විශ්ව ශක්තියෙන් ආතුරයන් දූෂණය කරනු ලැබේ

708

කුලියාපිටියේ උඩුබද්දාව පළාතේ දේවාලයක් පවත්වාගෙන යමින් විශ්ව ශක්තියෙන් ලෙඩ රෝග සුව කරන බව ප්‍රචාරය කරන කපුවකු බාල වයස්කාර දැරියක් දූෂණය කර තිබේ. මේ විශ්මිත කපුරාළ එක්දරු, තිස්හත් වියැති පියෙකි. මෙතුමා මීට පෙර ද දැරියන් දෙදෙනකු කෙළෙසා ඇති බව දැන ගන්නට තිබේ. මොහු දරුවන් අපහරණය කිරීමේදී එම ක්‍රියාව දුරකථනයෙන් වීඩියෝ කරන්නේලු. කපුවා දැනට පොලිස් අත්අඩංගුවේ පසුවේ. ඔහුගේ දුරකථනය ද පොලිසිය භාරයට ගෙන ඇත.

විශ්ව ශක්තියෙන් ලෙඩ රෝග සුව කළ හැකිද නැද්ද යන්න ගැන අපට අවබෝධයක් නැත. අප දන්නා එකම කරුණ නම් විශ්ව ශක්තියෙන් ලෙඩ සනීප කරන බව කියා මිනිසුන්ගෙන් මුදල් ගරන පල් හොරුන් හතරවටේම සිටින බව ය. විශ්ව ශක්තිය ගැන අප සතු අත්දැකීම් ප්‍රමාණය අල්ප බැවිනුත් ඒ පිළිබඳ විද්‍යාත්මක අර්ථ නිරූපණයක් අප සතුව නැති බැවිනුත් එම කාරණය ගැන අප තර්ක කරන්නේ නැත. ඕනෑම දෙයක් විද්‍යාත්මකව අර්ථ නිරූපණයකට ලක් කළ හැකි නම් එය ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට පුළුවන. එබැවින් විශ්ව ශක්තිය වැනි පාරභෞතික කාරණා ගැන හරියාකාර හැදෑරීමක් විද්වත් සමාජයට අවශ්‍ය ය. කෙසේ හෝ වේවා අත්වලින් ඔළුව අල්ලා හිසේ පිළිකාව සුව කරන විශ්ව ශක්ති වෙද්දුද අත්දෙකෙන් බඩ අල්ලා බඩේ ගෙඩි අතුරුදන් කරන විශ්ව ශක්ති කපුවෝ ද මේ රටේ ඉතා බහුලව සිටිති. මොවුන් අය කරන්නේ ද සුවිශාල මුදල් ය. අපගේ වැටහීම නම් මේ කියන කපුරාළලා සහ වෙදුන් සතුව පවත්නා විශ්ව ශක්තිය වූ කලී මනෝභ්‍රාන්තියකි. මෙවැනි කපුවන් ළඟට යන ලෙඩ්ඩු ද මනෝභ්‍රාන්තිකාරයෝ ය.

ලෙඩ සුව කර ගැනීම සඳහා දේශීය වෛද්‍ය ක්‍රමය, ආයුර්වේද, බටහිර වෛද්‍ය ක්‍රමය, යුනානි නමැති අරාබි වෛද්‍ය ක්‍රමය, චීන කටු වෙදකම, පාරම්පරික කොරියානු වෙදකම වැනි මාර්ග තිබියදී ඇසට නොපෙනෙන විශ්ව ශක්තිය සොයා යෑම බොහෝ අවස්ථාවලදී ලෙඩාගේ කරුමය හා වෙදාගේ උරුමය බවට පත් වේ. ලෙඩා, වෙදාගේ සංසාරික ණයකරුවකු නම් ඔහුට හෝ ඇයට මොන ක්‍රමයකින් හෝ එම වෙදාට ණය ගෙවීමට සිදුවෙයි. කර්ම ශක්තිය නමැති සාධකය පිරික්සා බලන විට පෙනී යන්නේ විශ්ව ශක්ති වෙදුන් ළඟට යන ලෙඩුන් එම වෙදුන්ගේ පරණ ණයකාරයන් බව ය. විශ්ව ශක්තිය යනු විශ්වයේ පවතින ශක්තිය විය යුතු ය. විශ්ව ශක්ති කපුවන් හා වෙදුන් කියන්නේ විශ්වයේ පවතින එම ශක්තිය උරා ගැනීමට තමන්ට හැකි බවත් එම ශක්තිය ලෙඩාගේ සිරුරට ඇතුළු කිරීමෙන් රෝගය සුවවන බවත් ය. මෙය ඇසට පෙනෙන ක්‍රමවේදයක් නොවේ. වෙනත් ඕනෑම වෙදකමකින් කරන ප්‍රතිකාරයක් ඇසට පෙනේ. ඇසට නොපෙනෙන එකම විද්‍යාත්මක ප්‍රතිකාරය වූ කලී මනෝ වෛද්‍ය ක්‍රමයයි. ඇසට නොපෙනුනත් මනෝ වෛද්‍ය ක්‍රමය කනට ඇසෙයි. මනෝ වෛද්‍ය ක්‍රමය තුළදී ද කටින් බොන ඖෂධ භාවිත කිරීම සිදු වේ. එබැවින් හරියාකාර විද්‍යාත්මකව ඔප්පු කර දේශීය වෙදකමේ හෝ බටහිර වෙදකමේ පාලනයට යටත් වන තුරු විශ්ව ශක්ති වෙදකම තහනම් කළ යුතු බවට අපි ආණ්ඩුවට යෝජනා කරමු.

කෙසේ හෝ වේවා විශ්ව ශක්තිය ඇපයට තබා දරුවන් සහ ස්ත්‍රීන් දූෂණය කරන හොර කපුවන්ට නම් වැඩක් දිය යුතුමය. වැඩිදුර නොහිතන ඇතැම් කාන්තාවෝ ඕනෑම කුඩා කාරණයක් වෙනුවෙන් සුවිශාල කැපකිරීම්වලට සූදානම් ය. මෙය අංක එකේ ගොං වැඩකි. විශ්ව ශක්ති හොර කපුවන් එවැනි අවස්ථාවක් එනතුරු ඉතා උනන්දුවෙන් බලා සිටිති. කුලියාපිටියේ කපුවා දරුවන්ට ලිංගික පීඩා කරන එකෙක් නම් ඒකා අධිකරණයට යැවීමට පෙර පොලිසිය විසින් දැඩි පියවර ගත යුතු බව පමණක් සඳහන් කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment