විස්සේ කිරුළ දිනා දුන් පුහුණුකරු ෆාබ්‍රේස් යළි ශ‍්‍රී ලංකා කණ්ඩායමට

743

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයැදුම් කර සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවූ පුහුණුකරුවන් තිස්දෙනාගෙන් සෑහීමකට පත් නොවූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උපදේශන කමිටුව එංගලන්ත ජාතික පෝල් ෆාබ්‍රේස් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

2014 පන්දුවාර 20-20 ලෝක කුසලාන ජයග‍්‍රහණය කරන සමයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ෆාබ්‍රේස් මහතා තව වසර දෙකක් සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ගිවිසුම් ගත වීම තවත් සති දෙකකින් පමණ සිදු වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ ජයග‍්‍රහණයෙන් පසුව ෆාබ්‍රේස් මහතා වේල්ස් ක‍්‍රිකට් මණ්ඩලයේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස පත්ව ශ‍්‍රී ලංකාවෙන් ඉවත්ව ගිය අතර ෆාබ්‍රේස් මහතාගේ නව පත්වීමේ පළමු භූමිකාව ලෙස එළඹෙන ඉන්දීය ක‍්‍රිකට් සංචාරය සැලකේ.

ඉන්දියාව සමග ටෙස්ට් තරග දෙකකින් සහ පන්දුවාර 20 -20 තරග තුනකින් යුත් එම සංචාරයේදී ෆාබ්‍රේස් මහතා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර එළඹෙන ඔස්ටේ‍්‍රලියානු තරග සංචාරයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා තව දුරටත් කටයුතු කරනු ඇත.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර් මහතා පසුගියදා ශ‍්‍රී ලංකා පුහුණුකරු ධුරයෙන් ඉවත්ව ගිය අතර ෆාබ්‍රේස් මහතාගේ සහාය පුහුණුකරු ලෙස බංග්ලාදේශය කණ්ඩායම සමග දැනට කටයුතු කරන නවීඞ් නවාස් මහතා අනුයුක්ත කිරීමට නියමිත බවත් වාර්තා වේ.

පෝල් ෆාබ්‍රේස් මහතා පළමු වරට 2005 වසරේ දී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සමග එකතු වූ අතර එවර ඔහු ටෙවර් බෙලීස් මහතාගේ සහාය පුහුණුකරු වූ අතර 2014 වසරේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු බවට ෆාබ්‍රේස් මහතා පත් වූයේය.

එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු සහාය පුහුණුකරුවකු ද වන ෆාබ්‍රේස් මහතා කෙන්ට් සහ මිඞ්ල්සෙක්ස් ප‍්‍රාන්ත වෙනුවෙන් පළමු පෙළ තරග සඳහා ක‍්‍රීඩා කර ඇත. දකුණතින් පන්දුවට පහර දුන් ෆාබ්‍රේස් මහතා කඩුලු රැකීම සිය ප‍්‍රධාන භූමිකාව කර ගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment