විවාහයේදී සිකුරුට වඩා බලවත් කුජ

2655

‘ග‍්‍රහලොව චණ්ඩියා’ යනුවෙන් විරුදාවලි ලත් අඟහරු හෙවත් කුජ ග‍්‍රහයා අප ජීවත්වන පෘථිවියට ඉතාම සමීප ග‍්‍රහයෙකුවේ. අපගේ ලොවට මෙන් අඟහරු ලෝකයටද දිවා හා රාත‍්‍රී එක ලෙස ඇතිවන බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. කුජ ග‍්‍රහ ලෝකයේ එක් දිනක් අපට මෙන්ම පැය විසිහතරකි.

ජ්‍යොතිෂ ශාස්ත‍්‍රයට අනුව ‘කුජ’ යනු පාපයෙකි. පාපයා කිසිවිටෙක යහපත උදාකරන්නේ නැත. එසේ ලඝු කොට දැක්වූවද, කුජ බලවත්ව කේන්දරයක පිහිටීමෙන් ජන්මීන් හට සිදුවන යහපත් බලපෑම් නම් සුළු කොට තැකිය නොහැක. කළු වළාකුලේ රිදී රේඛාවන් ඇති සේ දඩබ්බර කුජගෙන් වුවද, මනුෂ්‍යයාට බොහෝ යහපත් දේ ප‍්‍රදානය කෙරෙන බව අපගේ පර්යේෂණයන්ගෙන් හෙළිවී තිබේ.

මනුෂ්‍යයා තුළ ආත්මවිශ්වාසය ඇති කරවන කුජ, නිර්භීතකම, ධෛර්යය, ඉදිරියට යෑමේ ශක්තිය, තේජවන්ත බව, ඔරොත්තුදීමේ ශක්තිය, ස්ථිර භාවය, තීක්‍ෂණ ඥානය, සටන්කාමිත්වය වැනි යහපත්වූ ගුණාංග ජන්මියා තුළ ඇතිකරවීම ස`දහා දක්වනුයේ ප‍්‍රබල දායකත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

නව ග‍්‍රහයින් අතරින් මනුෂය්‍යන්ගේ විවාහයට තදින්ම බලපෑම් කරනුයේ සිකුරුට වඩා කුජය. ඒ බව පසුගිය සතියේ පැහැදිලි ලෙස පෙන්වා දුන්නෙමු. දැරියකගේ මල්වරයේ සිට විවාහය දක්වා සිදුවන කි‍්‍රයාවලියේදී කුජ හෙවත් අඟහරුගේ දායකත්වය ඉතා ප‍්‍රබල බව පෙන්වාදුන් අතර මෙම සතියේ ඔබ හමුවේ තබනුයේ හතේ කුජ සමඟ අන්ග‍්‍රහයන් එක්වීමෙන් හෝ දෘෂ්ටි වැටීමෙන් සිදුවන ශුභ හෝ අශුභ විපාක විවාහයට බලපාන ආකාරයයි.

හතේ සිටින කුජ ග‍්‍රහයා, රවි ග‍්‍රහයාව දුටුවහොත් විවාහයෙන් වෙන්වීම සිදුවේ යැයි මහා සෘෂීන් පවසා ඇත. එමෙන්ම ස්ත‍්‍රීන්ගේ හත්වැන්නේ පිහිටන ලද කුජට වඩා පුරුෂයන්ගේ හතේ සිටින කුජ දරුණු බව පර්යේෂණ මගින් හෙළිවී ඇති අතර භාර්යාවගේ අකල් වියෝව ස`දහා පුරුෂයාගේ හතේ පිහිටන ලද කුජ, වැඩි දායකත්වයක් දක්වන බව තහවුරු කරගෙන තිබේ.

 හත්වැන්නේ කුජ සිටින ස්ත‍්‍රීන්ගේ ස්වාමිපුරුෂයා, තේජවන්ත පෙනුමක් ඇති ප‍්‍රසිද්ධ අයෙකු වන අතර තම ස්වාමිපුරුෂයා නිසා එවැනි භාර්යාවන් සමාජයෙහි බැබළෙනු ඇත. නිර්භීතව සමාජයෙහි ගැවසෙන හතේ කුජ පිහිටන ලද ස්ත‍්‍රීන්, බොහෝවිට පුරුෂාධිපත්‍යය යටකරගෙන නැගී සිටින්නියක් බව තහවුරු වී ඇත. ඇය සාමාන්‍යයෙන් ආඩම්බරකාරියක වන අතර දැනුම් තේරුම් ඇත්තියක සේ පිරිසකට නායකත්වයද දෙනු ලබයි.

ලග්නය තුලාව වී, හත්වැන්න වූ මේෂයේ කුජ තැන්පත්වීම ඉතා යහපත් මෙන්ම, බලවත් පිහිටීමක් වේ. පුරුෂ කේන්දරයේ හතේ සිටින කුජට එය එක් චින්තන මාරක ස්ථානයක් වනු ඇත. එම මාරක තත්ත්වය උදාකර වීම ස`දහා කුජට එම අවසරය හෝ බලය ලබාදෙන්නේ හත අධිපතියාගේත්, ස`දුගේ හා සිකුරුගෙ ප‍්‍රතිකි‍්‍රයාවන් වේ. හත අධිපතියා කුජට වඩා බලවත්ව සිටිය යුතු අතර සඳු හා සිකුරු 7අධිපතියා අභිබවා යෑමට සමත්විය යුතුය.

එමෙන්ම ජන්මියාගේ ආයුෂ කාරකයාද එම අවස්ථාව වනවිට දුර්වල තත්ත්වයක සිටිය යුතුය. එලෙස බලන කල ‘‘චින්තන මාරක ස්ථානය’’ සම්පූර්ණ වීමට නම් පහසු අවස්ථාවක් උදාවෙතැයි සිතිය නොහැක. ඉහතින් දක්වන ලද අවස්ථා තුනම සම්පූර්ණ වීම සිදුවනුයේ මුළු ජීවිත කාලයටම එක් වරක් පමණි. එය ඉතාම දුර්ලභ මාරක අවස්ථාවක් වන අතර වැඩි දෙනකුට එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවන්නේ නැත.

හතේ කුජ පිහිටන ලද කාන්තාව, මල්වර වීමත් සමඟ පිරුණ අඟපස`ගින් යුත් තැනැත්තියකගේ ස්වරූපය ගන්නා අතර අඩු වයසින් විවාහවීමටද එය හේතුවක් වනු ඇත. ඒ වන විට රාහු මහ දශාව ලබා සිටියේ නම් එය ඒ ආකාරයෙන්ම සිදුවීම වැළැක්විය නොහැකි බව අත්දුටු සත්‍යයකි. තවද හතේ කුජ බලවත්ව (වෘෂභ, කටක හා තුලා ලග්නයෙන් උපන් අයගේ හත්වැන්න බලවත්ය* පිහිටන ලද කාන්තාවන්ගේ වයස, ඇය වයසට ගියත් පෙන්නුම් කරනුයේ ළාබාල පෙනුමකි. එමෙන්ම ඔවුන් තමන්ට ස්වභාවයෙන්ම ලැබුණු රූමත්කම තවතවත් ඔපමට්ටම් කර ගැනීමට සිය කාලයත්, ධනයත් වැය කරනුයේ කිසිම ලෝභකමක් නැතිවය.

වයසට යන්නට පළමුව තුරුණු වියේ අග කොටසේදීම ‘‘ආච්චි අම්මලා’’ බවට පත්කරවීම හතේ කුජගේ තවත් වික‍්‍රමයකි. ඊට හේතුව අඩු වයසෙන්ම විවාහ වී දරු සුරතල් බලා දරුවන්ගේ දරුවන්ද සුරතල් කිරීමට අවස්ථාව හිමිවීමයි. ඇත්තටම හතේ කුජට පින්සිදුවන්නට එම ආච්චිලා, සීයලා හැබෑම වාසනාවන්තයන් බව අමුතුවෙන් කිය යුතු නැත.

කුජ හතේ සිටින කාන්තාවන්ගේ විවාහය සිදුවන්නේ ළාබාල වියේදී හිතුවක්කාර අන්දමින්ය. පේ‍්‍රම සබ`දතාවයක් මුල්කර ගනිමින් එවැනි විවාහ බොහෝ විට සිදුවන්නේ දෙමාපිය හා ඥාති විරෝධතා මධ්‍යයේ වීම විශේෂත්වයකි. ඔවුන්ට ලැබෙන දරුවන්ද, අඩු වයසින් ළාබාල වියේදීම විවාහ වන බව බොහෝවිට දැක තිබේ.

හතේ කුජ සිටින පිරිමියාට හත්වැන්නේ කුජ සිටින ස්ත‍්‍රියක් හෝ හතේ කුජ සිටින ස්ත‍්‍රියට හතේ කුජ සිටින පුරුෂයකු විවාහ කර දීම අතීතයේ සිට එන සිරිතකි. එය සිරිතකට වඩා උපක‍්‍රමයකි. දෙදෙනාගේම කුජ හත් වැන්නේ බැවින් දෙදෙනාම එකිනෙකාට පරදින්නේ නැත. බලන විට දෙදෙනාම චණ්ඞීන්ය. චණ්ඩියකු අනික් චණ්ඩියා දෙස හැම විටෙකම වගේ බලන්නේ සැකමුසුවය. එමෙන්ම චකිතයකින් යුතුවය.

පවුල් ජීවිතයට අවශ්‍යම වන්නේ එකිනෙකාට දක්වන ගෞරවයයි. එම ගෞරව සම්ප‍්‍රයුක්ත බිය දෙදෙනාගේ චකිතය තුළ අන්තර්ගතව ඇති අතර පවුලේ සාමයට ඇති එකම මාර්ගයද එයම වනු ඇත. පවුල් අවුල් අඩුකිරීමේ උපක‍්‍රමයක් ලෙස අතීතයේ සිටම භාරතීය සංස්කෘතිය තුළද මෙම ක‍්‍රමය භාවිත කර ඇති බවට සාක්‍ෂි තිබේ.

සමහරු හතේ කුජ පිහිටන ලද කේන්දරවලට හතේ ශනි සිටින කේන්දර ගැළපේ යැයි කියා ඇත. එයද උපක‍්‍රමයකි. සෙනසුරු ලෝකෝත්තර බව නියෝජනය කරන, තිර ගුණයෙන් යුත් ග‍්‍රහයෙකු බැවින් විවාහය කඩා බි`ද දමාගෙන යෑමට දෙදෙනාට ඉඩ නොදෙන බව තහවුරු වී තිබේ. හතේ කුජ සිටින කේන්දරවලට හතේ ශනි සිටින කේන්දර ගැළපීම සුදුසු බව පැරණි ජ්‍යොතිෂඥයන් ප‍්‍රකාශ කර ඇත්තේ එනිසා විය හැකිය.

හතේ කුජ සිටින කේන්දරවලට තවත් සමහරු හතේ රාහු සිටින කේන්දර සොයන අවස්ථා අප දැක තිබේ. ඒ පිළිබ`දව සොයා බැලීමේදී එහි ඇති රහස කුමක්දැයි වටහා ගැනීමට අපට හැකිවිය. හතේ රාහු පිහිටි ජන්මියාට පෙර හත්වැන්නේ කුජ සිටින්නා මියයන බවට පිළිගත් මතයක් ඇත. හතේ කුුජට වඩා හතේ රාහු අනතුරුදායක බවට සමාජ සම්මතයක් ගොඩනැගී තිබීම ඊට හේතුව වී තිබේ.

එය දැඩි ආත්මාර්ථකාමී කි‍්‍රයාවකි. තම ජීවිතයට වැඩි අගයක් ලබාදී අනෙකාගේ ජීවිතය අඩුවෙන් තක්සේරු කිරීමක් ලෙස පෙන්වා දිය හැක. මෙම කපටිකම මනුෂ්‍යයන් වන අපට තරම් නොවටින්නකි. සාධාරණ කි‍්‍රයාවක් ලෙස එය අපට කිසිසේත්ම අනුමත කළ හැක්කක් නොවේ. එමෙන්ම එය කිසිදාක යහපත් විවාහ ගැළපීමක් ලෙස අපට පෙන්වා දිය නොහැක.

ලග්නය වෘෂභ, කටක සහ තුලා වීමෙන් එම ලග්නවල හත්වැන්නේ කුජ පිහිටීමෙන් පංචමහා පුරුෂ යෝගයක් වන ‘රුචක’ නමැති බලවත් යෝගය නිර්මාණය වේ. එසේ හත්වැන්නේ කුජ පිහිටි ජන්මීන් සැබෑම වාසනාවන්තයන් වෙති. මන්ද, එම යෝගය රාජයෝගයක් සේ කි‍්‍රයාත්මක වන බැවිනි. මෙම යෝගය යෙදුණු ජන්මීන් කෙරෙන් නිර්භීත බව, තේජාන්විත බව, මෙන්ම ආඥාදායක බවක්ද දස්වේ. සවිබල දේහයකට උරුමකම් පෙන්වනු ඇත. සාම්ප‍්‍රදායානුකූල සිරිත් විරිත් හිස් මුදුනින් පිළිගන්නා මොවුන් ආගම දහමට හා ඒවා ඇදහීමට ප‍්‍රධාන තැනක් දී ක‍්‍රියාකරන්නෝ වෙති.

ඉහත දක්වන ලද කරුණුවලට අනුව බලන කල හතේ තැන්පත් වූ බලවත් කුජ, මිනිසුන් හිතන තරම් නරක නැත. කවුරු කෙසේ කීවත්, හතේ කුජ සිටින කේන්දරවලට හතේ කුජ, ශනි හෝ රාහු සිටින කේන්දරවලට වඩා, හතේ ශුභයින් සිටින කේන්දර වඩාත් සුදුසු බව අපගේ ගුරුපරම්පරාවේ මතයයි. එමෙන්ම අපගේ අත්දැකීම් අනුවද එය සනාථ වී තිබෙන අවස්ථාවන් වරක් දෙවරක් නොවන බව සතුටින් ප‍්‍රකාශ කළ හැක.

පාරම්පරික ජ්‍යොතිෂවේදී, අංක විද්‍යාවේදී හා ගුප්ත විද්‍යාවේදී
කොටදෙණියාවේ ඩග්ලස්
නිමලවංශ, ගුණවර්ධන
බෝමුගම්මන පාර,උළුකඬේහන්දිය
හොරගස්මුල්ල, දිවුලපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment