විස්සෙන් වැටී ටෙස්ට් එකෙන් නැගිටින්නට සැරසීම

231

ශ‍්‍රී ලංකාව ඔස්ටේ‍්‍රලියාවට පරාද වූයේ තරග 4-1ක් ලෙසිනි. ඉන්දියාවට පරාජය වූයේ 3-0ක් ලෙසය. මේ පරාජයන් දෙකම දරුණු පරාජයන්ය. ඒවා එක දිගට ලැබුණු පරාජයන් වීමෙන් දරුණු බව වැඩිය. ප‍්‍රතිවාදී කණ්ඩායම් දෙකද සුළුපටු නොවීය. එක් කණ්ඩායමක් ලෝක ශූරයෝය. අනෙක් කණ්ඩායම අංක එකේ පන්දු වාර 20-20 කණ්ඩායමය.

තරග පැවැත්වුණේ එම රටවලය. ගෙදරදී හැමෝම දක්ෂයෝ වෙති. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සංචාරකයෝය. ඒ අවාසියද ශ‍්‍රී ලංකාවට තිබුණි. ඔස්ටේ‍්‍රලියාවේ දේශගුණය ශ‍්‍රී ලංකාවට නුහුරුය. එහෙත් ඉන්දියාව කලාපීය රටකි. හුරු වෙන්නට දෙයක් නොතිබුණි. විනිසුරු තීරණ එකක් දෙකක් හරහට හිටි බව නම් සැබෑය. එහෙත් ඒවා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට නුහුරු දේවල් නම් නොවේය.

දැන් ශ‍්‍රී ලංකාව වෙනස්ම තරගාවලියක යෙදේ. එය ද ඉන්දියාව සමගය. ටෙස්ට් ක‍්‍රිකට්වලින්ද ඔවුහු ලෝක ක‍්‍රිකට් අනුශූරයෝ වෙති. ශ්‍රේණිගත කිරීම්වලින් ද දෙවැනි ස්ථානයේ පසුවෙති. එමතු නොව ඔවුහු ක‍්‍රිකට් ලොව දැවැන්තයෝ ද වෙති. ශ‍්‍රී ලංකාව එම දැවැන්ත බව හමුවේ කුමක් කරනු දැයි ලෝකයම දැන් බලා සිටී. ආසන්නතම 20 -20 ක‍්‍රිකට් තරගාවලි දෙකෙන්ම ශ‍්‍රී ලංකාවට වැරදුණි. ඒ නිසා පැරදුණි. දැන් පරාජයට හේතු සොයා ඵලක් නැත. හේතු කියා වැඩක් නැත. එහෙත් පරාජය යනු ජයග‍්‍රහණයේ ඇරඹුම යැයි කියයි. ඒ ඇරඹුම ලැබෙන්නේ කොතනින්ද ?

ශ‍්‍රී ලංකා පේ‍්‍රක්ෂකයෝ මෑත අතීතයේ සිට සැමදා විමසන පැනය එයයි. පරාජයට ඇරඹුම පැමිණියද ජයග‍්‍රහණයට ඇරඹුම නොඑන්නේය. නොඑන ඇරඹුමක් ගැන සිහින මවමින් පේ‍්‍රක්ෂකයෝ සුසුම්ලති. මේ මෑත කාලයේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට්වල හැටිය. අතීතයේ නම් එසේ නොවුණි. එකක් දෙකක් පැරදුණද එක දිගට පහ හයක් නම් නොපැරදුණි. පැරදුණද ගෞරවාන්විතව විය. දැන් ගෞරවය නිගරු වී ඇත. කීර්තිය බැස යමින් ඇත. එය හොඳ දෙයක් නොවේය. දිමුත් ප‍්‍රමුඛ කණ්ඩායම, දසුන් ප‍්‍රමුඛ කණ්ඩායම ගිය මග නොයා යුතුය. දසුන්ට තැන් කිහිපයකදී වැරදුණි.

ප‍්‍රධානතම දඟ පන්දු යවන්නා ද නොමැතිව අසරණ වන්නට සිදු වුණි. ඒ වනිඳුය. ඒ මදිවට මහීෂ් තීක්ෂණ ද අහිමි වුණි. ප‍්‍රබල ඉන්දියාව මට්ටු කරන්නට සිටි තුරුම්පු දෙකක් නැති වුණි.

අහිමිවීම් නම් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලට දැන් ඕනෑ තරම් ඇත. ඉන් සමහරක් දසුන්ට මෙන්ම දිමුත් ටද පොදුය. ශ‍්‍රී ලංකා කණ්ඩායමට නිත්‍ය ප‍්‍රධාන පුහුණුකරුවකු නැත. නිත්‍ය පන්දු යැවීමේ පුහුණුකරුවකු ද නැත. නිත්‍ය පිතිකරණ පුහුණුකරුවකු ද නැත. අනිත්‍ය ලොවේ නිත්‍ය දේවල් නැතැයි මෙය බැහැර කළ නොහැක. ප‍්‍රධාන තරගාවලි තුනක් අභිමුවෙහි ශ‍්‍රී ලංකාව සටන් වදින්නට සැරසුණේ එසේය. එහි ප‍්‍රතිඵල ගොනා පසුපස එන ගැල මෙන් පැමිණියේය. එය නතර කරන්නට දිමුත් ප‍්‍රමුඛ කණ්ඩායමට හැකි වේද? ඉන්දියාවේ මොහාලිහිදී පෙරේදා ආරම්භ වුණේ ඊට පිළිතුරු සොයන සටනයි. ටෙස්ට් තරගාවලිය දිනුවහොත් විස්සයි විස්සේ දී ඇතිවූ කැළලද යන්තමින් අකා මකා ගත හැක. ඒ නිසා දිමුත්ට තරග කරන්න සිදුවී තිබෙන්නේ මල්ලිලා අතින් පහුගිය තරගාවලි දෙකක සිදුවූ වැරදිද වසන්නටය. එහෙත් ඉන්දීය අයියලා එයට ඉඩ දේ ද? 20-20 දී ශ‍්‍රී ලංකාවට හිස ඔසවන්න ඉඩ නොදුන්නේ ශ‍්‍රීයස් අයියර් ය. ඉන්දීය අයියලාගේ භූමිකාව වෙනුවෙන් මේ අයියර් තනිවම වැඩ පෙන්නුවේය. අයියර් අයියා කෙනකුගේ චරිතයක් රඟපෑවේය. ලොකු අයියලා පොඩි ගණන්වලට යද්දී මේ අයියර් ලොකු ගණන්වලට ගියේය. එහෙත් ශ‍්‍රී ලංකාවට අයියර් කෙනෙක් නොවුණි. දසුන් තනිව දුන් සටනද අවසානයේ සුන් විණි.

දිමුත්ට එසේ නොවේවායි අපි පතමු. ඔහුගේ ශක්තිය සඳහා මැතිව්ස්, ධනංජය, පැතුම්, තිරිමාන්න, ලක්මාල් මෙන්ම කලකට පසු කණ්ඩායමට පැමිණි දික්වැල්ල ද වෙති. අවැසි වන්නේ මේ සියලූ දෙනා සිය දක්ෂතා අතරට පැමිණීමය. 20-20 දී අසාර්ථක වූ පමණින් රෝහිත් ශර්මා ටෙස්ට්වල දී අසාර්ථක වේ යැයි සිතිය නොහැක. ඔහු කොයි මොහොතේ හෝ නැඟී සිටිනු ඇත. විස්සේ වාඩුවද ගනු ඇත. කෝලි මොහාලිවලට පෙරේදා පය තැබුවේ සිය සියවන ටෙස්ට් තරගයටය. සියය සියයකින් සමරන්න කෝලි වෙහෙසෙනවා ඇත.

කෝලිට සියය මෙන්ම ශ‍්‍රී ලංකාවට එය තුන්සියය විය. ඒ නිසා ශ‍්‍රී ලංකාවට ද මේ තරගය වැදගත් සන්ධිස්ථානයකි. තුන්සිය වැනි තරගය ජයග‍්‍රාහී මතකයකින් නිමා කරන්නට ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙහෙසනවා ඇත. එහෙත් ඉන්දියාවට ගොස් ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගයක් ජයග‍්‍රහණය කිරීම ලොව ඕනෑම ජගතෙකුට ලේසි පහසු කාර්යක් නොවේය. ඔවුහු ආයාසයෙන් දිනති. ලේසියෙන් නොපරදිති. ශ‍්‍රී ලංකා කණ්ඩායම ද ඒ මග යා යුතුය. වැරදි අඩුපාඩු එමට තිබිය හැක. ඒවා පස්සට දමා දක්ෂතා ඉදිරියට ගත යුතුය. එසේ නොමැතිව ඉන්දියාව පරාජය කළ නොහැක. 20-20 ට වූ දෙය 300 වන ටෙස්ට් තරගයට වීමට ඉඩ දිය යුතු නැත.

දෙරට අතර අතීත ටෙස්ට් තරග වාර්තාව නම් ශ‍්‍රී ලංකාවට එතරම් යහපත් නොවේ. එහෙත් ශ‍්‍රී ලංකාව පළමු ටෙස්ට් ජයග‍්‍රහණය ලැබුවේ ද මේ අසල්වාසීන්ට එරෙහිවය. මහේල සහ සංගක්කාර දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලෝක වාර්තා තබන්නට පෙර ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ලෝක වාර්තා තැබුවේ ද ඉන්දියාවට එරෙහිවය. එදා ශ‍්‍රී ලංකාව රැස් කළ ලකුණු 952ක ඉනිම තවමත් එක් ඉනිමක ලොව වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.

ඉන්දියාව ශ‍්‍රී ලංකාව ගැන හොඳින්ම දන්නා රටකි. කොයි මොහොතක හෝ වෙනසක් කළ හැකි කණ්ඩායමක් ලෙස ශ‍්‍රී ලංකාව සැලකේ. ලෝකයම දන්නා ඒ රහස නොදත් අසල්වැසියකු වේද? කලක පටන් ශ‍්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් ලොව ප‍්‍රකටය. සටකපට වී හෝ ඒ ප‍්‍රකට බව රැකගත යුතුය. මේ ඊට සුදුසු කාලයයි. එහෙත් දිනෙන් දින ලබන පරාජයන් ප‍්‍රමාණය වැඩි වේ නම් ශ‍්‍රී ලංකාවෙන් ඒ කීර්ති නාමයද වියැකී යනු ඇත. පරාජයේ අමිහිරි බව අමතක කර කීර්තියේ මිහිර රටට කැඳවා ගෙන ආ යුතුය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment