විශ්වවිද්‍යාලය බිහිවීම, සර් අයිවර් ජෙනිංග්ස් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

231

කර්තෘ – කපිල ගුණසිංහ

විසිවන සියවසේ ප්‍රථම භාගය ඉකුත් වීමට පෙර ජාතික වශයෙන් ඉතා වැදගත් සංසිද්ධීන් දෙකක් මෙරටෙහි සිදු විය. ඉන් පළමුවැන්න දිගු කලක සිට පෙළුණු අවශ්‍යතාවක් වූ ජාතික විශ්වවිද්‍යාලයක් නිර්මාණය කිරීමයි. මෙය මුලින් කොළඹ පිහිටුවා පසුව පේරාදෙණියේ සුවදායක පරිසරයකට ගෙන යනු ලැබිණි. වසර 150 ක පමණ කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවති මෙරටට පූර්ණ නිදහස ලැබීම දෙවැන්නය. පළමුවැන්න ලන්ඩන් ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යා ශාස්ත්‍රාලයේ ප්‍රාවාර්ය (සහකාර මහාචාර්ය) විලියම් අයිවර් ජෙනිංග්ස්ගේ බුද්ධි ප්‍රභාවයේ ඍජු ප්‍රතිඵලයක් විය. දෙවැන්න වූ කලි එවකට ආහාර හා කෘෂිකර්ම අමාත්‍ය ඩී. එස්. සේනානායක සහ සිවිල් ආරක්ෂක කොමසාරිස් ඔලිවර් ගුණතිලක විසින් දියත් කළ ව්‍යාපාරයක ප්‍රතිඵලයක් විය. එහෙත් මෙම ව්‍යාපාරය සාර්ථක වූයේ මුල සිට අවසානය තෙක් තිරය පිටුපස සිට ජෙනිංග්ස් විසින් දෙන ලද කාලෝචිත නීති විශාරද උපදෙස් නිසාය. තත්කාලීන සමාජ සහ දේශපාලන ඉතිහාසයේ ජෙනිංග්ස්ගේ මෙම ද්විත්ව භූමිකාව කතුවරයා විසින් සවිස්තරව ගෙන හැර දක්වයි.

විශ්වවිද්‍යාලය බිහිවීම, සර් අයිවර් ජෙනිංග්ස් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුළ ගෙන ගිය අධ්‍යාපන ප්‍රතිපත්ති, උසස් අධ්‍යාපනයට මඟ පෑදීම, උසස් අධ්‍යාපන ආයතන බිහි වීම්, විශ්වවිද්‍යාලයක් සඳහා ගෙන ගිය උද්ඝෝෂණ ජාතික ව්‍යාපාරයක් බවට පත් වීම, ඒ සඳහා යටත් විජිත පාලකයන්ගේ ප්‍රතිචාර සහ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම ඇතුළු ඔහුට මෙහි පැවරී තිබූ මෙහෙවර සාර්ථකව ඉටුකිරීම සහ ලංකාවට නිදහස ලබාගැනීම පිළිබඳව අප්‍රකට තොරතුරු ආදී ඉතා වැදගත් කරුණු රාශියක් මෙහි කතුවරයා විසින් සවිස්තරව ඉදිරිපත් කරයි. කතුවරයා විශ්වවිද්‍යාල පරිපාලනය සම්බන්ධයෙන් විසිපස් වසරක් පමණ ලබා ඇති අත්දැකීම් මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමට අවශ්‍ය පරිසරය ලබා දී ඇත. මෙය කර්තෘ ප්‍රකාශනයකි.

advertistmentadvertistment
advertistmentadvertistment