විවාහය ප්‍රමාද නම් මේවා අත්හරින්න

1315

“හරි වැඩේ නොවැ මල්ලියෙ, තවම පොඩි දුවට කටයුත්තක් හරි ගියෙ නෑ නෙවැ..”

අනුල අක්කා මුහුණ නරක් කරගෙන කීවේ මෙවර පොරොන්දමත් ගැළපෙන්නේ නැති බව ම’විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇතිවූ කලකිරීම සහිතවය. අනුලක්කා ප්‍රසිද්ධ රජයේ ආයතනයක නිලධාරිනියක ලෙස විශ්‍රාම ලබා සිටින්නීය. ඇයගේ දුව වයස තිස්දෙකට ආසන්න වූ උපාධිධාරිනියක වුවද තවමත් අවිවාහකය. රජයේ ආයතනයකම සේවය කරයි.

“බලන්ඩකො ඉගෙනීමෙන් අඩුවක්ද? රූප ලස්සනද? මොනව වෙලාද මන්දා?” අනුලක්කා තවදුරටත් තම අසහනය වචන වලට පෙරළමින් සිටී. මම උදව්වක් දීම මැනවැයි සිතුවෙමි.

“අර ඉස්සරහ බුක්ෂොප් එකේ අයිතිකාර මහත්තය ඉන්නව නේද ”

“ඔව් ඔව් සේනාරත්න නේ..”

“අන්න එයා දියුණුවෙන කෙනෙක්. දැනටමත් ගෙවල් දොරවල් හදල වාහන එහෙමත් තියෙනවා. උපාධිය තිබුණට රස්සාවලට ගිහිල්ල නෑ, තමන්ගෙම ව්‍යාපාරයක් කරන්න කැමැති නිසා..”

මම කවදාවත් නොකරන මඟුල් කපුකමක් උදෙසා මෙසේ කීවේ අනුලක්කාගේ නෑදෑකමත් සේනාරත්නගේ හිතවත්කමත් නිසාය. නැතුව ගතමනාවක් කඩාගැනීමට නොවේ.

“හැබැයි ඉතිං පොරොන්දම් එහෙම බලන්න ඕන. අක්ක කැමැති නම් මං අහල බලන්නං…” මම කීවෙමි.

අනුලක්කාගේ මුහුණ හැකිළුණාය. එකවරම කලබල වුණාය.

“අපෝ මල්ලියේ බිස්නස්කාරයෙක් නේ..”

“ඉතිං මොකද ”

“අනේ මල්ලියෙ අපි හොයන්නෙ පැන්ෂන් එකක් ගන්න පුළුවන් රජයේ රස්සාවක් තියෙන කෙනෙක්. ඔය බිස්නස්කාරයො කවද වැටෙයිද දන්නෙ නෑනේ. ස්ථාවරයක් නෑ..”

“එතකොට ආරක්‍ෂක අංශෙ”

“ඒ මිනිස්සුන්ටත් දුව වුණත් කැමැති නෑ. ආමි එකේ, පොලිසියෙ අයනම් එපා කියන්නෙ..” ඒ මිනිස්සු විශ්වාස නෑ. ඇත්තටම මං වුණත් හිතන්නෙ එහෙමයි.

අනුලක්කාගේ දුව “රූපිකා” නම් වුවද දැන් ඇය වයස 32 ක්වූ වියපත් වෙමින් සිටින කාන්තාවකි. ඇයගේ කේන්ද්‍රය අනුව ද විවාහ ප්‍රමාද පෙන්වයි. දැන් ඇයට සෙවිය යුතු මනාලයා ද වයස 32 ට වැඩි කෙනකු විය යුතුය. වයස 32 වනවිට තරුණයන්ගෙන් වැඩිදෙනකු විවාහ වී සිටී. ඒ ප්‍රමාණය සියයට හැත්තෑපහක්වත් වනු ඇත. ඉතිරි වන්නේ සියයට විසිපහකි. එයින් ද රූපිකාගේ උපාධියට ගැළපෙන කෙනකු අවශ්‍ය බැවින් තවත් සියයට දහයක්වත් ඉවත් වේ. ඉතිරි සීයට පහළොවක් ද බිස්නම් කාරයෝ ද ආරක්‍ෂක අංශවල ඇත්තෝ ද ඉවත්කළ යුතු බව ඔවුන්ගේ මතයයි. ඉන් පසුව වඩා දුර අය ද, ගමේ අහලපහල අය ද දුප්පත් අය ද ඉතා ධනවත් අය ද කුල භේද ජාති භේද අනුව ද ඉවත් කළ විට අංක ගණිතය අනුව මේ ප්‍රශ්නය විසඳාගැනීම දුර්ලභ බව පෙනෙන බැවින් මම නිහඬ වුණෙමි. අනුලක්කා ආපසු ගියාය.

තවත් මාස ගණනකට පසුව මා හමුවට ආවේ ඇයගේ සැමියාය. ඔහු පැමිණ සිටියේ අනුලක්කා අසනීපව පසුවන බැවින් කේන්ද්‍රය බලවා ගන්නටය. සැබවින්ම ඇය බරපතළ අපලයක් පසුකරමින් සිටියාය.

“දැන් කොහොමද රූපිකා දුව බැන්ද ද?” මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි.

“අනේ නෑ.. තවම ඒකත් හරි ගියෙ නෑ නෙවැ..” රූපිකාගේ විවාහ ප්‍රශ්නය විසදාගත නොහැකිවම පිළිකා රෝගයකින් පෙළුණු අනුලක්කා මියපරලොව ගියාය. අවමංගල උත්සවයටත් තුන් මාසය දානයටත් සහභාගි වූ පසුව මේ කතාව මතක තබාගැනීමට මට වුවමනාවක් තිබුණේද නැත. වරෙක අනුලක්කාගේ සැමියා හමුවී මට කීවේ මෙවැනි කතාවකි.

“දුව අපට ගැළපෙන්නේ නැති කසාදයක් කරගත්ත. ඒ මිනිහා කලින් කසාද බැඳල ගෑනි මැරිච්ච ගමේම මිනිහෙක්. වයසත් අවුරුදු පහළොවක් විතර වැඩියි. ළමයෙකුත් ඉන්නව. මොනව කරන්නද?”

රූපිකාගේ ප්‍රශ්නය විසඳී ඇත්තේ අභාග්‍ය සම්පන්න ලෙසටය. විවාහ ප්‍රමාදයට හේතු කේන්ද්‍රවල ඇති අතර ඒවාට පිළියම් ද තිබේ. එහෙත් මේ මිනිසුන් වර්ග කිරීම හා මිනිසුන් පිළිබඳව දරන මිත්‍යා විශ්වාස නිසා ඇතිවන විවාහ ප්‍රමාදයට වගකිවයුත්තේ විවාහපේක්‍ෂිත තරුණ තරුණියන් හා මවුපියන් බව නොකියාම බැරිය.

ආරක්‍ෂක අංශයක සේවය කරන තරුණියන් එම අංශවලම තරුණයන් ගැන කැමැත්තක් නැත. වෛi අංශයේ හෙදියන් “වෛiවරුන් නම් එපා” කියයි. ගුරුවරිය ද බොහෝවිට තම ක්‍ෂේත්‍රයේ ගුරුවරයකුට කැමැති නොවේ. සල්ලි බාගේ ඇති පවුලක ව්‍යාපාරික තරුණයකුගේ මවක් කියන්නේ “ඔය රස්සා කරන අය නම් ඕන නෑ.. හැබැයි ගුරුවරියක් කමක් නෑ… යනුවෙනි.

උඩරට පළාතක දරුවකුට විවාහ සහකරුවකු සොයන මවක් පහත රට අය ගැන මෙසේ කියනු ඇත.

“අපෝ දන්නැද්ද ඔය පල්ලෙහා පළාත් වල ගෑනු කට සැරයි. හරි දරුණු මිනිස්සුනේ…”

එමෙන්ම තවත් ඉහළ තනතුරක් හෙබවූ මවක් මෙසේ කීවාය.

“අයියෝ උඩරට මිනිහෙකුට නම් මම කවදාවත් දුව දෙන්න නෑ. මහ නෝංජල් මිනිස්සු.”

එසේ පැවසුව ද මෙම දියණිය අවසානයේ විවාහ වුණේ. උඩරට හෝ පහතරට කෙනකු සමඟ නොව පිටරටක සුද්දෙකු සමඟ බව දැනගන්නට ලැබුණි.

අප ඉහත සඳහන් කළේ බාහිර කරුණු පිළිබඳව දරන මිත්‍යා මත හේතුවෙන් විවාහ ප්‍රමාද කරගන්නා අය පිළිබඳවය.

ජාතියේ පුනරුදයට දායක වූ බොහෝ විද්වතුන් නායකයන් ස්වාමීන්වහන්සේලා පහත රටින් බිහිවී තිබේ. ජාතික වීරවරයන් අවසානය දක්වා ජාතිය ආරක්‍ෂා කළ වීරයන් හා බුද්ධිමතුන් උඩරටද සිටී. ආරක්‍ෂක අංශ ද එසේම ය. මා දන්නා එක්තරා යුද හමුදා මේජර්වරුන් දෙදෙනකු හරියටම පංචශීලය ආරක්‍ෂා කිරීමට කැපවී සිටින අතර දිනපතා නින්දට යන්නේ තුන්සූත්‍රය සජ්ඣායනා කළ පසුවය. යුද හමුදා, පොලිසිය ආදී ආරක්‍ෂක අංශ වල සැබෑ ආගමික චරිත බොහෝය. මා සිල් සමාදන් වන පිරිසේ කැපීපෙනෙන චරිතය තරුණ වෛiවරයෙකි. ධර්මය අනුගමනය කරන වෛiවරුන් බොහෝය. මා හිතවත් ධනවත් ව්‍යාපාරික මහතකු නිතර විහාරස්ථාන වලට ද මිනිසුන්ට ද මුදලින් ආධාර කරයි. ලක්‍ෂ ගණනින් ආධාර කරන හේ කිසිදිනෙක තමන්ගේ නම ප්‍රචාරය කරවා ගන්නේ ද පෙරහැරේ ගමන් කළේ ද නැත. ආධාර දුන් බව දන්නේ හාමුදුරුවන් හෝ දායක සභාවේ ටිකදෙනකු පමණි. ටියුෂන් ගුරු මුදලාලිලා මෙන්ම ගුරු දෙව්වරුන් ද සිටින බව රහසක් නොවේ.

මේ අනුව මිනිසුන් උඩරට ද පහත රට ද රජයේ රැකියාවක් ද නැද්ද. ආරක්‍ෂක අංශ ද, වෛi ද ගුරු ද යන බෙදීම් අනුව වර්ග කළ හැකි නොවන්නේය. මේ හැම ක්‍ෂේත්‍රයකම සැබෑ මිනිසුන් මෙන්ම වංචනිකයන්, බේබද්දන්, කාමයේ වරදවා හැසිරෙන්නන් ද සිටී. මේ බව විවාහයට සහකාරයකු සොයන විවාහපේක්‍ෂිත යුවතිපතීන් මෙන්ම එම දෙමාපියන් ද වටහා ගැනීම අවශ්‍ය වේ. නැතහොත් ඉහත රූපිකාටත්, අනුලක්කාටත් අත්වූ ඉරණම අන් අයටත් අත්වීමට ඉඩ ඇති බව වටහා ගත යුතු වේ.

කේන්ද්‍ර මගින් ද බාහිරව ද අවශ්‍ය දේ නොව අනවශ්‍ය හා වැරදි දේ සොයා බැලීම අවාසනාවකි. විවාහයට සහකරුවකු සොයන විට බැලිය යුත්තේ ඔහු හෝ ඇය කොතෙක්දුරට පරිණතද? යන්න වේ. එනම් සමාජය හා පරිසරයට ගැළපෙන සේ දිරිමත්ව ජීවත්වන්නට දන්නේ ද යන්නය. සමහර අය නිතර සමාජය සමඟ ගැටුම් ඇතිකරගන්නා අතර සමාජය අනුමත නොකරන ක්‍රියාවල නිරත වෙති. මේ හැර අනාගතයේ ඇති විය හැකි ප්‍රශ්නවලට නොබියව මුහුණදී දියුණුව ලැබීමට තරම් ඉලක්ක හා අරමුණු ඇති කෙනෙක් ද යන්න බැලිය යුතුවේ.

විවාහ ප්‍රමාදයට හේතු වන කලත්‍රදෝෂ කේන්ද්‍රයේ තිබේ. කාලසර්ප යෝගය, හත්වැන්නේ කුජ වැනි පාපග්‍රහයින්ගේ පීඩාවට ලක්වීම, බරපතළ ග්‍රහ අපල පවතින කාලයන් වීම ආදිය එම කරුණු වේ. මේ හැර ශනි මංගල යෝගය වැනි යෝග ද විවාහ බාධා ඇති කරයි. මේවා කර්ම විපාක වේ. මෙම දෝෂ ශාන්ති කර්ම මගින් සමනය කළ හැකි වුවද තමන් බලාපොරොත්තු වන රැකියාවක යෙදෙන කෙනකුම සෙවීම ප්‍රායෝගික නොවේ.

තවද විවාහ සහකරුගේ නොවැදගත් බාහිර කරුණු වලට වඩා සෙවිය යුතු දේ තිබේ. අඩු ආයුෂ දක්වන යෝග තිබේද යන්න එයින් ප්‍රධාන වේ. ආයුෂ නැතිනම් සියල්ල නිෂ්ඵල වන බැවිනි. මේ හැර බහු විවාහ යෝග තිබේද යන්නද විමසිය යුතුවේ. සමහරුන්ට එක ගණනකට වැඩි විවාහ කේන්ද්‍රය අනුව පෙන්වයි. වඩාත් ප්‍රමුඛ වන්නේ ශරීර ස්වභාවය හා පෙනුම බාහිරව ගැලපේද යන්නය. බැලූ බැල්මටම ගැලපෙන යුවලක් යැයි පෙනීම මෙයින් අදහස් වේ.

විවාහ ප්‍රමාදය වළක්වා ගත හැකි හා ඉක්මනින් විවාහය සිදුවන ආකාරයට කරන ශාන්ති කර්ම ඇතත්, ඉහත පරිදි මිනිසුන් වර්ග කර මිත්‍යා දෘෂ්ටියකින් බලන කෙනකුට විවාහයක් සිදුකිරීමට ඇති බාධාව තම තමන්ම වළක්වා ගත යුතු එකකි. විවාහය ද කර්ම විපාකයක් බව පෙනේ. එය වළක්වන්නට තැත්කිරීම මුලාවක් බව අවසන් වශයෙන් පැවසිය යුතුව තිබේ.

විවාහය ප්‍රමාද නම් මේවා අත්හරින්න

කෑගල්ල –  සුනිල් කුමාර ගම්ලත්
 දු.අංකය – 0771 234 313

advertistmentadvertistment
advertistmentadvertistment