විශ්‍රාමික දිනයත් උත්සවවලට පමණක් සීමා විය යුතුද?

101

අපි අවුරුද්දක් පාසා ලෝක ළමා දින, ලෝක වැඩිහිටි දින, ලෝක කාන්තා දින සමරන්නෙමු. එහෙත් මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ගේ සංඛ්‍යාව දිනපතා වැඩිවන බව ඒ පිළිබඳ වාර්තාවලින් අනාවරණය වෙයි. කුසට ආහාරයක් නොමැතිව දිනපතා පාසල්වල ක්ලාන්තය දමා වැටෙන සිසුන්ගේ ප්‍රමාණය අධිකය. මෙම දිනය උත්සව පවත්වනවා වෙනුවට එම ගැටලුවලට පිළියම් යෙදීමට යොදා ගන්නේ නම් කොතරම් අගනේද?

එදිනටම යෙදී ඇති ලෝක වැඩහිටි දිනය ද නමට පමණි. වැඩිහිටි නිවාසයකට ගොස් බැලුවොත් ඔවුන්ගේ ජීවිත පිළිබඳ හොඳ වැටහීමක් ගත හැකිය. අඩුම තරමින් එහි වගකීම ඇති ප්‍රාදේශීය ලේකම් එදිනටවත් වැඩිහිටි නිවාසයකට ගොස් ඔවුන්ගේ දුක්ගැනවිලි ගැන සොයා බලන්නේ ද? එම නිසා උත්සව පැවැත්වීම නවත්වා සැබෑ ලෙසම ඒවාට පිළියම් යෙදීමට අප පුරුදු විය යුතුව ඇත. වැඩිහිටියන්ගෙන් වැඩි පිරිසක් සොඛ්‍ය තත්ත්වයෙන් ඉතා දුර්වල තැනැත්තෝ වෙති. ඔවුන්ට අවශ්‍ය බෙහෙත් ලබාගැනීම අද ප්‍රශ්නයකි.

ලෝක කාන්තා දිනය ද එසේමය. එදිනට රැස්වීමක් පවත්වා “අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සටන් කරන්නෙමු”යි වහසි බස් තෙපළති. අසන්නෝ සියල්ල හරි යැයි සිතා අත්පොළසන් දෙති. එහෙත් කාන්තා හිංසනය පිළිබඳ නිතර අසන්නට ලැබෙයි. අධිකරණයට ගිය ද එයින් ඔවුන් තවත් පීඩාවට පත් වෙනවා පමණි. අවුරුදු ගණන් මුදල් වියදම් කරමින් ඔවුන් පීඩා විඳිනවා පමණි. ඒවාට ඉක්මන් විසඳුමක් ලබාදෙන ක්‍රමවේදයක් තවම නැත.

තවත් එවැනිම දිනයකි, ඔක්තෝබර් 08 වැනිදාට යෙදෙන ලෝක විශ්‍රාමික දිනය. එදින “තම දැනුම හා ශක්තිය ජාතිය වෙනුවෙන් කැප කළ උදාර පිරිසක්” බව රටට හඬ නඟා කියමින්, ඔවුන් වර්ණනා කර උත්සව පවත්වති. එහෙත් අද ඔවුන් ලබන විශ්‍රාම වැටුප, ඉහළ ගොස් ඇති ඖෂධ මිල ගණන් නිසා, තම බෙහෙත් ටික ගැනීමට පවා ප්‍රමාණවත් නොවන බව පෙනී යයි. අද සෑම භාණ්ඩයක්ම කලින් පැවැති මිල මෙන් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බැවින් ඔවුන්ගේ වැටුප තුනෙන් එකක (1/3) වටිනාකමට පල්ලම් බැස ඇත.

ඒ අතර දැනට සේවය කරන රජයේ සේවක වැටුප් වැඩි කළ ද විශ්‍රාමිකයන්ට ඒ අනුව වැටුප් වැඩිවීමක් නොදෙන අවස්ථා එමටය. මෑතකදී, 1997 සිට රජයට මුදල් නැතැයි පවසමින් කප්පාදු කර තිබූ වැටුපක් රජයේ සේවය කරන ගුරු/විදුහල්පතිවරුන්ට ලබාදුන් නමුත්, 1997 සිට එම අයිතිය නොලැබුණු විශ්‍රාමික ගුරු/ විදුහල්පතිවරුන්ට ලබා නොදීමෙන් විශ්‍රාමිකයන්ට රජය සලකන ආකාරය මනාව පෙන්නුම් කර ඇත.

නිදහස ලැබුණු දා සිට ජනතාවට සෙත සැලසීමට රජයට මුදල් තිබුණු දිනයක් නැත. එහෙත් පවුලේ අය සහ හිතවතුන් සමග ගුවන් යානා පුරවා ගනිමින් මහජන මුදල් වැයකර රට සවාරි යෑමට මුදල් තිබී ඇත. පිටරට වතු හා මාලිගා මිලදී ගැනීමට මුදල් තිබී ඇත. මෙතෙක් ජනතාව රැවැට්ටූ ආකාරය දැන් මුළු ලොවටම හෙළිවී ඇත. එම නිසා තවදුරටත් ජනතාව මුලා නොකර, ඔවුන්ට සෙත සැලසීමට මෙම දිනයන් යොදා ගන්නා ලෙස රජයට බලකර සිටිමු.

එම නිසා 1997 න් පසු විශ්‍රාම ගිය සියලුම ගුරුවරු හා විදුහල්පතිවරු රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 (»¼) දරන චක්‍රලේඛයෙන් දැනට සේවයේ නියුතු ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පමණක් 2022.01.01 දින සිට ක්‍රියාත්මක කිරීමට සලසා ඇති සහනයන් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරු පෙළගැසෙමින් සිටිති.

එම නිසා විශ්‍රාමික දිනය, අරගලවලට විශ්‍රාමිකයන් කැඳවන විශ්‍රාමික දිනයක් නොව විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න විසඳා විශ්‍රාමිකයන් සනසන විශ්‍රාමික දිනයක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

අරිරුවන් ගාල්ලගේ
ගම්පහ

advertistmentadvertistment
advertistmentadvertistment