගීතය නමින් වාත්තු කෙරෙන හිස් ඝෝෂාවලින් අපේ ආධ්‍යාත්මයම රිදවන අයුරු කෙසේ ලියම්ද?

කල් යල් බලා රුදුරු මරු දුරු රටකදී ඇය සොරාගත්තේ මොනතරම් සාහසික ලෙසින් ද? යහපත් කලාකරුවන් වේලාසනින් දෙව්ලොවට රැගෙන යන වගක් ද අප අසා ඇත. මරුට ඉඩනොදී ඒ අසිරිමත් කලා පෞරුෂය සුරඹුන් අතට පත්වන්ට ඇතැයි මගේ හදවත මට හඬගා කියයි. කුමක් වුවත් ඇය ගොසින්ය. යළි නොඑන ලෙසම ගොසින්ය. සිහිකෙරෙන, හඬ ඇසෙන කවුරුන් වුව ද හඬවා සැඟවී සිටින ඇයට හිමිවන රසික ප්‍රණාමය කිසිවකුට උදුරාගත නොහැක. මරුට තබා දෙව් බඹුන් සහිත මෙලොව කවරකුට හෝ එය කළ නොහැක්කේමය.

මාලිනී සහ එච්. එම්. දෙදෙනාම සමුගෙන ගියත් ඔවුන්ගේ නුතන සංගීත අපේක්‍ෂාව කසුන් කල්හාර බවද සඳහන් කළ යුතුය.

නිසැකයෙන්ම සැළලිහිණි කිවිඳුන් ලියූ පරිදිම මාලිනී යනු “සෙනෙහස බැඳුණු තැන නොහරින කැර දියුණ” යන්න සිහියට නංවන සුහද කලාකාරියකි. ඇගේත් ඇගේ ප්‍රියයා වූ එච්. එම්ගේත් ආත්මය සුවපත් වනු නිසැකය. ඔවූහු තරමටම අප විඩා නිම් දුරලූ මහා පින්බර කලාකරුවෝය. මැක්සිම් ගෝර්කී වරක් සඳහන් කළේත් කලාකරුවාගේ ප්‍රමුඛ කාර්යය මනුෂ්‍ය වර්ගයාට රසයත්, ශාන්තියත් ලබාදීම බවය. ඔවූහු ඒ උත්තුංග මෙහෙර වෙනුවෙන් අප්‍රමාණ දුඛ්‍ය සෙය්‍යා, දුර්භෝජන ඉවසුවෝය. ජීවිතයෙහි අඳුරු පත්ලෙහි සිට පැමිණ, දුකින් පෙළෙන ජනහද සුවපත් කිරීම බෝසත් සිරිතකි. එබඳු නිර්වචනයක් දිය හැකි දුලබ කලාකරුවන් දෙදෙනකුගේ මතක ආවර්ජනය මොනතරම් සුන්දරද? මගේ මේ දිළිඳු සටහන ඒ යහපත් සහෘදයන් වෙනුවෙන් තැවෙන වනපස මලක්ම වේවා!

● ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment