විෂ සහිත චීන කාබනික පොහොර ආනයනය වහා නවත්වන්න… ශී‍්‍ර ලංකා කෘෂි ව්‍යවසායක සංසදය රජයෙන් ඉල්ලයි

266

චීන සමාගමක් වෙතින් ලැබී ඇති කාබනික පොහොර සාම්පලයක විෂ සහිත බව සනාථ වී තිබියදී එම සමාගමෙන් ගෙන්වන කාබනික පොහොර තොගය ආනයනය කිරීම වහාම අත්හිටුවන ලෙස ශී‍්‍ර ලංකා කෘෂි ව්‍යවසායකයන්ගේ සංසදය රජයෙන් ඉල්ලා සිටී.

දේශීයව කාබනික පොහොර නිෂ්පාදනයට හැකියාව තිබියදීත් අප සන්තකයේ නොමැති ඇ. ඩො. මිලියන 63ක මහා ධනස්කන්දයක් වැය කර කඩිමුඩියේ දූෂිත යැයි සනාථවී ඇති පොහොර තොගයක් ගෙන්වන්නට ඇතැමුන් වලිකන්නේ ඇයි ද යන්න ගැටලූ සහගත බව ද එම සංසදය කියයි.

එම සංසදය නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වේ. එහි මෙසේ ද සඳහන් වේ.

කාබනික පොහොර ඇතුළු ඕනෑම පොහොර වර්ගයක් ආනයනය කිරීම සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ (NFS) මාර්ගෝපදේශ සහ නිර්දේශ ඉතා පැහැදිලිය. එනම් ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතන (SLSI) මගින් හෝ එම ආයතනය නිර්දේශ කරන පරීක්ෂණාගාරයකින් එම නියැදි ලාංකික භෞමික සීමාව තුළ රස පරීක්ෂාවට ලක් කළ යුතුය. සාම්පලවල කිසිදු ගැටලූවක් නැත යැයි පරීක්ෂණවලින් සනාථ වූ විට එය වාණිජමය පරිමාවෙන් ආනයනය කිරීමට අදාළ ආනයනකරුට අවසර ලැබෙනු ඇත. එනමුත් එම පොහොර වර්ගය ආනයනය කළ පසුව ද එහි සංශුද්ධතාවය සහ ගුණාත්මකභාවය තහවුරු කර ගැනීම සඳහා අහඹු පරීක්ෂණ ද විටින් විට සිදු කරනු ඇත. එනමුත් චීනයෙන් ගෙන්වන ලද ඉහත සඳහන් සාම්පල විෂයෙහි ඇතැම් අක‍්‍රමිකතා සිදුව ඇති බව අප සංසදයට නිරීක්ෂණය වී ඇත.

සියල්ලට ප‍්‍රථම ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශ කිසිවක් මෙම නියැදි ආනයනය විෂයයෙහි අනුගමනය කර නොමැත.

උක්ත පොහොර වර්ගය විෂ සහිතය යන නිල පිළිගැනීම තිබෙන විටම මේ විෂයෙහි ප‍්‍රමාණවත් විනිවිදභාවයක් හෝ අවශ්‍ය තරම් අදාළ පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගැනීමක් ද සිදුවී නොමැත. ලබාදී ඇති තොරතුරු ද අප‍්‍රමාණ හා ව්‍යාකුල බව වෙසෙසින් සඳහන් කළ යුතුය. මෙලෙසින් මානව හා භෝග සෞඛ්‍යය මෙන්ම පරිසර ආරක්ෂාව සම්බන්ධ වැදගත් රීතින් නොසලකා ඉහළින් යෑමට මෙම අනායනය විෂයයෙහි අදාළ බලධාරීන් ගෙන ඇති අවිචාරවත් පියවර මුළු රටේම වැසියන්ට හා පරිසරයට විශාල අහිතකර බලපෑමක් ඇති කළ හැකිය. විශේෂයෙන් ජීවනෝපාය වෙනුවෙන් අප රටේ ජනගහනයෙන් 30% ක්ම සෘජුව හා වක‍්‍රව සම්බන්ධව වී සිටින්නේ කෘෂිකර්මාන්තයට හෙයින් මෙවන් අදූරදර්ශී කි‍්‍රයාවක් නිසා ඇති විය හැකි හානිය කිහිප ගුණයකින් වැඩි වනු නිසැකය.

ඉහත සඳහන් නිල නිවේදනයට අනුව මෙම පොහොර සාම්පලය පරීක්ෂාවට ලක් කර ඇත්තේ SLSI ආයතනයේ නව නිර්දේශයකට අනුව චීනයේ පිහිටි රසායනාගාරයක් මගින්ය. මෙතුවක් කල් දේශීයව පිළිගැනීමට ලක්ව තිබුණු කි‍්‍රයාමාර්ගයක් වටා යමින් අනුගමනය කර ඇති නව පිළිවෙත අනතුරුදායක පූර්වාදර්ශයක් ලබා දීමේ අවදානම බැහැර කළ නොහැකිය. ආනයනකරුවන් විසින් ඉදිරිපත් කර ඇති සැකසහිත හා විදේශයක තිබෙන විශේෂයෙන් එම පොහොර නිෂ්පාදනය රටේම පිහිටි රසායනාගාරයක වාර්තා මත පමණක් විශ්වාසය තබමින් මෙවන් ද්‍රව්‍යයකට රට තුළට පිවිසීමට ඉඩ දීම අතිශය අනතුරුදායකය. උක්ත ඊනියා චීන රසායනාගාරය ස්වාධීන රසායනාගාරයක් ද සහ මෙවන් පරීක්ෂා සිදු කර සහතික නිකුත් කිරීමට නිසි අවසර ලැබූ එකක් ද යන දැඩි සැකයක්ද අප සංසදයට තිබේ.

ලාභ ලැබීම මූලික අරමුණ විය හැකි ආනයනකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන මෙවන් දූෂමාන රසායන වාර්තා පිළිගැනීමේ හා පසුව එම සාම්පල දූෂිත යැයි නිල වශයෙන් පිළිගෙන එයින් පසුව ද එම පොහොර වර්ගය විශාල වාණිජ ප‍්‍රමාණයකින් එනම් ටොන් 96000ක් ගෙන්වන්නට අවසර දෙන අදාළ බලධාරීන්ගේ ආකල්පය අපට සැබවින්ම ප‍්‍රශ්නසහගතය. මේසා දැවැන්ත ප‍්‍රමාණයක් ගෙන්වන්නට අවසර දී ඇත්තේ කිලෝ කිහිපයක් පමණක් පරීක්ෂා කිරීමෙන් අනතුරුවය හා එහි අපවිත‍්‍රතා තිබෙන බව සනාථ වී තිබියදීය.

advertistmentadvertistment
advertistmentadvertistment