විවාහ වී එක් දිනයි – කොස්තාපල් මනමාළිය මන්න පහරක් කා රෝහලේ

1101

පහර එල්ල කළ කොස්තාපල් සැමියාගේ ලොකු අම්මාගේ පුතා අත්අඩංගුවට
හෝම් කමින් එකත් කැන්සල්

අලු‍ත විවාහ දිවියට පත් පොලිස් කොස්තාපල්වරියකට කොස්තාපල් සැමියාගේ ළඟම ඥාතියෙකු විසින් එල්ල කළ මන්නා පිහි පහරකින් හිසට සහ එක් අතකට තුවාල සිදුවී ඉකුත් 27 වනදා රාත්‍රියේ වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නුංගමුව පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ මීරිගම ප්‍රදේශයේ පදිංචි, තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ තූර්යවාදක කණ්ඩායමේ සේවය කරන පොලිස් කොස්තාපල්වරියක වන අතර ඇය එම තූර්ය වාදක කණ්ඩායමේම පොලිස් කොස්තාපල්වරයෙකු සමග ඉකුත් 25 වන දින විවාහ දිවියට පත්ව ඇත්තේ මීරිගම ප්‍රදේශයේ හෝටලයක දී බව විමර්ශනවලින් හෙළි වේ.

තුවාල ලබා රෝහල් ගත කර ඇති පොලිස් කොස්තාපල්වරියගේ දෙවන දිනයේ විවාහ මංගල උත්සවය 28 වන දිනට යෙදී තිබූ අතර එම උත්සවයේ අවශ්‍යතාවක් සඳහා පොලිස් කොස්තාපල්වරිය හා කොස්තාපල්වරයා 27 දින රාත්‍රියේ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටිය දී වේයන්ගොඩ කුඹල්ඔලු‍ව පහේ කණුව අසල පිහිටි ඔවුන්ගේ ඥාති නිවසක් ඉදිරිපිට යතුරුපැදිය නවතා ඇත. එහිදී කොස්තාපල්වරයාගේ ලොකු අම්මාගේ පුත්‍රයා සමඟ බහින්බස් වීමක් සිදුව ඇත. එම බහින් බස් වීමකින් අනතුරුව යතුරුපැදියේ පිටුපස වාඩි වී සිටි පොලිස් කාන්තාවට එම පුද්ගලයා විසින් මෙසේ මන්නයකින් පහර දී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

තුවාලකාරියගෙන් ප්‍රකාශයක් ගත නොහැකි මට්ටමක ඇය පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. සිය විවාහක බිරිඳ රෝහල් ගත කිරීමෙන් අනතුරුව පොලිස් කොස්තාපල් සැමියා සිද්ධිය පිළිබඳව නුංගමුව පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත නුංගමුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනිණි.

ප්‍රහාරයට යොදාගත් මන්නා පිහිය සොයා ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.

නුංගමුව පොලිස් ස්ථානාධිපති බී.ඒ.ඩී.ඒ. සමරසිංහ මහතා සහ පොලිස් සැරයෙන් 59 944 බලපිටිය ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරති.
වේයන්ගොඩ ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment