විල්පත්තුවේ නැවත වන වගාවට මුදල් නොදුන් රිෂාඩ් බදියුදීන්ට නොතිසි

376

යුද ගැටුම්වලින් විපතට පත් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ මුවාවෙන් සිදුකළ විල්පත්තුව අභය භූමිය ආශ්‍රිත අක්කර සිය ගණනක නැවත වන වගාව සඳහා වැය වන බවට ගණනය කර ඇති රුපියල් මිලියන 1067ක මුදල මේ දක්වා රජයට ගෙවා නොමැති හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ඊයේ (06දා) පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.

අභියාචනාධිකරණය විසින් 2020.11.16 වැනිදා තීන්දු ප්‍රකාශය මගින් කළ නියෝගය මේ දක්වා ඉටුනොකිරීමෙන් රිෂාඩ් බදුර්දීන් මහතා අධිකරණයට අපහාස කිරීමේ වරද සිදුකර ඇති බැවින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකර තිබූ නඩුවක් කැඳවූ අභියාචනාධිකරණයේ එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් එම නියෝගය කළේය.

වගාව සඳහා වැයවන බවට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන මුදල රජයට ගෙවන ලෙසට අභියාචනාධිකරණය 2020.11.16 වැනිදා නිකුත් කළ එම තීන්දුව මගින් රිෂාඩ් බදුර්දීන් මහතාට නියෝග කොට තිබූ අතර එම නියෝගයට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනුකර තිබිණි. එම පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීම සඳහා එම පෙත්සම ලබන 28 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළේය. ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment