විශ්වාසභංගය සහ දෝෂාභියෝගය සජබ ඊයේ කථානායකට භාරදෙයි

167

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සහ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සමගි ජන බලවේගය විසින් ඊයේ (03දා) සවස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දෙනු ලැබීය.

සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, ඉමිතියාස් බාකීර් මාකර්, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක යන මහත්වරු ඊයේ කථානායක නිල නිවසට ගොස් මෙම යෝජනා දෙක භාර දෙනු ලැබූහ.

එම යෝජනා අද (04) භාර දෙන බව කලින් ප්‍රකාශ කළද විපක්ෂනායක කාර්යාලයේ ඊයේ පැවැති කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණය අනුව එම පක්ෂය හදිසියේ එම යෝජනා මෙලෙස භාර දී තිබේ.

මේ රටේ ජනතාව ඉල්ලා සිටින ජයග්‍රහණය උදෙසා අද තීරණාත්මක පියවරක් තැබූ බවත් ඒ අනුව විශ්වාසභංග දෙකක් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජනබලවේගය ජනතා අපේක්‍ෂාවන් සමග කටයුතු කරන බව පැවසූ විපක්‍ෂ නායකතුමා ජනතා අපේක්‍ෂාවන් පිළිබිඹු කැරෙන විශ්වාසභංග යෝජනාවලට අත්සන් නොකරන සහ සහයෝගය ලබා නොදෙන මහජන නියෝජිතයන් කවුදැයි ජනතාවට හඳුනාගත හැකි බවද පැවසීය.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග දෙකක් අද (03) කථානායකවරයාගේ නිල නිවසේදී භාර දුන්නේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතිනි.

එම අවස්ථාවට මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, ඉමිතියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක, ඉරාන් වික්‍රමරත්න, මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරු සහභාගි වූහ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment