විරෝධතාවේදී තුවාල ලැබූ නිවිතිගල ජාජබ අපේක්‍ෂක මරුට – කඳුළුගෑස් උණ්ඩයක් හිසට වැදිලා

355

මියගිය නිමල් අමරසිරි මහතා

ජාතික ජනබලවේගය පෙරේදා (26දා) කොළඹදී පැවැත්වූ විරෝධතාවට පොලිසිය එල්ල කළ ජල හා කඳුළුගෑස් ප්‍රහාරයට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි ජාතික ජනබලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්‍ෂක නිමල් අමරසිරි මහතා ඊයේ (27දා) මියගියේය.

61 හැවිරිදි එක් දරු පියකු වූ නිමල් අමරසිරි මහතා රාජ්‍ය වැවිලි සංස්ථාවේ හිටපු පරිපාලන නිලධාරියෙකි.

කඳුළු ගෑස් උණ්ඩයක් ඔහුගේ හිස ප්‍රදේශයට වැදී අමරසිරි මහතා බරපතළ තුවාල ලැබ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

මියගිය අමරසිරි මහතාගේ පුතණුවන් මේ වන විට විදෙස්ගතව සිටින අතර බිරිඳ අසනීප තත්ත්වයේ පසුවෙයි.

හෙතෙම මෙවර නිවිතිගල ප්‍රාදේශීය සභාවට මොරගල්ල කොට්ඨාසයේ සමානුපාතික ලැයිස්තු අපේක්‍ෂක ලෙස මැතිවරණයට තරග කිරීමට නියමිතව සිටියේය.

පොලිසිය එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ 29 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඉන් 13 දෙනෙක් මේ වන විටත් ප්‍රතිකාර ලබති. ප්‍රතිකාර ලබන පිරිසෙන් බහුතරයක් මැදිවිය හා මැදිවිය ඉක්මවූ අය වන බවත් ඔවුන් කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ ශ්වසන ආබාධ මත ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ අතර ජාජබ විරෝධතාවයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් පැය 24 ක් ඇතුළත වාර්තාවක් ඉල්ලා ඇත.

මියගිය අමරසිරි ඇතුළු පිරිස කඳුළු ගෑස් එල්ල වෙද්දී දිවගිය බවද ඒ අවස්ථාවේ ඔහු බිම ඇද වැටුණු බවද ඔහුගේ මිත්‍රයෙකු වූ විජේතිලක මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ටික වේලාවකින් අමරසිරි වමනය දැම්මා. අපි ඔහුව රෝහලට ගෙන ගියා.

ඔහුගේ බිරිඳ වන්නේ විශ්‍රාමික සෞඛ්‍ය නිලධාරිනියක්.
හේමන්ත රන්දුණු, නෝමන් පළිහවඩන, සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment