විශ්වාසභංගය ඉල්ලා සජබ මන්ත්‍රීවරු කථානායක කාමරයට කඩාවදී

153

සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් කිහිප දෙනකු 06 දා සවස පාර්ලිමේන්තු සෙංකෝලය රැගෙන යෑමට ඒ අසලට පැමිණි අවස්ථාවේදී එහි ආරක්ෂාවට ගිය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා, චමින්ද විජේසිරි මහතා විසින් තල්ලු කිරීම නිසා ඔහු බිම ඇදවැටී ඇත.

පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල වන අවස්ථාවේදී පාර්ලිමේන්තු සභාගැබ තුළ ඇතිවූ කලබලය අතරේදී විපක්ෂ මන්ත්‍රීවරු එලෙස සෙංකෝලය ඔසවාගෙන යෑමට ක්‍රියා කළ අවස්ථාවේ මෙම සිදුවීම වී ඇත.

මූලාසනයේ සිටි මන්ත්‍රී හේෂා විතානගේ මහතා සිය කතාව සිදු කිරීමට පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාට අවස්ථාව ලබා දුන්නේය. ඒ අනුව මන්ත්‍රීවරයා කතාව ආරම්භ කිරීමෙන් පසුව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හා දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් නැගී සිට “කථානායකවරයාට එන්න කියන්න විශ්වාසභංග යෝජනා ගැන ඉක්මන් තීන්දුව දෙන්න කියන්න” යැයි මුලාසනයෙන් ඉල්ලා සිටිමින් ඝෝෂා නැඟූහ.

අනතුරුව නැගී සිටි රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා වහාම මූලාසනය තීරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

ඒ සමගම විපක්ෂයේ සිටි මනුෂ නානායක්කාර, හරින් ප්‍රනාන්දු, චමින්ද විජේසිරි ඇතුළු පිරිසක් සෙංකෝලය තැන්පත් කර ඇති ස්ථානයට පැමිණියහ. ඒ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් සෙංකෝලය අතට ගැනීමට යෑමේදී එය වැළැක්වීමට උත්සාහ කළ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා, මන්ත්‍රීවරයකු විසින් තල්ලු කිරීම නිසා බිම ඇදවැටුණේය. අනතුරුව යළිත් වේත්‍රධාරීවරයා නැඟිට සෙංකෝලය අසලට පැමිණීමත් සමග යළිත් මන්ත්‍රීවරයකු විසින් තල්ලු කිරීම නිසා වේත්‍රධාරීවරයා යළි ඇදවැටුණි.

අනතුරුව මුලාසනය පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තැබීය. ඒ සමගම මන්ත්‍රීවරු පිරිස කථානායකවරයාගේ නිල කාමරයට පැමිණ විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලා සිටියහ. පාර්ලිමේන්තුව වහාම සඳුදා දින කැඳවා විවාදය සිදු කරන ලෙස ද ඔවූහු ඉල්ලා සිටියහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment