විරෝධතාවයේ තරුණයෝ ජනාධිපති ලේකම් කාර්යාලයට කඩාවදිති

429

ලිපිය භාරගන්න කවුරුත් නෑ කියූ විට පිරිස ලිපිය පුළුස්සති

රටේ නිර්මාණය වී තිබෙන දැඩි ආර්ථික අර්බුද හමුවේ පොදු මහජනතාව පත්ව සිටින අසීරුතාවලට වහා විසඳුම් ලබා දෙන ලෙසට රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පෙළපාලිකරුවන් ඊයේ (18 වැනිදා) දහවල් කොටුව ජනාධිපති ලේකම් කාර්යාල භූමියට ඇතළුවීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත විය.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ‍්‍රය අසල රැකවල්ලා සිටි පොලිසිය හා බැරියර් පෙරළා දමමින් විරෝධතාකරුවන් එම භූමියට ඇතුල් වූයේ විවිධ සටන් පාඨ කියමිනි. ඔවුන් අත විරෝධතා පුවරු ද තිබූ අතර පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් වචන හුවමාරු ද සිදුවන අයුරු දක්නට ලැබිණි.

තරුණ, මැදි වයස් හා වයෝවෘද්ධ පුද්ගලයන් ද මෙම විරෝධතාකරුවන්ට සහාය පළ කරමින් ඔවුන් දිරිමත් කරන අයුරු දක්නට ලැබිණි.

විරෝධතාවයේ තරුණයෝ ජනාධිපති ලේකම් කාර්යාලයට  කඩාවදිති
ලිපිය භාරගන්න කවුරුත් නෑ කියූ විට පිරිස ලිපිය පුළුස්සති

සමාජවාදී තරුණ සංගමය විසින් මෙම විරෝධතා පෙළපාලිය සංවිධානය කර තිබිණි.

ඒ අනුව ඊයේ (18 වැනිදා) පෙරවරු 11.00 ට පමණ කොළඹ ටෙක්නිකල් හන්දිය ප‍්‍රදේශයට එක් වූ තරුණ තරුණියන් විරෝධතා පෙළපාලිය ආරම්භ කළේ පෙරවරු 11.30 ට පමණය.

සටන් පාඨ අතර ප‍්‍රබල ලෙසද හඬ නැගුණ් ‘බඩු මිල අඩු කරව්’, ‘සහන දියව්’ ආදී පාඨය. මීට අමතරව ‘තෙල් පෝලිම් එපා’, ‘ගෑස් දියව්’, ‘කන්න දියව්’ ආදී සටන් පාඨ ද කියමින් පිරිස ටෙක්නිකල් හන්දිය පසුකර දෙපසට විහිද ගියේ උණුසුම්කාරී ලෙස ය.

මරදාන දෙසින් ද, පංචිකාවත්ත දෙසින් ද, පිටකොටුව දෙසින් ද විරෝධතාකරුවන් කණ්ඩායම් ලෙස පැමිණි පසු විරෝධතා පෙළපාලිය මහා ජවයකින් ඉදිරියට ඇදුනේ විශාල වාහන තදබදයක් ද නිර්මාණය කරමිනි.

විරෝධතාවයේ තරුණයෝ ජනාධිපති ලේකම් කාර්යාලයට  කඩාවදිති

‘තෙල් පෝලිම් එපා’, ‘තෙල් ටැංකි ඉන්දියාවට’, ‘යුගදනවිය ඇමරිකාවට’, ‘රට වළපල්ලට’ ආදී සටන් පාඨ ද නැගිනි.

පෙළපාලිකරුවන් ටෙක්නිකල් හන්දියේ සිට පිටකොටුව දෙසට ගමන් ගත්තේ එකම හිස් ගොඩක් ලෙසිනි. ඔවුන් අත විවිධ සටන් පාඨ රැගත් පුවරුය. මයික් එක ගෙන එකෙක් සටන් පාඨ කියවන විට අනෙක් පිරිස ඊළඟ සටන් පාඨය කීවේ උස් හඬිනි. හඬ පිළිරැව් දුනි.

කොටුව දුම්රියපළ යනු සටන්වලට තිඹිරිගෙය ය. ඒ අසල ටික වේලාවක් ගත කළ විරෝධතාකරුවන් දෙස ගමන් බිමන් යන්නට පැමිණි දුම්රිය මඟීහු බලා සිටියහ.

ඉන් පසුව විරෝධතාකරුවන් කොටුව දුම්රියපළ පසුකර ලෝටස් වටරවුමට එන විට පොලිස් නිලධාරීහු බැටන් පොලූ අමෝරාගෙන පාර හරස් කරන්නට මාන බැලූහ. නමුත් විරෝධතා පෙළපාලිකරුවෝ ලෝටස් වටරවුම ද පසුකර ගාලූ මුවදොර දෙසට ඇදෙන්නට වූහ.

කෙලෙස හෝ ගාලූ මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණීමට විරෝධතාකරුවන්ට හැකියාව ලැබිණි. ඉන් ප‍්‍රයෝජන ගත් සමාජවාදී තරුණ සංගමයේ පිරිස ජනාධිපති ලේකම් කාර්යාල භූමියට රිංගා ගත්තේ පොලිස් රැකවල් බිඳදමමිනි. එහිදී දෙපාර්ශ්වය අතර උද්වේගකර බහින්බස්වීම් ද, තල්ලූ කර ගැනීම් ද සිදුවිය. විරෝධතාවයේ උච්චතම මොහොත උදාවූයේ ඒ බිම්කඬේදීය.

‘අපිට ජනාධිපතිවරයාට ලිපියක් භාරදීමට අවශ්‍යයි’ යැයි විරෝධතාවට නායකත්වය දුන් කිහිපදෙනෙකු කියා සිටියේ ඒ අතරය.

‘‘ලිපි භාරගන්න කවුරුවත් නෑ’’ දිගින් දිගටම ලැබුණු ඒ පිළිතුරින් කුපිත වූ විරෝධතාකරුවන් ජනාධිපතිවරයා වෙත භාරදීමට සකස් කර තිබූ ‘සංදේශය’ ඉරා පුළුස්සා දැමුවේ සතර දෙසින් ආ අත්පොළසන්, හූ හඬ හා කෑ කෝ ගැසීම් මැදය.

රටේ සම්පත් කුණු කොල්ලයට බදු දෙන සහ ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දමන මේ ආණ්ඩුව ගෙදර යවන තෙක් තරුණ සංගමය අරගලය අත්හරින්නේ නෑ… ජාතික ජන බලවේගය ලබන 23 වැනිදා ආරම්භ කිරීමට නියමිත විරෝධතාවය සඳහා සමාජවාදී තරුණ සංගමය පූර්ණ සහය ලබාදෙමින් ඊට සහභාගි වනවා යැයිද දිවයිනට අදහස් දැක්වූ එම සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පැවසීය.

මේ වනවිට රටේ නිර්මාණය වී තිබෙන තෙල්, ගෑස්, කිරිපිටි පෝලිම් නිසාත්, බඩුමිල, බස් ගාස්තු මිල ඉහළ යෑම නිසාත් ජනතාව විශාල ලෙස පීඩාවට පත්ව ඇති බවත් පවසමින් විරෝධතාකරුවෝ විරෝධතාවය දැක්වූහ. පසුව විරෝධතාවේ නිරත වූ පිරිස විසිරී ගියේ සටන ඇරඹුණා පමණකැයි සඳහන් කරමිනි.

ශිරාන් රණසිංහ, චමින්ද සිල්වා
ජයාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ, තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment