විස්මිත සැත්කම් කරන විශ්වකර්ම දොස්තරගේ අපස්මාර වික‍්‍රමය…

990

අපස්මාරය වැළැඳී එම රෝගී තත්ත්වය නිසා දිගුකාලයක් පීඩාවිඳි රෝගියෙකුගේ මොළයේ සිදුකළ සැත්කමක් මගින් සුවය ලබාදීමට හැකිවීමේ නවමු පුවතක් අපට අසන්නට ලැබෙනුයේ බදුල්ල මහ රෝහලෙනි. එම සුවිශේෂී සැත්කම සිදුකර ඇත්තේ බදුල්ල මහ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ලක්මාල් හේවගේ මහතා ප‍්‍රමුඛ කාර්ය මණ්ඩලයක් විසිනි. එහි විශේෂත්වය වන්නේ මෙවැනි සැත්කමක් අගනුවරින් බැහැර ඈත දුෂ්කර බදුල්ල වැනි ප‍්‍රදේශයක රෝහලක ප‍්‍රථම වතාවට සිදුකිරීමය.

ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවාව අපේ රටේ රෝහල්වලදී බොහෝවිට ලැබෙනුයේ හදිසි අනතුරුවලට ලක්ව ප‍්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් බවත් අපස්මාරය වැළැඳුණු රෝගියෙකු ප‍්‍රතිකාර සඳහා ප‍්‍රථමයෙන් එවැනි වෛද්‍යවරයෙකු වෙත යොමුකිරීමක් සිදුනොවන බවත් බදුල්ල මහ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා පැවැසීය.

තමන් විසින් සැත්කමට භාජන කරනු ලැබූ රෝගියා පිළිබඳව සහ සැත්කම සිදුකරන්නට බලපෑ පසුබිම පිළිබඳව ඒ මහතා අප හමුවේ අදහස් දැක්වූයේ මෙසේයි.

‘‘මේ රෝගියා කුඩා කාලයේ පටන්ම අපස්මාරය රෝගයෙන් පීඩාවිඳි වයස අවුරුදු 31ක් පමණ වන අයෙක්. එම රෝගය සඳහා ඖෂධ වර්ග දිගින් දිගටම ලබාගෙන සුව නොවූ තත්ත්වයක් දක්නට තිබුණා. වෛද්‍ය විද්‍යාව තුළ දැක්වෙන්නේ ඖෂධ වර්ග දෙකකට වඩා ලබාගෙන රෝගය සුව නොවන අපස්මාර රෝගය ඖෂධ ප‍්‍රතිරෝධී අපස්මාරය හැටියටයි. මේ රෝගියා එසේ ඖෂධ වර්ග කිහිපයක් ගනිමින් සිටි අයෙක්. හොරණ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන එම රෝගියා මගේ වෛද්‍ය සායනයකදී රෝග පරීක්‍ෂාවකට යොමුවීම අහම්බෙන් සිදුවූවක්. ඊට පෙර කොළඹ ජාතික රෝහලේදී ඔහුට සැත්කමක් සිදුකිරීමට එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කර තිබී පසුව කුමන හෝ හේතුවක් නිසා එය මඟහැරී ගොස් තිබෙනවා. ඉන්පසුව කොළඹ පෞද්ගලික රෝහල් කිහිපයකටත් ගොස් ඔහුගේ සැත්කම සිදුකර ගැනීමට උත්සාහ කළ නමුත් එය කර ගැනීමට නොහැකි වූ බව රෝගියා මා සමඟ කියා සිටියා. නමුත් ඒ උත්සාහයත් අසාර්ථකවීම හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකින් පසුවන බවද ඔහු කීවා. මම සේවය කරන බදුල්ල මහ රෝහලේ අපස්මාර රෝගීන් සඳහා ප‍්‍රතිකාර ඒකකයක් ඇත්තේ නෑ. නමුත් මම මේ රෝගියා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිහිපයක් සිදුකිරීමෙන් පස්සේ තීරණය කළා ඔහුට සැත්කමක් සිදුකිරීමට. මම ඒ බව රෝගියාටත් ඔහුගේ භාරකරුවන්ටත් දැනුම් දුන්නා. ඒ අනුව සැත්කම සිදුකිරීම සඳහා පසුගිය 13 වැනිදා බදුල්ල මහ රෝහලේ නතරවන ලෙස රෝගියාට උපදෙස් දුන්නා. ඉන්පසුව පසුගිය අඟහරුවාදා (15)එම සැත්කම සිදුකළා. එමෙන්ම එය අපි බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සාර්ථකව සිදුවුණා. මේ සැත්කම සිදුකිරීමෙන් දින දෙකකට පසුව රෝගියාට රෝහලෙන් නික්ම යෑමට පවා හැකියාව ලැබුණා. අපේ රටේ මෙවැනි රෝගීන් සඳහා සැත්කම් සිදුකෙරෙනවා ඉතාම අඩුයි. එම නිසා සැත්කම් මගින් සුවකළ හැකි අපස්මාර රෝගීන් විශාල සංඛ්‍යාවක් දැනට අපේ රටේ සිටිනවා සැත්කම්වලට භාජන නොවී. අඩුම තරමින් ඒ පිරිස 20,000කට වඩා වැඩිවිය හැකියි. දැනට අපස්මාර රෝග ඒකකයක් තිබෙන්නේ කොළඹ ජාතික රෝහලේ පමණයි. ඒ නිසා කොළඹින් බැහැර වෙනත් රෝහලක මෙවැනි සැත්කමක් සිදුවන්නේ නෑ. බදුල්ල මහ රෝහලේ මෙවැනි සැත්කමක් සිදුකළ පළමුවෙනි වතාව මෙයයි. එමගින් අප ලබාදෙන පණිවුඩය වන්නේ කොළඹ ජාතික රෝහලට පමණක් සීමා නොවී දිවයිනේ පිට පළාත්වල පිහිටි ස්නායු ශෛල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සිටින පහසුකම් ඇති රෝහල්වල මෙවැනි සැත්කම් කිරීමේ හැකියාව තිබෙන බවයි. එම නිසා මින් ඉදිරියට අපි අපස්මාර රෝගීන් සඳහා විශේෂඥ වෛද්‍ය සායන සහ මෙවැනි සේවාවන් බදුල්ල මහ රෝහලේ සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. මේ රෝගී තත්ත්වය එනම් අපස්මාර රෝගය ඇතිවීමට විශේෂ හේතුවක් බලපානවා කියලා කියන්න අපහසුයි. මෙය හඳුන්වන්නේ බෝ නොවන ස්නායු රෝගයක් හැටියටයි. අපස්මාර රෝගය වැළැඳුණු එහෙත් ප‍්‍රතිකාර මගින් සුව නොවී දිගින් දිගටම රෝගී තත්ත්වය පවතින කෙනෙකුට දෙන්නට තිබෙන පණිවුඩය වන්නේ ඒ සඳහා සුදුසු වෛද්‍යවරයෙකු කරා යොමුවීම ප‍්‍රමාද නොවී කළ යුතුය යන්නයි. අපස්මාරය වැළැඳුනු සෑම රෝගියෙක්ම සැත්කම් මගින් සුව කිරීමේ හැකියාවක් ඇත්තේ නෑ. එය තීරණය කළයුත්තේ රෝගියා පරීක්‍ෂා කර රෝග තත්ත්වය හඳුනාගැනීම මගිනුයි.’’

විස්මිත සැත්කම් කරන විශ්වකර්ම දොස්තරගේ අපස්මාර වික‍්‍රමය…

අපස්මාර රෝගය සම්බන්ධයෙන් සහ බදුල්ල මහ රෝහලේ ප‍්‍රථම වතාවට සිදුකළ මෙම සැත්කම පිළිබඳව පැහැදිලි කළ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ, වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා- ‘‘අපගේ මොළයේ අතපය පාලනය කරන, කථනය, දෘෂ්ඨිය පාලනය කරන කොටස එකිනෙකට ක‍්‍රියාත්මක වන්නේ මේවා අතර තිබෙන විද්්‍යුත් රසායනික ප‍්‍රතික‍්‍රියා මගින්. මේ විද්්‍යුත් ප‍්‍රතික‍්‍රියාව අසාමාන්‍ය ආකාරයට මුළු මොළයටම පැතිරයෑම නිසා තමයි අපස්මාරය වැනි රෝග තත්ත්වයන් ඇතිවන්නේ. මොළයේ ඒ සිදුවීම වන ස්ථානය පරීක්‍ෂණවලදී හඳුනාගන්න හරිම අපහසුයි. බැලූ බැල්මට ලොකු වෙනසක් පේන්නේ නෑ. මොළයේ සිදුකරනු ලබන එම්. ආර්. අයි. ස්කෑන් පරීක්‍ෂණ, ඊ. ඊ. ජී. පරීක්‍ෂණ වැනි පරීක්‍ෂාවන් මගින් අපි ඒ ස්ථානය නිවැරදිව හඳුනාගෙන පසුව ඒ ස්ථානය සැත්කමක් මගින් කපා ඉවත් කිරීමයි සිදුකරන්නේ. අපට මේ රෝගියාගේ ඒ සැත්කම සඳහා පැය 04ක පමණ කාලයක් ගතවුණා. සාමාන්‍යයෙන් රෝගියකුට සැත්කමක් සිදුකරනු ලබන්නේ ශල්‍යාගාරයේ සැත්කම සිදුකරන ශල්‍ය ඇඳේ දිගාකර ඉන් පසුවයි. නමුත් අප මේ රෝගියාගේ සැත්කම සිදුකළේ රෝගියා පුටුවක වාඩිවී සිටින ආකාරයට සකස්කර ගෙනයි. එයට හේතුව මේ රෝගියාගේ මොළයේ දෘෂ්ඨිය පාලනය කරන කොටසේයි මේ සැත්කම සිදුකළේ. ඒ නිසා අපට අවශ්‍ය වුණා රෝගියාගේ පෙනීම සම්බන්ධයෙන් සැත්කම සිදුකරන අවස්ථාවේ පරීක්‍ෂාවට ලක්කරගන්න. ඒ සඳහායි එවැනි ක‍්‍රමයකට සැත්කම සිදුකරන්න වුණේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ කාර්යයේදී බදුල්ල මහ රෝහලේ ස්නායු රෝග විශේෂඥ ධම්මික හලහකෝන් මහතාගෙන් විශේෂ සහයෝගයක් ලැබුණා. ඒ වගේම රෝහලේ අධ්‍යක්‍ෂ, වෛද්‍ය උපුල් කරුණාරත්න මහතාගේ මඟ පෙන්වීම ඉතාමත් විශිෂ්ටයි. එමෙන්ම නිර්වින්දන වෛද්‍ය විශේෂඥ හර්ෂිකා හැන්නැදිගේ මහත්මිය මෙහිදී විශාල සහයෝගයක් ලබා දුන්නා. එමෙන්ම රෝහලේ වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ කැපවීම විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඒ වගේම ඉතාමත් අගය කළ යුතුයි.’’ යැයිද විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා කීවේය.

අපස්මාර රෝගය වැළැඳුණු අයෙකුට එම රෝගය උත්සන්න වූ අවස්ථාවක යකඩ කැබැල්ලක් අතට දීමට ඇතැම් දෙනා පුරුදුව සිටින බව අප අසා ඇත්තෙමු. එමගින් රෝගියාට කිසියම් සහනයක්, ලැබීමේ හේතුවක් හෝ කිසිදු විද්‍යාත්මක සත්‍යයක් නැතැයි වෛද්‍ය ලක්මාල් මහතා අප සමඟ පැවැසීය. අපස්මාර රෝගියකුගේ එම රෝගී තත්ත්වය උත්සන්න වී වැඩි වේලාවක් ගතවන්නට මත්තෙන් ඔහු පෙර සිටි ප‍්‍රකෘති තත්ත්වයට පත්වන බවද කීය. මේ අන්දමට අපස්මාරය උත්සන්නවීම තුළ මොළයේ ෙසෙල විනාශවීම සිදුවන බවද පැවැසීය. එමෙන්ම ඇතැම් දරුවන්ට කුඩා කාලයේ වළැඳෙන වලිප්පුව බොහෝවිට උණ රෝගය උත්සන්නවීම නිසා ඇතිවන්නක් බවත් එය අපස්මාර රෝගය නොවන අතර උණ බැසයාම සමඟ ඒ රෝග තත්ත්වය පහව යන බවද ඒ මහතා කීවේය.

රෝගියාගේ පියා වන කේ. ඞී. කුමාරතුංඟ මහතා වසර 28ක් පමණ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කර දැනට විශ‍්‍රාම ලැබ සිටින අයෙකි. වසර 31 වැනි කාලයක් තිස්සේ තම පුතුගේ රෝගී තත්ත්වය නිසා මුහුණදුන් අත්දැකීම් ඔහු සමඟ අප විස්තර කළේ මෙසේයි.

‘‘අපේ පවුලේ පිරිමි දරුවෝ තුන් දෙනයි. බාලම පුතා තමා මේ රුචිර. එයා දැනට රැකියාව කරන්නේ හොරණ මහ රෝහලේ වකුගඩු රෝග ප‍්‍රතිකාර ඒකකයේ රුධිර කාන්දුකරණ අංශයේයි. අපේ පුතා ඉපදුණේ 1986 අවුරුද්දේ. ඉපදිලා දවස් දෙකකින් එයාට මෙනින්ජයිටිස් කියන මොළේ උණ රෝගය හැදුණා. එතැනින් පස්සේ තමයි මේ අපස්මාර රෝගී තත්ත්වය මගේ පුතාට ඇතිවුණේ. එදා ඉඳලා අපි පුතාව සනීපකරගන්න ලොකු වෙහෙසක් දැරුවා. පුතා පුංචිකාලේ එයාව පරීක්‍ෂා කළේ, ප‍්‍රතිකාර කළේ ෙවෛද්‍ය පි‍්‍රයාණි සොයිසා, වෛද්‍ය ළමාබදුසූරිය වගේ එවකට ලංකාවේ ප‍්‍රසිද්ධ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්. ඒ කාලයේ අවුරුද්දක් විතර පුතාට ලෙඬේ හැදුනේ නෑ.

විස්මිත සැත්කම් කරන විශ්වකර්ම දොස්තරගේ අපස්මාර වික‍්‍රමය…

අවුරුද්දකට පස්සේ නැවත පුතා කීවා ඇස් දෙකෙන් ලයිට් පත්තුවෙනවා වගේ දැනෙනවා කියලා. අපි නැවත පුතාව ළමාබදුසූරිය විශේෂඥ වෛද්‍යතුමන්ට පෙන්නුවා. එවිට එතුමා කිව්වා දරුවගේ අපස්මාරය සුවවෙලා නෑ. ඒ නිසා ප‍්‍රතිකාර දිගටම කරන්න ඕන කියලා. ඒ විදියට ප‍්‍රතිකාර දිගටම කළා. නමුත් සුවයක් ලැබුණේ නෑ. වරින්වර රෝගය ඇතිවෙනවා. එක පාරටම මූණ වම්පැත්තට හැරෙනවා. අතේ තියෙන දෙයක් ඉබේටම බිම වැටෙනවා. විනාඩි කීපයක් එහෙම තිබිලා සාමාන්‍ය තත්ත්වට පත්වෙනවා. මේ විදියට දිගටම රෝගය පැවැතුණා. මගේ පුතාට දැන් වයස අවුරුදු 31යි. මේ දක්වා වෛද්‍යවරුන් ගණනාවක් වෙත ගියා. පුතාව සනීපකර ගන්න. නමුත් ප‍්‍රතිඵලයක් ලැබුණේ නෑ. (2021) වසරේ කොළඹ ජාතික රෝහලේ අපස්මාර ඒකකයට ඇතුළුවෙන්න කිව්වා. පුතාට සැත්කමක් කරන්න තිබෙනවා කියලා. නමුත් පසුව වෛද්‍යවරුන් කිව්වා ඒ සැත්කම කරන්න බෑ කියලා. පෞද්ගලික රෝහල් මගින් මෙවැනි සැත්කමක් සඳහා විශාල මුදලක් අයකරන බව අපිට දැනගන්නට ලැබුණා. ඒ රෝහල්වලිනුත් පුතාගේ සැත්කම කරගන්න බැරිවුණා. ඒ මොන හේතුවක් නිසාද කියන්න දන්නේ නෑ. මේ අසනීප තත්ත්වය නිසා මගේ පුතා මෙතෙක් කාලයක් හිටියේ දැඩි පීඩනයකින්. එයා තමන්ගේ ජීවිතය ගැන ඉතාම කලකිරීමකින් පවා කතා කළ අවස්ථා තිබුණා. නමුත් එයා මේ විදියට හරි දරාගෙන හිටිය එක ගැන මම සතුටු වෙනවා. අපේ පවුලේ කනගාටුදායක සිදුවීමකුුත් ඒ අතරේ තිබෙනවා. ඒ තමයි මීට අවුරුදු කීපයකට පෙර සිදුවුණු මගේ බිරිඳගේ අකල් වියෝව. එයා හෘද රෝගී තත්ත්වයක් නිසයි මියගියේ. නමුත් පුතාගේ අසනීප තත්ත්වය ගැන නිතරම කල්පනා කරමින් කාලය ගත කළා. එයා දැඩි කම්පනයකින් පසුවුණේ. මේ විශේෂඥ වෛද්‍යතුමන් අපිට මීට පෙර හමුවුණානම් මගේ පුතාව කලින් සුවය ලබලා, මේ වෙනකොට එයාගේ ජීවිතයේ බොහෝ කඩඉම් පසුකරනවා. ඒ වගේම මගේ බිරිඳ අකාලයේ මරණයට පත්නොවී අදටත් ජීවතුන් අතර ඉන්නවා කියලා මට ලොකු විශ්වාසයක් තිබෙනවා. කොහොම නමුත් අපට ලොකු සතුටක් දැනෙනවා මේ සැත්කම සාර්ථකව සිදුකිරීම තුළින් පුතාව සුවපත්කර ගැනීමට ලැබීම ගැන. මෙවැනි වෛද්‍යවරුන් කියන්නේ මිහිපිට වෙසෙන දෙවිවරු. විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මැතිතුමා කියන්නේ එවැනි ජීවමාන දෙවියෙක්. මගේ පුතා වගේ ජීවිත කාලය පුරාවට දුක් විඳින තවත් සුවහසක් රෝගීන්ට නැවත ජීවය දෙන්න එතුමන්ට ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබෙන්න කියලා මම ප‍්‍රාර්ථනා කරන්නේ.’’

තම පුතුගේ සැත්කම සාර්ථකව සිදුකළ බදුල්ල මහ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා ප‍්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලයට ආශිර්වාද පිරිනැමීමේ ආශිර්වාද පූජාවක් පසුගියදා හොරණ රජයේ රෝහලේදී එහි වකුගඩු රෝග ප‍්‍රතිකාර සහ රුධිර කාන්දුකරණ ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය විසින් සිදුකළ බවද කුමාරතුංඟ මහතා සඳහන් කළේය.

ඕනෑම රෝගී තත්ත්වයක් ප‍්‍රතිකාර ගැනීමෙන් පසුව කෙටි කාලයක් තුළ සුව නොවී නිදන්ගතව පැවැතීම යනු රෝගියාට පමණක් නොව ඔහුගේ සමීපතමයන්ටද බලවත් චිත්ත පීඩාවක්, අසහනයක් ගෙන දෙන්නක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. අපස්මාරය යනු අප වෙසෙන ජන සමාජයේ අති බහුතරයක් අතර පවතින රෝගයක් නොවූවද එය වැළැඳී පීඩා විඳින රෝගියෙකු දැකීම පවා බිය උපදවන කාරණයකි. මන්ද ඒ පුද්ගලයා එපමණටම ශාරීරික වේදනාවක් මෙන්ම අපහසුතාවක් ඒ මොහොතේ අත්විඳින ආකාරය දෑස් අබිමුව දිස්වන හෙයිනි. එමෙන්ම අපස්මාරය රෝගය වැළැඳුනු අයෙකු මහමඟ හෝ වෙනත් ස්ථානයක හුදෙකලාව රෝගය උත්සන්න වීමෙන් මුහුණුපෑ හැකි අනතුරෙහි ස්වභාවය කෙබඳුවේද යන්න පූර්ව තක්සේරුවක් කිසිවෙකුටත් කළ නොහැකි තරම්ය. උදාහරණයක් ලෙස ජලය රැඳී තිබෙන ස්ථානයෙකදී අපස්මාර රෝගියෙකු රෝගය උත්සන්නවී ඇදවැටීමක් සිදුවූ අවස්ථාවක ඔහුගේ පිහිටට වෙනත් කෙනෙකුගේ ආධාරයක් උපකාරයක් නොලැබුණහොත් රෝගියාගේ මරණය සිදුවන්නට ජලය පෙවී හුස්ම හිරවීමම ප‍්‍රමාණවත් විය හැක. මේ අන්දමට තවත් බොහෝ තැන් අපස්මාර රෝගියකුට වැඩි අවදානමක් ගෙනදෙන ස්ථාන වන්නට පිළිවන. එමෙන්ම පෞද්ගලික ජීවිතයද සාර්ථක කර ගැනීමට එම පීඩාකාරී රෝගය නිසා අපහසු බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. මේ අනුව බලනකළ අපස්මාර රෝගය යනු බෝ නොවන වෙනත් රෝග මෙන් ජනජීවිත අඩාල කරන පවුලක මෙන්ම රටක සමාජයක සංවර්ධනයට ප‍්‍රබල බාධා එල්ල කරන රෝග විශේෂයක් ලෙස හැඳින්වීම නිවැරදිය. එහෙයින් ඊට නිසි ප‍්‍රතිකාර සඳහා සුදුසු වෛද්‍යවරයෙකු කරා යොමුවීම තුළින් රෝගය සුවකර ගැනීම එතරම් අපහසු නොවන බව පැහැදිලි වන්නකි.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment