විශ්වවිද්‍යාල විද්‍යාර්ථියාට පර්යේෂණ කොපමණ වැදගත්ද?

238

ඉන්දියානු පළමු අගමැති ජවහර්ලාල් නේරුතුමාට අනුව සමාජ සංස්ථාවක් තුළ ඇති නිර්මාණාත්මකම ආයතනය වනාහි විශ්වවිද්‍යාලයයි. ඉන්දියාවේ පළමු විශ්වවිද්‍යාලය වූ දිල්ලි සරසවිය ආරම්භ කිරීමටත් පෙර යුගයේ එවැනි අදහසක් පළ කිරීමට හේතු වන්නට ඇත්තේ අන් කවරකුත් නොව නව දැනුමක් හරහා සමාජයක් අපූර්වත්වයට පත් කිරීමට සරසවියට ඇති හැකියාව පිළිබඳ දැනුවත් වීම නිසාය. විශ්වවිද්‍යාල ගතහොත් බටහිර ආකෘතියේ සරසවි ක්‍රිස්තු වර්ෂ 1018 දී බිහිවූ ඉතාලියේ බොලන්නෝ සරසවියේ සිට අද දක්වා ලෝකයේ 14000 ක් පමණ බිහිවී ඇත. නිර්මාණාත්මක ආකාරයේ නව දැනුමක් යැයි කියා උත්කර්ෂයට නැගුවද එවැන්නක් සැකසෙන විශ්වවිද්‍යාලයක පදනම බඳු ක්‍රියාවලිය පිළිබඳව බොහෝ අය දැනුවත් නැත. එය වනාහි පර්යේෂණ යනුවෙන් හැඳින්වේ. පර්යේෂණ හෝ ගවේෂණයක් යනු විද්‍යාත්මක ක්‍රමය (Scientific Method) අනුගමනය කිරීමෙන් යම් කිසි ගැටලුවකට පිළිතුරු ලබා ගැනීමයි. එය සාමාන්‍ය විෂය වර්ගීකරණයට අනුව බලන විට මේවා ස්වභාවික විද්‍යා විෂය ක්ෂේත්‍රවල සේම සමාජීය විද්‍යාවන් (Social Sciences) වලටත් එකසේ පොදු වේ. සෑම විෂයකම නව දැනුම උපදින්නේ පර්යේෂණ තුළිනි. මෙය ඉංග්‍රීසි භාෂාවේ හැඳින්වෙන ”Research˜ යෙදුමෙන්ම එහි පරිසමාප්ත අර්ථය වටහා ගත හැකිය.

එනම් දැනටමත් කිසියම් සමාජ පරිසරයක රඳා පවතින අනාවරණය නොවූ යම් ප්‍රපංචයක සැබෑ ස්වරූපය විභාග කිරීම පර්යේෂණයක් තුළදී සිදුවේ. එය විධිමත් පියවර අනුක්‍රමයක් ඔස්සේ සිදුකරන අතර ලොව වඩා විශ්වසනීයම දත්ත වන්නේ පර්යේෂණ හරහා සනාථ වූ ඒවාය. විශ්වවිද්‍යාලයක මූලික අපේක්ෂාව වන්නේ ද මෙම නව දැනුමක් සඳහා නිරන්තරයෙන් පර්යේෂණ කිරීමයි. පාසල්වල පුනර්වාචනය වන්නේ එකී පර්යේෂණ මූලිකව ඔප්පු දෑය. මෙවැනි පසුබිමක් තුළ විශ්වවිද්‍යාල විද්‍යාර්ථියාගේ පර්යේෂණ ඛේදාන්තයක් ආරම්භ වන්නේත් මෙතැනින් බව කිවහොත් නිවැරදිය. මන්ද දකුණු ආසියාවේ විශේෂයෙන්ම ලංකාව වැනි රටවල්වල සන්දර්භය (Context) සලකා බැලුවහොත් අප දරුවන් කුඩා කල පටන්ම නිරතව සිටින්නේ ලකුණක් සඳහා තරග කරන අතිශය පීඩනකාරී අධ්‍යාපන ක්‍රමයක් තුළය. ශිෂ්‍යත්වයේ සිට අපොස උසස් පෙළ දක්වාම මෙය හොඳින් දැක ගත හැකිය. බොහොමයක් මෙම විභාග තුළින් පරීක්ෂා කෙරෙනුයේ මතකය මිස නව දැනුම සඳහා වන චින්තනය (Thinking) නොවේ. ඒ නිසාම නව දැනුමක් යනු අද්‍යතන පරම්පරාවන්ට ශූන්‍යක් පමණි. මෙය තීව්‍ර වන්නේ සරසවියට පැමිණි පසුවය. ඉන් පසුව ද ඔවුන් පෙර පාසල් ක්‍රමයම අනුගමනය කිරීමට උත්සාහ දරයි. එනම් යම් කට පාඩමකින් මතකය භාවිත කොට විභාග සමත් කර ගැනීම පමණක් අපේක්ෂා කරයි. පර්යේෂණ ක්‍රමවේදය (Research Methodology) යනුවෙන් විෂයක් තිබුණද එය ද විභාගය වෙනුවෙන් අධ්‍යයනය කිරීම ශෝකයට දනවන තවත් කරුණකි.

ශ්‍රී ලංකාව උදාහරණය ලෙස ගන්නා කල ස්වාභාවික විද්‍යා විෂයන් තුළ නම් යම් පර්යේෂණ වැඩපිළිවෙළක් ඇති බව පෙනෙන්නට ඇත්තේ පසුගියදා ෆෝර්බ්ස් සඟරාවෙන් නිකුත් කළ දත්තවලට අනුව ලෝකයේ ප්‍රශස්තම පර්යේෂණ විද්‍යාඥයන් 2% අතරට අපගේ 16 දෙනෙක් ඇතුළත් වී තිබීමෙනි. ගැටලුව ඇත්තේ සමාජීය විද්‍යා විෂයන් තුළ බව කීමට ඇත්තේ අකමැත්තෙන් වුවද සැබෑම යථාර්ථය ලෙසය. එහි නව දැනුම් උත්පාදනය අඩුම මට්ටමක පවතී. විශේෂයෙන්ම ගතහොත් සමාජ විද්‍යාව තුළට අයත් වන පොලිසිය සහ මහජන සම්බන්ධතාව (Public Relation) පිළිබඳ වන පර්යේෂණ කටයුත්තක් පිළිබඳව අවධානය යොමු කර බලමු. ඒ සම්බන්ධව වර්ෂ 1998 දී මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා කළ පර්යේෂණයට පසු එම මාතෘකාවට කිසිවෙකුත් අතවත් තබා නැත. පැහැදිලි ලෙසම දැනුමේ යාවත්කාලීනත්වය (Updateness) පිළිබඳ තරයේ සිතිය යුතු කාලයකට අප විවර වී ඇත. ඉතා පැහැදිලිවම ඉහත සඳහන් කළ ලෙසම විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා පාසල් ශිෂ්‍යයාගෙන් වෙනස් වන්නේ එතැනදීය. එනම් පාසල් ශිෂ්‍යයා විභාගය කේන්ද්‍රීයව යම් ආකෘතික දැනුමක් මත නිපුණතා (ක්‍දපචැඑැබජසැි) සම්පූර්ණ කරන්නෙකි. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් වූවන් එලෙස නොව නව චින්තනයක් තුළින් නව දැනුමක් සඳහා අසීමාන්තික ලෙස ගවේෂණය කරන්නෙකි. එය මෑත කාලීන විද්‍යාර්ථීන් හොඳින් අවබෝධ කරගැනීම වඩා වැදගත් වේ. එකී ක්‍රියාවලියේ මුදුන් මල්කඩ වන්නේ පර්යේෂණය. බහුතරයක් විද්‍යාර්ථීන් ඒ සඳහා ප්‍රවේශ වන්නේ අවසන් වසරවල් තුළ දී වුවද ඒ සඳහා පළමු වසර සිටම ලක ලෑස්ති වීම සමාජයක් දැනුමෙන් පෝෂණය කිරීමට ගන්නා වඩා සාධනීය උත්සාහයක් වේ. කුමන විභාග පැවතියත් ඒ සියල්ලටම වඩා ඉතා වගකීම් සහගත ලෙස පර්යේෂණ සඳහා වැඩි බරක් නූතන විද්‍යාර්ථියා ලබාදිය යුතුය. දැනුමෙන් සුපෝෂිත නිවහල් චින්තනයක් සහිත රාජ්‍යයක් ගොඩනැංවීමට ද එය නිසැකවම උපකාරීවනු ඇත.

මෙවැනි සමාජීය විද්‍යා විෂය ක්ෂේත්‍රයන්හි පර්යේෂණ පිළිබඳව විද්‍යාර්ථීන් අවම උනන්දුවක් දක්වන කාල සමයක කොළඹ විශ්වවිද්‍යාලයේ එක් අධ්‍යනයක් විසින් ඉදිරි පෙබරවාරි 22 වැනිදා එක් පුළුල් ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවක් (Undergraduate Research Symposium) පැවැත්වීමට කටයුතු කිරීම ඉතා විරල ප්‍රවණතාවයකි. ඒ ලංකාවේ මාධ්‍ය පර්යේෂණ ඒකකයක් ස්ථාපිත කොට ඇති එකම විශ්වවිද්‍යාල විද්‍යායතනය වන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයයි. එය “මාධ්‍ය සහ නිදහස් කලාවන්ගේ ව්‍යුහ සහ ගතිකතා” (The Structures And Dynamics Of Media And Liberal Arts) යනුවෙන් තේමා ගත කොට ඇති අතර දැනටමත් දේශීය සහ විදේශීය බොහෝ විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් නියෝජනය කරමින් පර්යේෂණ ලිපි 130 කට වඩා සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත. චීන සන්නිවේදන විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය පීඨාධිපති වන මහාචාර්ය සැන්ග් යැන්ග්කිව්ගේ සහභාගිත්වයෙන් ද පවත්වන මෙම සමුළුව හරහා පැහැදිලි ලෙසම පද්ධතියට සුවිශාල වූ දැනුමක් එකතු වීමට නියමිතය.

සහන් ඇලෙක්සැන්ඩර්
කොළඹ විශ්වවිද්‍යාලය

සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment