විශාදයට ප්‍රතිකාර ලබමින් සිටි පේරාදෙණිය සරසවි සිසුවිය වෛද්‍ය මධ්‍යස්ථානයේ ඇදවැටී රෝහලේ

1

විශාදය රෝග තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිසුවියක අපස්මාර තත්ත්වයක් ඇතිවීම නිසා හදිසියේ ඇදවැටී හිසේ අඟල් එකහමාරක පමණ පැල්ලමක් ඇතිවී අධික රුධිරවහනයෙන් පේරාදෙණිය රෝහල්ට ඇතුළත් කොට තිබේ.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් සේවයෙන් ඉවත්ව සිටීම නිසා මෙම සිසුවිය රෝහල්ගත කිරීමට දැඩි වෙහෙසක් ගැනීමට මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්ට සිදුව තිබේ. මෙලෙස රෝහල් ගතකොට ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කෘෂිකර්ම පීඨ සිසුවියකි.

වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය සුවසැරිය ගිලන් රථ සේවය අමතා එය පැමිණෙන තෙක් සිය පෞද්ගලික මෝටර් රථයෙන් සිසුවිය පේරාදෙණිය රෝහලට රැගෙන ගොස් තිබේ.

මෙම සිසුවිය පෙරේදා (03දා) පස්වරුවේ මෙලෙස පේරාදෙණි රෝහලට ඇතුළත් කොට ඇති අතර ඇය කලක සිට විශාදයෙන් පෙළී ඇති බැවින් වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ බව අනාවරණය වී තිබේ. සිසුවිය පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට මාරුකර යවා ඇත. අතරමගදී සුවසැරිය ගිලන් රථයට සිසුවිය යොමුකර රෝහල් ගතකර තිබෙන අතර සිසුවියගේ හිසට එහිදී මැහුම් දැමීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇත.

අනධ්‍යයන සේවක වර්ජනය නිසා මේ වනවිට හදිසි අවස්ථාවක දී එහි ගිලන් රථය පවා පාවිච්චියට ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ. අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඉවත් වීමත් සමග එහි පිරිසිදු කිරීම් සහ රෝගී සත්කාරක සේවා ද අඩාල වී ඇත. නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිසු සිසුවියන්ට ඉවත්ව යන ලෙස පාලනාධිකාරිය දැනුම් දී ඇතත් සිසු සිසුවියන් සිව් දෙනකු ඉන් ඉවත්ව යෑම ප්‍රතික්ෂේප කර තිබේ. හදිසියේ ඇද වැටී තුවාල ලබා ඇත්තේ එලෙස රැඳී සිටි සිව් දෙනාගෙන් එක් අයෙකි.

වර්ජනයත් සමග අනධ්‍යයන සේවකයින් විශ්වවිද්‍යාලයේ සියලු සේවා කටයුතුවලින් ඉවත් වුවත් වෛද්‍ය මධ්‍යස්ථානයට අනුයුක්තව සිටි අනධ්‍යයන සේවකයින් පසුගිය 02 දා තෙක් සුපුරුදු පරිදි රාජකාරි කටයුතුවල නිරත වූ බැවින් එහි සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන ගිය නමුත් මේ වනවිට වෛද්‍ය මධ්‍යස්ථානය ද විවෘත කර තැබීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා කීය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment