විල්සන් කරු ජීවිත රඟමඬලින් බැස යයි

446

සිංහල සිනමාවේ සටන් නළුවකු සහ සටන් අධ්‍යක්ෂවරයකු වූ ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න මහතා ඊයේ (03 දා) අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 79 හැවිරිදි වියේ පසු විය.

1942 ඔක්තෝබර් 28 වැනිදා කොළඹ, කිරුළපනදී උපන් ඒ මහතා 1974 දී තිරගත වූ ‘හදවත් නැත්තෝ’ චිත්‍රපටයෙන් සිංහල සිනමාවට පිවිසියේය.

සිනමාවේදී දුෂ්ඨයාගේ චරිතයට ජීවය මුසු කරමින් ‘කරූ අයියා’ නමින් සැමගේ ආදරයට පාත්‍ර වූ ඒ මහතා ‘ජීවන ගංගා’, ‘සරදියෙල්ගෙ පුතා’, ‘හිතුවොත් හිතුවමයි’, ‘සීතා දේවී’, ‘හිත මිතුරු’, ‘සෙලීනාගේ වලව්ව’, ‘වීර පුරංඅප්පු’, ‘අපේක්ෂා’, ‘වසන්තයේ දවසක්’, ‘සසරක පැතුම්’, ‘සත්වෙනි දවස’, ‘වාලම්පුරී’, ‘බඹර ගීතය’, ‘බයිසිකලේ’, ‘ජීවිතයෙන් ජීවිතයක්’, ‘සුමිතුරෝ’, ‘ඔක්කොම රජවරු’, ‘නොම්මර – 17’, ‘ශක්තිය ඔබයි අම්මේ’, ‘හොඳ හොඳ සෙල්ලම්’, ‘සසර චේතනා’, ‘දෙමෝදර පාලම’, ‘වැඩ බැරි නම් වැඩක් නෑ’, ‘හිම ගිරි’, ‘පරපුර’, ‘විජය කුවේණී’, ‘ඇහැලේපොළ කුමාරිහාමි’, ‘සංජනා’ සහ ‘තිත්ත ඇත්ත’ ඇතුළු චිත්‍රපට දෙසිය පනහක පමණ රඟපෑවේය.

1987 තිරගත වූ කිව්ලෙගෙදර මොහොට්ටාල ඇතුළු චිත්‍රපට කිහිපයකදී විල්සන් කරුණාරත්න මහතා සටන් අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළ අතර ටෙලිනාට්‍ය නිර්මාණ රැසකට ද රංගනයෙන් දායක විය.

සටන් නළුවන් වූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, රෙක්ස් කොඩිප්පිලි සහ රොබින් ප්‍රනාන්දු යන සමකාලීනයන් සමග සිනාමවේදී සටන් වැදුණු විල්සන් කරූ මෙරට සිනමාවේ ප්‍රවීණ රංගධරයන් වූ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග, ජෝ අබේවික්‍රම ඇතුළු පරපුර සමඟ එක්ව රඟපෑවේය.

අභාවප්‍රාප්ත විල්සන් කරුණාරත්න මහතාගේ දේහය දැනට කළුබෝවිල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද (04 දා) සවස 4.00 ට කිරුලපන කුණුමෝලවත්ත සුසාන භූමියේදී සිදු කෙරේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment