විශ්වාසභංගයට සහාය දෙන්න සජබට කොන්දේසි දෙකක්

273

ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට නම් තමන් ඉදිරිපත් කරන විකල්ප යෝජනා දෙකක් අතරින් එකක් ක්‍රියාත්මක කිරීමට සූදානම් දැයි විමසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්‍ෂ දහයේ එකමුතුව සහ ස්වාධීන වූ පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් සමගි ජනබලවේගය වෙත ලිපියක් යවා තිබේ.

විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජයට පත් කිරීමෙන් පසු සමගි ජනබලවේගය සර්ව පාක්‍ෂික ජාතික එකඟතා ආණ්ඩුවකට සහාය දැක්වීම හෝ එසේ අනෙකුත් දේශපාලන පක්‍ෂ සමඟ කටයුතු කිරීමට අකමැති නම් ආණ්ඩුව භාරගෙන කටයුතු කළ යුතුයි යන්න ඔවුන් ඉදිරිපත් කර ඇති විකල්ප යෝජනා වේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා සහ විජයදාස රාජපක්‍ෂ යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව සමගි ජනබලවේගය වෙත එම ලිපිය යොමු කර ඇත.

විශ්වාසභංග යෝජනාවෙන් පරාජය වුවහොත් රට කරවීමට ආණ්ඩුවක් නොමැති වීම හේතුවෙන් අරාජික තත්ත්වයක් ඇතිවී ජනතාවට තවදුරටත් පීඩා විඳීමට සිදුවන බව පෙන්වා දෙමින් ඔවුන් සමගි ජනබලවේගයට මෙම විකල්ප යෝජනා ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනා දෙක අතරින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්දැයි යන්න හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙසද එම ලිපිය මගින් සමගි ජන බලවේගයට දන්වා යවා තිබේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment