විශ්මයලන්තය ඇතුළේ ආශ්චර්යය සොයා ගියෙමි

218

අනාගතය වෙනුවෙන් වර්තමානය සැලසුම් කිරීම යනු එක්තරා අන්දමක දාර්ශනික සිතුවිල්ලක් යැයි මට සිතේ. ඒ දාර්ශනික සිතුවිල්ල විටෙක සිහිනයක් විය හැකිය.

පුද්ගලයෙක්, සරල පවුලක්, මහා පවුලක්, කුඩා සමාජයක්, සමාජයක්, ජාතියක් වශයෙන් සමාජය තුළ බෙදී වෙන්වී සිටින අප සැවොම අපගේ අනාගතය සැලසුම් කර ගැනීම කෙරෙහි වඩාත් උනන්දුය. අප බැංකුවල ඉතිරි කරන්නේ, දරුවන්ට උගන්වන්නේ, ගේ දොර හදන්නේ, ඉඩකඩම් සංවර්ධනය කරන්නේ, අධිවේගී මාර්ග සාදන්නේ සහ නගර නිර්මාණය කරන්නේ අපේ භෞතික ලෝකය අනාගතයට ගැළපෙන පරිදි සැලසුම් කර ගැනීම සඳහාය.

එහෙත් අනාගතය යනු කුමක්ද? එහි කාල වකවානු කවරක්ද යන ප‍්‍රශ්නය අපට තිබේ.

ලොව බොහෝ දියුණු රටවල් අනාගතය සැලසුම් කරන්නේ තවත් අවුරුදු 100 කින් එපිට සමාජයක් ඉලක්ක කරගෙනය. තවත් අවුරුදු 100 කින් එපිට ඇති ලෝකයක් ඉලක්ක කරගෙනය. නමුත් අපි…?

අපේ සැලසුම් රට කරවන නායකයන්ගේ ධුර කාලවලට හා ඒ සැලසුම් නිර්මාණය කරන නිර්මාණ ශිල්පීන්ගේ ඉතිරි ආයු කාලවලට වඩා දීර්ඝ වන්නේ නැත.

අන් රටවල් ලොව උසම ගොඩනැ`ගිල්ල හදන්නට පොරකද්දී, එක් අතට මංතීරු 13 ක් 15 ක් සහිත අධිවේගී මාර්ග සාදද්දී අපි එක් පසට මංතීරු 2ක් සහිත අධිවේගී මාර්ග හදන්නේ ඒ නිසාය. පුංචි බිම්කඩක් තියාගෙන ඊශ‍්‍රායලය මුළු මහත් මැදපෙරදිගටම එළවළු පලතුරු ටික කන්න දෙද්දී අපි තාමත් යැපුම් මට්ටම සපුරා ගන්නවත් බැරි ගොවිතැනක ‘වත්මන්’ සැලසුම් මැද වල්මත් වී ඉන්නේ ද ඒ නිසාය.

අනාගතය තව වසර 100 කටත් වඩා එපිටින් ඇත්තකැයි සිතා සමාජය සැලසුම් කරන සංකල්පයක් වටා ගොනු වූ විශ්මය දනවන ප‍්‍රදර්ශනයක් දැකබලා ගන්නට පසුගිය දිනක මටත් හොඳ අවස්ථාවක් ලැබිණි.

ඒ දුලබ අවස්ථාව මට ලැබුණේ සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ප‍්‍රදීප් අනුර කුමාර මහතාගේ සංවිධායකත්වයෙන් සංවිධානය වුණ ඩුබායි සංචාරයේදීය.

විශ්මයලන්තය ඇතුළේ ආශ්චර්යය සොයා ගියෙමි

පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් ඇරඹුණ මෙම සංචාරයේ අරමුණ වූයේ මේ දිනවල මහත් උත්කර්ෂයෙන් යුතුව ඩුබායිහි පැවැත්වෙන එක්ස්ෆෝ 2020 ප‍්‍රදර්ශනයට සහභාගි වීමයි.

ඩුබායි කොහොමටත් මේ ලෝක තලාවේ විශ්මය දනවන පුරවරයයි. එක්ස්ෆෝ 2020 වූ කලී ඒ විශ්මය දනවන පුරවරයේ ආශ්චර්යයයි. එක්ස්ෆෝ ප‍්‍රදර්ශනයේ වත්මන් මුහුණුවර ගැන කතා කරන්නට කලින් එහි ඉතිහාසය අරමුණු හා ස්වභාවය ගැන යමක් කිවයුතුව තිබේ.

මුල් වරටම එක්ස්ෆෝ ප‍්‍රදර්ශනය සංවිධානය වන්නේ බටහිර බලවත් රටවල් නව තාක්‍ෂණය ඔස්සේ ලබාගත් දැනුම හා නිර්මාණ ලෝකයට ප‍්‍රදර්ශනය කිරීම සඳහාය. මුල්ම ප‍්‍රදර්ශනය මීට අවුරුදු 170 කට පෙර 1851 දී ලන්ඩනයේ පැවැති බව ඉතිහාසය කියයි. මුලින්ම එක්ස්ෆෝ ප‍්‍රදර්ශනයේ අරමුණ ලෝක ප‍්‍රජාව ලබාගත් හා අත්පත් කරගත් නව තාක්‍ෂණය හා නිර්මාණ ලොවට කියාපෑම වුවත් ඊට සහභාගි වූ සෙසු රටවල හැකියාවන් හා අනන්‍යතාවයන් මෙන්ම අවශ්‍යතාවන් මත එක්ස්ෆෝ අරමුණු ද වෙනස් විය. ඒ ඒ රට රටවල වාණිජ අරමුණු හා පරමාර්ථ ද එක්ස්ෆෝ අරමුණු අතරට පැමිණියේය.

ලොව කොතැනක හෝ සුප‍්‍රකට නගරයක් ආශි‍්‍රතව වෙනම ඉදිකර සංවර්ධනය කරන ලද බිම් කොටසක වසර 5කට වතාවක් පවත්වන මේ ප‍්‍රදර්ශනය සාමාන්‍යයෙන් පැවැත්වෙන කාලය මාස 6 කට වැඩි නොවේ.

විශ්මයලන්තය ඇතුළේ ආශ්චර්යය සොයා ගියෙමි
ප‍්‍රදර්ශනයට පැමිණි යුවළක්

මෙවර මෙම ප‍්‍රදර්ශනය පැවැත්වීමට නියමිතව තිබුණේ 2020 ඔක්තෝබර් 01 දා සිට 2021 අපේ‍්‍රල් 10 වැනිදා දක්වාය. සියලූ ඉදිකිරීම් හා වැඩ කටයුතු සම්පූර්ණව තිබූ මුත් කොවිඞ් 19 නම් ලෝක වසංගත තත්ත්වය මත එක්ස්ෆෝ කල්දමන්නට සිදුවිය.

එහෙත් එක්ස්ෆෝ ප‍්‍රදර්ශනයේ වැදගත්කම සලකා 2021 ඔක්තෝබර් 01 වැනිදා සිට 2022 මාර්තු 31 වැනිදා දක්වා දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ආරක්‍ෂාව හා රැුකවල් මැද එක්ස්ෆෝ ප‍්‍රදර්ශනය පවත්වන්නට එක්සත් අරාබි එමීරයේ ඩුබායි බලධාරීහු තීරණය කළහ.

මෙම ප‍්‍රදර්ශනය පැවැත්වීම සඳහා සංවිධායකයෝ ඩුබායි නගරයට දකුණින් පිහිටි කාන්තාරයක් මැද තැනක් තෝරා ගත්හ. එක ගසක් සහ වැලි කාන්තාරයක් සහිතව මේ තෝරාගත් බිමේ වර්ග ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 4.38 ක් විය. ඒ වැලි කාන්තාර බිම බලා සිටියදී සුරපුරයක් වන් නගරයක් ලෙස සංවර්ධනය වූයේ මාස කිහිපයක කාලයක් ඇවෑමෙනි. අවසානයේ එය ඩුබායි නගර මධ්‍යයේ සිට දකුණට විහිදුණු, එක් පසෙකට මංතීරු 13 ක් 9 ක් 7 ක් සහිත අධිවේගී මාර්ගයක් ඔස්සේ පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් පැය එකහමාරකින් ළඟා විය හැකි ඩුබායි පුරවරයේ 2022 වැනි දිස්ති‍්‍රක්කය බවට පත්වූයේ දියුණු මහේශාක්‍ය නගරයකට අවශ්‍ය වන සුපිරි හෝටල්, නිවාස, කඩ සාප්පු, රෝහල්, අවන්හල් ආදී සියල්ල ද සහිතවය. අධිවේගී මාර්ගයට සමාන්තරව දිවෙන මෙට්‍රෝ දිගුවක් ද විය.

එක්ස්ෆෝ 2020 ප‍්‍රදර්ශනය එක්සත් අරාබි එමීරයට ත්‍යාගයක් ලෙස ලද ප‍්‍රදර්ශනයක් නම් නොවේ. එය එමීරයේ ජීවත්වන ලෝක ප‍්‍රකට ධන කුවේරයන්ගේ ලංසු තැබීමක ප‍්‍රතිඵලයක් විය. මැදපෙරදිග ධනස්කන්ධයේ මහිමය මේ යැයි පෙන්වමින් එක්සත් අරාබි එමීරය එක්ස්ෆෝ ප‍්‍රදර්ශනය එරටට ලබාගන්නට ලන්සුව ජයග‍්‍රහණය කළේ 2013 නොවැම්බර් 27 වැනිදාය.

එමීරයට එම අවස්ථාව දුලබ ගණයේ විජයග‍්‍රහණයක් විය. එදින මුළු මහත් එමීරයටම නිවාඩු දිනයක් කරනු ලැබීය. මේ විජයග‍්‍රහණය සැමරීම සඳහා උත්සව පවත්වනු ලැබුවේ ලොව උසම ගොඩනැ`ගිල්ල වන බර්ජ් අල් කලීෆා හිදී ය. එහි සිට යවන ලද මල් වෙඩි සංදර්ශන වලින් එදින රාති‍්‍රයේ අති දැවැන්ත ඩුබායි නගරයම වෛයිවර්ණවත් විය.

එදා පටන් එක්ස්ෆෝ 2020 හි වැඩ ආරම්භ කළ එමීර් රාජ්‍යය එම නගරය වැලි තලාවක් මත සැලසුම් කළේ මිහිපිට කොහේවත් තවත් නැති ආශ්චර්යයක් භෞතිකව මවා පෙන්වීම සඳහාය.

ප‍්‍රදර්ශනයේ සංවිධායකයන් ඩුබායිහි එක්ස්ෆෝ උළෙල සැලසුම් කළේ අන් සියලූ ප‍්‍රදර්ශනවලට වඩා වෙනස් වූ එකක් ලෙසින්ය. සහභාගි වන රටවල් 192 ටම එක කුටිය බැගින් වෙන් කරන්නට ඔවුහු කල්පනා කළහ. ඒ ඒ රටවල අනන්‍යතාව, ජාතික කලා ශිල්ප, සංස්කෘතික හැකියාව, ආර්ථිකමය නව ප‍්‍රවණතා හා නූතන තාක්‍ෂණික හැකියාව ඔප්නංවමින් ලොවට විදහාපෑව හැකි අවස්ථා මෙම කුටි තුළින් විද්‍යමාන කරන්නට අවස්ථාව ලබාදී තිබිණි.

ශී‍්‍ර ලාංකිකයන් වන අපට ද එහි වෙනම කුටියක් සංවිධානය වී තිබීම තුළ අපේ රටේ වටිනාකම් හා හැකියාවන්වලට ද වෙනමම තක්සේරුවක් ලැබී තිබිණි.

එක්ස්ෆෝ ප‍්‍රදර්ශනය ලොව බොහෝ තැන්වල පැවැත්වූයේ කුමක් හෝ ලෝක ප‍්‍රකට නව තාක්‍ෂණික ගොඩනැ`ගිල්ලක් ඒ ඒ රටවලට උරුම කර දෙමිනි. ප‍්‍රංශයට අයිෆල් කුලූන ලැබුණේ 1889 පැරිසියේ පැවැති ප‍්‍රදර්ශනය නිසාය. ලන්ඩනයට කි‍්‍රස්ටල් පැලස් එක ලැබුණේ 1851 එහි පැවැති ප‍්‍රදර්ශනය නිසාය. චිකාගෝ නුවරට බිග් වීල් නොහොත් ෆෙරිස් රෝදය ලැබුණේ ද 1893 පැවැති මෙම ප‍්‍රදර්ශනය නිසාය. බ‍්‍රසල්ස්වලට ඇටෝමියම් කුලූනත් (1958*, 1762 දී සියටෙල් නුවරට අභ්‍යවකාශ ඉඳිකටුව ලැබුණේත් මෙම ප‍්‍රදර්ශනයේ මහානර්ග අරුම පුදුම විශ්මකර්ම නිර්මාණයන් ලෙසය.

ඒ අනුව යමින් මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලැබුණ ත්‍යාගය අල් වසල් ප්ලාසා ගොඩනැගිල්ලයි. එය ලොව විශාලතම වහලය ලෙස සැලකෙයි. මැදින් කිසියම් හෝ ආධාරකයක් නැතිව වටින් සවි වූ කණු මත පමණක් ඉදිවූ ලෝක ගෝලයට පමණක් දෙවැනි වූ මෙම ගෝලය කොතරම් අනර්ඝ නිර්මාණයක්ද.... 2022 මෙවර ප‍්‍රදර්ශනයේ හා ප‍්‍රදර්ශන භූමියේ මූලස්ථානය හා කේන්ද්‍රය වූයේ මෙම අල් වසාල් ගොඩනැගිල්ලයි. මැදපෙරදිග, අපි‍්‍රකානු හා දකුණු ආසියානු කලාපයේ පැවැත්වෙන ප‍්‍රථම එක්ස්ෆෝ ප‍්‍රදර්ශනය ලෙස ඉතිහාසගත වන මේ ආශ්චර්යය පුරාම පැවතියේ ඒ ඒ රටවල විශේෂත්වය අනන්‍යතාව හා විශිෂ්ටත්වයයි. ප‍්‍රදර්ශනය නරඹන්නට ආ සියලූම දෙනා මේ ප‍්‍රදර්ශන භූමිය පුරා දවසක් දෙකක් ඇවිද ඉවර කරන්නට බැරි ප‍්‍රදර්ශන කුටිවලට සිර කර තැබූ ආශ්චර්යය ද විචිත‍්‍රත්වයකි.

ප‍්‍රදර්ශනයේ හරය තේමාවන් තුනක් ඔස්සේ
පෙළගස්වා තිබීම විශේෂත්වයකි.

ලෝකය දියුණු විය යුතුය. සංවර්ධනය විය යුතුය. ජනතාවට ජීවත්වීම පහසු කළ යුතුය. එහෙත් ඒ සියල්ල කළ යුත්තේ පරිසරයට හානි නොවන පරිදිය. ඒ ගැන කියන ප‍්‍රදර්ශනය ප‍්‍රදේශය තිරසාර දිස්ති‍්‍රක්කය ලෙස නම් කර තිබිණ. අප අවට ලෝකය සමග සමබර වී ජීවත්වීම මෙන්ම මානව වර්ගයා සොබාදහම සමග සහජීවනයෙන් සම්පත් භුක්ති විඳීම පිළිබඳ මේ ප‍්‍රදර්ශන ප‍්‍රදේශය තුළ අවධානය යොමු කළ යුතු විය.

සංචලතා දිස්ති‍්‍රක්කය නමින් තවත් ප‍්‍රදර්ශන ප‍්‍රදේශයක් විය. දැනුම, අදහස්, නිර්මාණ හුවමාරුව පිළිබඳ කරුණු කාරණා මෙම ප‍්‍රදර්ශන කුටිවල සාකච්ඡුා විය.

ලොව ඒ ඒ ජාතීන් සතු හැකියාවන් හා වටිනාකම් තක්සේරු කරමින් ලොව සමග අත්දැකීම් බෙදාහදා

ගැනීමට වෙන් කළ ප‍්‍රදේශය අවස්ථා දිස්ති‍්‍රක්කය විය. ඒ ඒ රටවල්වල නිෂ්පාදන හා නිර්මාණවලට වටිනාකමක් ලබාදීම මෙම දිස්ති‍්‍රක්කය නිර්මාණය කිරීමේ අරමුණ විය. ශී‍්‍ර ලංකාව වැනි රටකට සිය නිෂ්පාදන නිර්මාණ, හැකියාවන් මෙන්ම වටිනාකම් ලොවට හඬගා කියන්නට අවස්ථාව ලැබෙන්නේ ද ඔපචුනිටි හෙවත් අවස්ථා ප‍්‍රදර්ශන ප‍්‍රදේශය තුළය.

මේ ප‍්‍රදර්ශන භූමිය පුරා ඇවිද ගොසින් ඒ ඒ ප‍්‍රදේශ අධ්‍යයනය කිරීම හා නැරඹීම දවසක් දෙකක් තුළ කළ හැකි කාර්තව්‍යයක් නොවූයේ බලන්නට දකින්නට හා පෙනෙන්නට ඒ තරමටම විශ්මය දනවන දසුන් හා නිමැවුම් එහි ඕනෑවටත් වඩා තිබූ නිසාය.

ලබන සතියේ – එක්ස්ෆෝ ඇස ශී‍්‍ර ලංකාවට

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment