විල්බාව වැවේ නෑමට ගිය සිසුවියෝ 2 ක් දියේ ගිලී මරුට

670

කුරුණෑගල, විල්බාව වැවේ දිය නෑමට ගිය පාසල් සිසුවියන් දෙදෙනකු පෙරේදා (15 දා) සවස දියේ ගිලීමෙන් මරුමුවට පත්වී ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි.

පෙරේදා සවස් කාලයේ විල්බාව වැවේ දිය නෑමට ගොස් ඇති සිසුවියන් සිව්දෙනකු දියේ ගිලෙන්නට යද්දී ඔවුන් කෑගසා ඇති අතර ශබ්දය ඇසුණු ප‍්‍රදේශවාසීන් වැවට පැන එම සිසුවියන් බේරාගෙන තිබේ. එහිදී ඔවුන් අසාධ්‍ය තත්ත්වයේ පසුවීම නිසා ප‍්‍රදේශවාසීන් ඔවුන් කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

එලෙස රෝහල් ගත කළ සිසුවියන්ගෙන් දෙදෙනකු පසුව මියගොස් තිබේ. අනෙක් සිසුවියන් දෙදෙනා මේ වනවිට රෝහලේ ප‍්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

මියගිය සිසුවියන් දෙදෙනාගේ මරණ පරීක්‍ෂණ ඊයේ (16 දා) පැවැත්වීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳව කුරුණෑගල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දිව්‍යාංජලී චන්‍ද්‍රසේන (13) සහ වැහැර බණ්ඩාරනායක විදුහලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි හුල්හාරා මධුභාෂිනී (14* යන සිසුවියන් දෙදෙනා වේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ  ආර්. එම්. ඩබ්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment