විසඳුම – එන්නත්කරණය… ජර්මනියේ අත්දැකීම් මෙන්න

322

ආචාර්ය රඹුක්වැල්ලේ දේවානන්ද හිමි (පී.එච්.ඞී. ජර්මන්)
 දොරණෑගොඩ සදානන්ද පිරිවෙන් රජමහා විහාරාධිපති,
 බර්ලින් සම්බෝධි විහාරාධිපති
 බර්ලින්-ජර්මනිය

ශ‍්‍රී ලංකාවේ කොරෝනා වෛරස් රෝගය ව්‍යාප්තවීම ඉහළ යෑමත් සමගම ශ‍්‍රී ලංකාවට එන්නත් ලබාගැනීමද කඩිනම් අවශ්‍යතාවක් බවට පත්වී ඇත. කොරෝනා වෛරස් රෝගය ව්‍යාප්තවීම වැළැක්වීමට හා මරණ සංඛ්‍යාව අවම කරගැනීමටත් දැනට පවතින ශීඝ‍්‍රම ක‍්‍රමවේදය වනුයේ එන්නත්කරණය කිරීමය. මේ සඳහා ඇමෙරිකාව, එංගලන්තය, ජර්මනිය, රුසියාව, ඉන්දියාව, චීනය වැනි රටවල් විවිධ නම්වලින් එන්නත් නිෂ්පාදනය කරන්නට විය. එහෙත් ලෝක ජනගහනය අනුව මෙකී එන්නත් නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම, ප‍්‍රවාහනය කිරීම, මුදල් හා ගිණුම් කටයුතු මෙන්ම ගිවිසුම් කටයුතු ආදී වශයෙන් මේ හා සම්බන්ධව සුවිශාල වැඩකොටසක් නිමකිරීමට සිදුවේ. මේ සියල්ලක්ම ක‍්‍රමවත්ව හා ඉක්මන්ව සිදු කිරීමට නම් ක‍්‍රියාශීලි වැඩ පිළිවෙළකට රට යොමුවිය යුතුය.
 
 අප රටේ දැනට මේ සම්බන්ධව දේශපාලන අධිකාරියක මෙහෙයුම් අනුව කටයුතු කිරීමට යාමෙන් ව්‍යාකූලතාවයන් රාශියක් පැන නැගීම වැළැක්විය නොහැකිය. මේ වනවිට රටේ මුළු ජනගහනයට සමගාමීව අවශ්‍ය කෙරෙන එන්නත් මාත‍්‍රා දෙකම හැකි ඉක්මනින් ලබාගැනීමට සහ ඒවා ගබඩා කරගැනීමටත් පළාතෙන් පළාතට නොමැතිව රට පුරාම එකවරම එන්නත ලබාදීමට අවශ්‍ය කෙරෙන පහසුකම් හා සේවාවන් ආරම්භ කළ යුතුය. ක‍්‍රමවත් වැඩපිළිවෙළක් නොතිබූ ඇමෙරිකාව, බ‍්‍රසීලය, ඉතාලිය, ප‍්‍රංශය, ඉන්දියාව වැනි රටවල මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමකට යාමටද මෙම අක‍්‍රමවත් බව හේතු විය. මෙහිදී බ‍්‍රසීලයේ මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවූ විට පසුගියදා රට අගුළු දැමීම ”අශ්වයා පැනගියාට පසුව ඉස්තාලය වසා දැමීමකි.”
 
 ජර්මනිය හා ඇමෙරිකාව එක්ව කොරෝනා වෛරසයට එරෙහිව Bion Tech බයෝන් ටෙක් එන්නත නිෂ්පාදනය කිරීමත් සමගම එය ලබාදීම සඳහා ජර්මනිය වහාම විධිමත් ක‍්‍රමවත් වැඩපිළිවෙළක් ආරම්භ කළේය. ඔවුන් පළමුවෙන්ම සිදු කළේ කොරෝනා නිසා වසා තිබුණු විශාල ප‍්‍රමාණයේ රජයේ සහ පෞද්ගලික ගොඩනැඟිලිවල අභ්‍යන්තරයේ අවශ්‍ය පරිදි වෙනස්කම් සිදුකොට ජනතාවට එන්නත ලබාදීම සඳහා එහි පහසුකම් සැලසීමය. එහි එන එන්නත් ලාභීන්ට අවශ්‍ය කෙරෙන පානීය ජලය, වැසිකිළි, කැසිකිළි පහසුකම්, ගමනාගමන ඇතුළු සියලූම පහසුකම් කඩිනමින් සැලසීමය. එහි පැමිණ එන්නත ලබාගැනීමට බලාපොරොත්තුව වාඩිවී සිටින පිරිසට සිය වාරය එනතුරු දැකබලා, දැන ගැනීමට කොවිඞ් වෛරසය පිළිබඳව හා එන්නත් පිළිබඳව විස්තර කෙරෙන වීඩියෝ දර්ශන පෙන්වති.
 
 මේ සඳහා බර්ලින් නුවර තිබෙන ICC හෙවත් International Congress Centre ඉන්ටර්නැෂනල් ක්‍රොන්ග‍්‍රස් සෙන්ටර් ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ සඳහා ඉදිකරන ලද පරිශ‍්‍රය හා බර්ලින් නුවර මෑතකදී වසා දැමුණු ගුවන්තොටුපොළ දෙකක් වන (Berlin Tegel Airport) සහ (Berlin Tempelhof) සහ ඒසා විශාල ගොඩනැඟිලි කිහිපයක් ද යොදා ගැනේ. ඒ අනුව බර්ලින් නගරයේ පමණක් දිනකට 2000 ට පමණ පිරිසකට එන්නත ලබා දීම සිදු කෙරේ. මේ සඳහා අවශ්‍ය කෙරෙන පහසුකම් අතරේ එන්නත් ගබඩාකොට තබාගැනීම සඳහා අවශ්‍ය කෙරෙන ශීතකරණ සුවිශේෂී වේ. එසේම මේ සඳහා විශ‍්‍රාමික වෛද්‍යවරු, හෙද හෙදියන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු වෛද්‍ය ක්ෂේත‍්‍රයේ නියළුනුවන් ද කැඳවීය.
 
 ඒ අතර එන්නත ලබා ගැනීම සඳහා දුරකථන මඟින් හා විද්‍යුත් තැපෑල මඟින් ලියාපදිංචියට ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීය. ඒ අනුව සෑම අයකුටම නියමිත පරිදි දිනයන් සහ වේලාවන් නියමකොට දුනි. එපමණක් නොව කොවිඞ් සෙන්ටර්ස්වලට (Covid Centres) වයස අවුරුදු 70 වේ සිට ඉහළ අයට එම ස්ථානවලට සිය නිවසේ සිට යෑමට ඒමට අවශ්‍ය කෙරෙන කුලීරථ සේවාවන්ද සපයයි. එම එන්නත් ලබා දෙන ස්ථානවලට ළඟාවන විට ටැක්සි රථයේ දොර විවෘත කිරීමේ සිට එන්නත ලබා දීමෙන් පසු විනාඩි 15 ක කාලයක් එම පුද්ගලයාව එම ස්ථානයේ රඳවාගෙන සිටින්නේ එන්නත ලබා දීමෙන් පසුව විය හැකි කිසියම් සංකූලතාවක් ඇද්දැයි පරීක්ෂණයට ලක් කිරීමටය. ඉන් පසුව නැවත ටැක්සි රථය වෙත මඟ පෙන්වා මෝටර් රථයේ දොර විවෘතකොට ”නිරෝගීව ජිවත්වන්න; සුබ ගමනක් ” යැයි පවසා ටැක්සි රථයේ දොර වැසීම දක්වා ඔවුහු ආචාරශීලී වෙති. දැනට කොරෝනා නිසා රැකියා විරහිත වූ හෝටල් හා ආපනශාලා සේවක සේවිකාවන් ආදීන් මෙම එන්නත් ලබාදීමේ මධ්‍යස්ථානවල සේවයට යොදාගෙන ඇත.
 
 මේ අතර එන්නත ලබාදීම වේගවත් කිරීම පිණිස පෞද්ගලික වෛද්‍යවරුනටද එන්නත් ලබාදුනි. ඒ අනුව ෆැමිලි ඩොක්ටර් හෙවත් පවුලේ වෛද්‍යවරයා වෙත ද ලියාපදිංචිවී එන්නත ලබාගැනීමට පහසුකම් සැලසීය. මේ ස්ථාන දෙක වෙත ළඟා වීමෙන් සෑම එන්නත් ලාභියකුටම විනාඩි 30 ක් 45 අතර කාලයක් තුළදී සිය එන්නත ලබාගත හැකිවේ. මේ සේවා ස්ථානවල සේවය කරන වෛද්‍යවරුනට, හෙද හෙදියන් ඇතුළු සියලූම සේවක පිරිසට පැයට ගෙවීම් වශයෙන් විශේෂ ගෙවීමක් ද සිදුකරනු ලැබේ.
 
 ජර්මනියේ මුළු ජනගහනය මිලියන 83.30 ක් හෙවත් අටකෝටි තිස්තුන් ලක්ෂයක් පමණ වන අතර ඒ සියලූම දෙනාට බයෝන් ටෙක් හා ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත ලබාදීම සඳහා රටපුරාම එකම වැඩපිළිවෙළක් ආරම්භ කෙරිණි. මේ අතර මුළු ජනගහනයෙන් දෙකෝටියකට වැඩි පිරිසක් කිසිම එන්නතක් ලබාගැනීම ප‍්‍රතික්ෂේප කොට ඇත. ජුනි මස 4 වන දින වනවිට ඇමෙරිකාව මිලියන 296 ට ද, එංගලන්තය මිලියන 65 ටද, ජර්මනිය මිලියන 52 ටද, ප‍්‍රංශය මිලියන 37 ටද වශයෙන් එන්නත ලබා දී තිබේ. ඒ අනුව එන්නතක් ලබාගන්නා පුද්ගලයාට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිකුත් කරනු ලැබූ හැඳුනුම්පතක් නිකුත් කරනු ලැබේ. එහි එන්නත ලබාදුන් බවට ස්ටිකර් එකක් අලවා අදාළ වෛද්‍යවරයා සිය අත්සන යොදා මුද්‍රාව තබා එන්නත්ලාභියාට දෙනු ලැබේ. දෙවන එන්නත ලබාදීමේදී ද එසේම සිදු කරනු ලැබේ. මෙම හැඳුනුම්පත රජයේ හා පෞද්ගලික ආයතනයකට ඇතුළත් වීමේදී පෙන්විය යුතු වේ. ඒ අනුව ඔහුට හෝ ඇයට එම ස්ථානයට ඇතුළත්වීමට අවසර ලැබේ. එන්නත ලබාගැනීම ප‍්‍රතික්ෂේප කරන අයට පැය විසිහතරක් ඇතුළත ලබාගත් පරීක්ෂණ වාර්තාවක Negativ report එක ලිඛිතව හෝ සිය ජංගම දුරකථනයට ලබාගත් දත්තයන් මගින් පෙන්විය යුතුවේ. ඒ අනුව එම පුද්ගලයාට ද එම ස්ථානයන්වලට ඇතුල්වීමට අවසර ලැබේ. මේ සඳහා නොමිලේ සිදු කරගැනීමට අවශ්‍ය කෙරෙන Corona Test centres  කොරෝනා පරීක්ෂාකර ගැනීමේ ආයතන 15,000 ට වැඩි ප‍්‍රමාණයක් රට පුරාම ආරම්භ කොට තිබේ.
 
 මීට අමතරව ෆාමසි වලින් ද ඉක්මන් පරීක්ෂණයන් සිදුකරගත හැකි අතර හා තමන්ටම සිදුකර ගතහැකි පරීක්ෂණයන් සඳහා € 4.50 – 6.50 ක (රු.1080 – 1560 ක) මුදලක් වැයකොට අවශ්‍ය දේ සුපර්මාර්කට්වලින් ලබාගත හැකි වන පරිදි ඒ සියලූම පහසුකම් සපයාදී තිබේ. මේ අතර PCR පරීක්ෂණයක් සඳහා € 25 – 160 ත් (රුපියල් 6000ත්-රු.38400ත්) අතර ප‍්‍රමාණයක මුදලක් ගෙවිය යුතු බව ජර්මනියේ Tagesspiegel හෙවත් ”දවසේ කණ්ණාඩිය” පුවත්පත පෙන්වා දෙයි.
 
 ජර්මනිය වසා දැමීමෙන් අනතුරුව සතියකට නව ආසාදිතයන් වැඩිවීමේ සංඛ්‍යාව අවප‍්‍රමාණයවීම (Incidence) අනුව අගුළු ඉවත්කොට ලිහිල් කිරීමට පියවර ගත්තේය. අද වනවිට (Incidence) සංඛ්‍යාව පහත බැස ඇත. ඒ අනුව දැනට අවන්හල් ඉදිරිපිට වාඩිවී ආහාර පහසුකම් ලබා ගැනීමටත්, ඇතුළත වාඩිවීමට අවශ්‍ය නම් එන්නත් හැඳුනුම්පත හෝ කොරෝනා ඍණ වාර්තාව ඉදිරිපත්කොට ඒ තුළට ඇතුල්විය හැකිය. එසේම විදුලි උපකරණ, ගෘහ උපකරණ ආදී මහා පරිමාණයේ සුපර්මාර්කට්වලට ඇතුළත්වීමේදී ද එසේ සිය එන්නත් හැඳුනුම්පත හෝ කොරෝනා ඍණ වාර්තාව ඉදිරිපත්කොට ඇතුල්විය යුතුය.
 
 මේ සතියේ සිට පාසැල් විවෘත කිරීමට ද තීරණයකොට තිබේ. එහෙත් විශ්වවිද්‍යාල, ඔපෙරා, හෝටල්, සිනමා ශාලා හා නාට්‍ය ශාලාවන් විවෘත කරන දිනයන් තීරණයකොට නැත. එසේ වුවද 500 ක් ප‍්‍රමාණයකට රැුස්වීමටත් පවුල් දෙකක සාමාජිකයන් දෙදෙනෙකුට තවත් පවුලක් වෙත නිවසකට යාමට ද අවසරදී තිබේ. එසේම කොරෝනා වෛරසය ජර්මනියට ළඟා වූ දිනයේ පටන් මේ දක්වාම දුම්රිය, බස්රිය හා කුලී රථ වැනි සියලූම මගී ප‍්‍රවාහන සේවාවල් අඛණ්ඩව සිදු කෙරුණත් මඟීන්ගේ ප‍්‍රමාණය අවම වී ඇත්තේ ජනතාව හිතා මතාම සංචරණය සීමාකොට ඇති නිසාය. එසේ වුවද දුරස්තතාවය රැුකගැනීම, දෑත් විෂබීජහරණය කරගැනීම හා මුඛාවරණය පැළඳීම බස්රිය, දුම්රිය හා සුපර්මාර්කට්වල හෝ සෑම ආයතනයක් වෙතම හෝ කිසිවකු හමුවීමට යෑමේදී අනිවාර්යකොට තිබේ.
 
 මේ අතර ජර්මනියේ චාන්සලර්වරිය වන හා රසායනික විද්‍යාව පිළිබඳව ජර්මන් ආචාර්ය උපාධිධාරිනියක වන Angela Merkel (අන්ගෙලා මෙර්කල්) පසුගියදා වැදගත් ප‍්‍රකාශයක් සිදුකොට තිබුණි. එනම් ”කෝවිඞ් 19 වසංගතය පැතිරෙන අවස්ථාවේදී මමත් මාගේ කැබිනට් මණ්ඩලයත් සිටින්නේ බොහෝ පිටුපසිනි. මේ මොහොතේ රට පාලනය කිරීම විද්‍යාඥයන්ට හා වෛද්‍යවරුන්ට මා විසින් භාර දී ඇත. මක්නිසාද යත් ”කොවිඞ්” යනු සෞඛ්‍ය ප‍්‍රශ්නයකි, ඒ ගැන තීරණ ගැනීම සහ වගකීම අයිති වන්නේ සෞඛ්‍ය අංශවලටය. මමත් මගේ ඇමැති මණ්ඩලයත් සෞඛ්‍ය ගැන දන්නේ නැත. ඒ නිසා මම පසු පසෙකටවී සෞඛ්‍ය අංශ විසින් මාගේ රාජ්‍ය බේරා ගන්නා හැටි බලා සිටිමි.’’ මෙම ප‍්‍රකාශය ලොව බොහෝ රටවල නායකයන්ට ඉමහත් ආදර්ශයකි.
 
 මේ වනවිට ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනය සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන එක්දහස් ගණනක් ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ආධාර ලබා දී ඇති බව පසුගියදා මාධ්‍යවල පළවී තිබුණි. ඒ අතර මේ සඳහා ශ‍්‍රී ලංකාවේ ද එන්නතක් නිපදවීමට කටයුතු කරන බවද වාර්තා විය. ජර්මනිය කෝවිඞ් 19 වෛරසයට විරුද්ධව (Bion Tech) බයෝන් ටෙක් එන්නත සොයා ගනු ලැබුවේ මීට වසර තිහකට පෙරය. ඒ සඳහා අවශ්‍ය කෙරෙන අති විශේෂ ප‍්‍රමිතියකින් යුතු ගොඩනැඟිලිද ඇමෙරිකාව, ජර්මනිය, එංගලන්තය ආදී එන්නත් නිෂ්පාදන රටවල පවතී. එම නිසා ශ‍්‍රී ලංකාව මෙම අවස්ථාවේ කළ යුත්තේ එන්නත් නිපදවීමට උත්සහ කරනවාට වඩා ලබා දී ඇති ලෝක ආධාර මුදල් හෝ යොදාගෙන රටට අවශ්‍ය කරන එන්නත් දෙකම මිලදී ගෙන ජනතාවට ලබා දී රටත් ජනතාවත් සුරක්ෂිත කිරීමය.

advertistmentadvertistment
advertistmentadvertistment