විරෝධතාකරුවෝ රොෂාන් රණසිංහගේ බැඳිවැව නිවසට පහර දෙති

353

විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් හා බැටන් ප‍්‍රහාර

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් පොළොන්නරුවේ තරුණ තරුණියන් 2000 ක පමණ පිරිසක් ගෙන ගිය විරෝධතාවත් සමග විරෝධතාකරුවන් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පොළොන්නරුව බැඳිවැව පිහිටි නිවසට පහර දී දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 12 දෙනකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව මූලස්ථාන පොලිසිය කියයි.

පොලිසිය පවසන අන්දමට පෙරේදා (04දා) සවස 4.00 ට පමණ පොළොන්නරුව රෝහල හන්දියට රැුස් වූ තරුණ තරුණියන් 2000 ක පමණ පිරිසක් විවිධ සටන් පාඨ කියමින් සටන් පාඨ සහිත පුවරු ඔසවාගෙන විරෝධතාවක යෙදුන අතර සවස 5.00 ට පමණ පෙළපාලියකින් පොළොන්නරුව ඔරලෝසුකණුව අසලට පැමිණ ඇත. ඉන් පසු විරෝධතාකරුවන්ගෙන් විශාල පිරිසක් රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ බැඳිවැව පිහිටි නිවස දක්වා පෙළපාලියෙන් ගොස් ඇත. විරෝධතාකරුවන් පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීමත් සමග කැරලි මර්දන ඒකක කැඳවීමට පොලිසිය ක‍්‍රියාකර ඇත. විරෝධතාකරුවන් පොලිසියේ අණ නොතකා ක‍්‍රියා කිරීම හේතුවෙන් කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. ඉන් කුපිත වූ විරෝධතාකරුවෝ රොෂාන් රණසිංහ මහතාගේ නිවසට ඇතුළු වන ගේට්ටුව කඩා දමා නිවසේ දොරජනෙල් හා ගෘහභාණ්ඩවලට ද හානි කර ඇත. නවතා තිබූ ඩිපෙන්ඩර් රථ දෙකකට ද දැඩි හානි සිදු කර ඇති අතර පොලිසිය කඳුළු ගෑස්වලට අමතරව බැටන් ප‍්‍රහාර ද එල්ල කර ඇත. ඊට යාබදව පිහිටි සිරිසඟබෝ පෙදෙස ශ‍්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිවරුන් කිහිප නමක් ද පහර කෑමට ලක්ව ඇති බව ප‍්‍රදේශවාසීහු කියති. පොලිසිය කඳුළු ගෑස් හා බැටන් ප‍්‍රහාර එල්ල කිරීමත් සමග එකම යුද පිටියක් වූ බවත් විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම් රාත‍්‍රි 11.00 පසු වන තුරුත් පැවැති බවත් ප‍්‍රදේශවාසීහු පවසති.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට පහර දීමේ සිද්ධියට සැකපිට පුද්ගලයන් 12 දෙනකු (04දා) රාත‍්‍රියේම අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මු.පො.ප.සංජීව මහතා පැවසීය. පොළොන්නරුව ප‍්‍රදේශය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ඕෂාන් හේවාවිතාරණ මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බව ද මූලස්ථානාධිපතිවරයා පැවසීය.

රොෂාන් තුෂාර තෙන්නකෝන් – පොළොන්නරුව

advertistmentadvertistment
advertistmentadvertistment