විශ්වාසභංගය දෝරේ ගලයි – කෙහෙළියගේ සෞඛ්‍යය රමේෂ්ට – කෙහෙළියට පරිසරය

289

කෘෂිකර්මයට අමතරව අමරවීරට වැවිලි කර්මාන්තයත්
සියඹලාපිටියට කැබිනට් නොවන තව ඇමැති ධුරයක්

ආණ්ඩුව ඊයේ (23දා) පෙරවරුවේ හදිසියේම කැබිනට් සංශෝධනයක් සිදු කළ අතර එහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කර නව පරිසර අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

නව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස රමේෂ් පතිරණ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. රමේෂ් පතිරණ අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා පත්කරන ලද්දේ ඔහු මෙතෙක් දරන ලද කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරවය. මෙහිදී ඇමැති මහින්ද අමරවීර මහතාට කෘෂිකර්ම අමාත්‍යාංශයට අමතරව වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය ද ලබා දී ඇත. එම අමාත්‍ය ධුරය මීට පෙර හොබවනු ලැබුවේ නව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ මහතා විසිනි. මේ අතර රංජිත් සියඹලාපිටිය මහතා වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ද පත් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විවිධ ගැටලු රැසක් පසුගිය කාලයේ ඇති වූ අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ද ගෙන ආවේය. එම විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී පසුගිය සැප්තැම්බර් මස 06, 07 සහ 08 යන තෙදින පුරා විවාදයට ගත් අතර සෞඛ්‍ය ඇමැතිවරයා ඉන් ජය ලැබීය. විශ්වාසභංගයෙන් හරියටම මාස එකහමාරකට පසුව කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙනත් අමාත්‍යාංශයකට මාරු කිරීම විශේෂත්වයකි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පරිසර අමාත්‍යාංශය හිමි වූයේ එහි ඇමැතිවරයා ලෙස කටයුතු කළ නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම මත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පසුව ඇමැති ධුරයද අහිමි වීමෙන් ඇති වූ පුරප්පාඩුව හේතුවෙනි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment